ඔබටත් ඔබේ නොවන ඔබේම ආදරයක් තිබුණාද?

හෘදය සාක්ෂිය අවදි කරවන ‘සමනල සංධවනිය’
මාර්තු 18, 2025

 

‘පිරිමින්ගේ ආදරය ජීවිතයේ කොටසකි.

ස්ත්‍රීන්ගේ ආදරය මුළු මහත් ජීවිතයමය!’

 

ඒ, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ ආ ප්‍රචාරක පාඨයකි. එම පාඨය චිත්‍රපටයේ සමස්ත අර්ථය හකුළුවා දැක්වූවාවක් පමණක් නොව ස්ත්‍රීන්ට - පුරුෂ ආදරය හා ප්‍රේමය පිළිබඳ කිසියම් නිර්වචනයකි.

 

ප්‍රේමය යනු දෙදෙනකුගේ ආධ්‍යාත්මයන් දෘඪතර ලෙස වෙලා ගන්නා සුන්දර බැඳීමකි. ඊට සීමා මායිම් නැත. අප බොහෝවිට ෙප්‍ර්මය දකින්නේ දෙදෙනකු අතර හටගන්නා බැඳීමක් විවාහයකින් කෙළවර වීමක් ලෙසය. එහෙත් ප්‍රේමය වූ කලී වගකීම් සහ යුතුකම් සහිත සම්මත කුටුම්බයෙන් එහා ගිය දෙයකි. මේ විෂය සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කරමින් ලොව පුරා බිහිවූ සාහිත්‍ය, නාට්‍ය හා චිත්‍රපට සංඛ්‍යාත්මක වශයෙන් විශාලය.‘සමනල සංධ්වනිය’ චිත්‍රපටය තුළින් සාකච්ඡා කෙරුණේද එබඳු අපූර්වතම ප්‍රේමයක් ගැනය.

 

එහි එන වාදීශ නමැති තරුණයා ස්වකීය ජීවිත කාලය තුළම විඳවන්නේ ඔහු අතින් සිදුවූ වරදකින් සිත නිදහස් කරගත නොහැකිවය. පුණ්‍යා නමැති යුවතියක, ඇගේ ප්‍රේමය ප්‍රකාශකොට තරුණයකුට තැපෑලෙන් යැවූ පෙම් හසුනක් වාදීශ අතට පත්වන්නේ ඔහුගේ පාසල් වියේදීය. තැපැලෙන් නිවෙස්වලට එන ලියුම් සොරාගෙන ඒවා කඩා බලා ‘ආතල්’ ගැනීමේ පුරුද්දක් එවකට වාදීශ ඇතුළු ඔහුගේ සම වයසේ මිතුරන්ට විය. පුණ්‍යා නමැති යුවතිය තම කුලුඳුල් ෙප්‍ර්මය ප්‍රකාශ කොට කිසියම් දිනක තරුණයකු හා සමග නගරයේ උද්‍යානයක හමුවන්නට ගිවිස ගත් ලිපිය වාදීශ අතට පත් වූයේ ඒ අනුවය. එම ලිපිය කියවා සංවේදීවන වාදීශ කිසියම් වරදකාරී හැඟීමකින් පෙළෙන්නට පටන් ගනී. එබැවින් එම ලිපිය අදාළ දිනට පෙර පුණ්‍යා අතට පත් කරන්නට ඔහු දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ තැන ඔහුගේ සිත නතර වන්නේ තමාට වඩා වැඩිමහල් වූ ඒ යුවතියගේ සංවේදී හදවත ළඟය.

 

පුණ්‍යා කෙරෙහි එසේ වාදීශ තුළ ඇතිවූ හැඟීම හුදු සෙනෙහසක් පමණක්ද? එසේ නොවේනම් එය කිසියම් ආදරයක්ද? ෙප්‍ර්මයක්ද? චිත්‍රපටයේ එන ‘මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.’ගීතයේ එන්නාක් මෙන් එය රිදුමක් වාගේ ඔහු නිරතුරුවම පෙළු අපූර්ව හැඟීමකි. එක් අතකින් එම රිදුම ‘විරාගය’ නවකතාවේ අරවින්ද, බතී නිසා පෙළනු ලැබූ හැඟීම සිහිපත් කරවන්නකි. අරවින්ද බතී නිසා පෙළනු ලැබූ හැඟීම එවකට මාර්ටින් වික්‍රමසිංහ හැඳින්වූයේ කාම අත්ථකිලමථය ( Masochism ) යනුවෙනි. එනම්, ස්ත්‍රියක් කෙරෙහි පුරුෂයකු තුළ හටගත් හැඟීමක් නිසා සිතින් කයින් දුක් විඳීමය. ‘විරාගය’ නවකතාවේ අරවින්ද සහ වාදීශ එකිනෙකට වෙනස් චරිත වුවද ඔවුන් දෙදෙනාගේම චෛතසිකයන් තුළ කිසියම් සමානතායක් දැකිය නොහැකිද? ‘සමනල සංධවනිය’ චිත්‍රපටයේ වාදීශ තුළ පුණ්‍යා කෙරෙහි හටගන්නා ‘රිදුම ‘ කුමක් අරභයා ඇති වූවක්ද? පුණ්‍යාගේ ලිපිය ඇය අතට පත් කිරීමට නොහැකි වීමෙන් ඇති වූ පශ්චාත්තාපය පමණක් ඊට මුල් වූයේද? නැතහොත් ඇගේ ආත්මයත් සමඟ සිතින් බැඳුණු අවිඥානික ප්‍රේමය ඇයට ප්‍රකාශ කර ගත නොහැකිවීමෙන් හටගත් රිදුමක්ද?

 

චිත්‍රපටය පුරා අධ්‍යක්ෂවරයා උත්කර්ෂයට නංවන්නේ වාදීශ පෙළෙන ඒ රිදුමය. ‍ෙප්‍ර්මය සැබෑ ලෙසම හඳුනා ගන්නා සංවේදී හදවත්වලට දැනෙන ඒ රිදුම පොදු අත්දැකීමක් ලෙස ඔවුන් ඇද බැඳ තබා ගන්නට සමත් වෙයි. ස්ත්‍රියක හෝ පුරුෂයකු කිසියම් දිනෙක කිසිවකු වෙනුවෙන් තමන් තුළ හටගත් රිදුමක් වේ නම් ඒ රිදුම ‘සමනල සංධවනිය’ නරඹද්දී ඒ රිදුම නැවත පිරිමදින්නන් මෙන් දැනෙනු නොඅනුමානය. බොහෝ දෙනකුට ‘මගේ නොවන මගේම ආදරයක් තිබුණා....’ නොවේදැයි සිතන්නට හෘදය සාක්ෂිය අවදි කරන චිත්‍රපටියක් ලෙස ‘සමනල සංධ්වනිය’ ජනප්‍රිය විය. . එබඳු ආධ්‍යාත්මක සංවේදනයන් චිත්‍රපටයකින් ෙප්‍ර්ක්ෂකයා තුළ දැනවීම පහසු නැත. ඒ චිත්‍රපටයේ භාෂාව, රූපය, හා ශබ්දය බැවිනි. මෙහිදී රූපයෙන් මවන භාවයන් කුළුගැන්වීම සඳහා අධ්‍යක්ෂවරයා යොදාගන්නේ සංගීතයයි. සමස්ත චිත්‍රපටයම කිසියම් සංගීත සංධ්වනියක් බඳුය.

 

‘මට මගේම නොවන මගේම ආදරයක් තිබුණා..’ යනුවෙන් අවස්ථා කිහිපයකම ගැයෙන ගීතය යථොක්ත රිදුම පිළිබඳ ප්‍රේක්ෂක හදවත් පිරිමැදීම සඳහා සුවිශේෂී මෙහෙයක් ඉටු කරයි. අමිල තේනුවරගේ ගේය පද සඳහා රුවන් ජයසිංහගේ නාද රටාව හා අමරසිරි පීරිස්ගේ අතිශය හෘදයාංගම වූ ගායන විලාසයද එකිනෙකට මුසුවී චිත්‍රපටයේ මූලික තේමාව අර්ථවත් කරයි. මෙසේ චිත්‍රපටයක ගීතයක් මූලික තේමාව සමඟ ආත්මීය ලෙස බැඳුණු අවස්ථා ඇත්තේ දෙක තුනක් පමණි. ඉන් එක් අවස්ථාවක් ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ‘උදුම්බරා හිනැහෙනවා... ‘ගීතය එහි ප්‍රබල අවස්ථාවලදී රූප සමඟ යොදාගත් ආකාරයයි. අනෙක සිරි ගුණසිංහගේ ‘සත්සමුදුර’ චිත්‍රපටයේ අමරදේව ගයන ‘සිනිඳු සුදු මුදු තලාවේ ‘ ගීතය චිත්‍රපටයේ අවස්ථානුකූලව යොදාගත් ආකාරයයි.

 

‘සමනල සංධවනිය’ චිත්‍රපටයේ වාදීශ ලෙස උද්දික ෙප්‍ර්මරත්න කළ රංගනය ආකර්ෂණිය වූවාසේම යශෝධා විමලධර්ම, පුණ්‍යාගේ ආධ්‍යාත්මයේ සුවඳ විහිදුවමින් කළ සුක්ෂම රංගනය භාව ප්‍රකාශනය පිළිබඳ අපූර්වතම පාඩමක් බඳුය. චිත්‍රපටය අවසානයේ වාදීශගේ ආත්ම ප්‍රකාශය බඳු වූ ‘මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ..’ ගීතය සවන් දීමෙන් ඔහුගේ අභ්‍යන්තර රිදුම හඳුනාගත් බව හඟවන අතිශය හැඟීම්බර මොහොතේ යශෝධාගේ මුහුණේ පිළිබිඹු වන භාවයන් විශිෂ්ටය.