වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ලිංගික හිංසනය

ආදරණීය පුතා වෙත,
අපි කාන්තාවන්ට මුල් තැන එහෙම නැත්නම් සම තැන දෙන්න ඕනෙ කියලා සිල් රෙදි ඇඳගෙන උජාරුවට සමාජයට කියනවා. ඒත් ඇත්තටම ලෝකයේ කොහෙත් වගේම අපේ රටේ දියුණුවෙමින් පවතින රටක් හැටියට කාන්තා හිංසනය අතිශයින් වැඩියි. බොහෝ වෙලාවට ආසියාතික මැදපෙරදිග වගේ රටවල, අප්රිකාව වැනි රටවල මේ තත්ත්වය බහුලයි.
උදාහරණයක් හැටියට ගම්මු විදේශ රැකියාවන්ට යන කාන්තාවන් ගැන. මෙහෙ ඒජන්සියේ (හැම ඒජන්සිකාරයෙක්ම නෙවෙයි) ඉන්න මිනිහට ඕනෙ නම් රට යවන කාන්තාවන්ට ලිංගික හිරිහැරයක් කරන්න මොකද දන්නවද කරන්නේ ප්ලේන් එක අද නෑ හෙට තමා කියලා එක්ක යනවා ඒ අයගෙ නවාතැන්වලට. ඉතින් එදා රෑ අර කාන්තාවට මේ නරුමයන්ගේ ආශාවන්ට ඉඩ දෙන්න වෙනවා.
මේ වගේම තමා රාජ්ය වේවා පෞද්ගලික වේවා මොනයම්ම හෝ ආයතනවලත් කාන්තාවන්ට ඉහළ නිලධාරින්ගෙන් මෙවැනි අඩන්තේට්ටම් වෙනවා. රස්සාව රැක ගන්න ඕනෙ නිසා ඉවසන්න වෙලා තියෙනවා කාන්තාවන්ට මේ හිරිහැර. හොඳ ආර්ථික ශක්තියක් තියෙන කාන්තාවක් නම් බය නැතිව ඒවාට විරුද්ධව ඉදිරිපත් වේවි. දන්නවද මහජන ආරක්ෂක පොලිසියේ වගේම ත්රිවිධ හමුදාවෙත් පහළ නිලයන්ගේ ඉන්නා සුන්දර කාන්තාවන්ට තරුණියන්ට ලොක්කන්ගෙන් බේරිලා ඉන්න බෑ කියලා අප්රසිද්ධියේ ප්රසිද්ධ වෙච්ච කතා ඕනෙ තරම් තියෙනවා.
දැන් නම් කොහොමද දන්නෙ නෑ. ඒකාලේ මැති ඇමැතිලා පිටරට සවාරි යන්නේ පෞද්ගලික ලේකම් වැනි අය එක්ක. ඒ කිවුවෙ ලේකම්ලා ගොඩක් ඉතින් කාන්තාවන්නෙ. කැමැත්තෙන්ම ටුවර් යන අයත් නැතුවාම නොවෙයි. නමුත් සමස්තයක් හැටියට ගත්තාම ලිංගික හිංසනය බොහොම සැරට අපේ රටේ සිදුවෙනවා.
ලංකාවේ මේ හිංසනය පිළිබඳව කතා කරන ඇතැම් අයගේ පර්යේෂණ ලිපිවල අපිට හමුවෙනවා කාන්තාවන්ට විතරක් නෙවේ පිරිමින්ටත් ඒ වගේම සංක්රාන්ති ලිංගිකයන්ටත් ඉතා රළු විදිහේ හිංසනයන්ට මුහුණ දෙන්න සිදුවෙන අවස්ථා තියෙනවා.
කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණය (2019) යනු ශ්රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට සිදු වූ හිංසනයන් පිළිබඳව ශ්රී ලංකාවේ පවත්වන ලද පළමු ජාතික සමීක්ෂණ යයි. මෙම සමීක්ෂණය මඟින් පිරිමින් එහෙමත් නැත්නම් සැමියන් විසින් කාන්තාවන්ට කරනු ලබන බරපතළ අඩන්තේට්ටම් පිළිබඳව හෙළි කරගන්නා ලදි.
බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම; දූෂණය; ලිංගික වහල්භාවයේ යෙදවීම වැනි අගතියට පත් වූ කාන්තාවන් බොහෝ දෙනෙක් මෙම සමීක්ෂණයට එක්වී ඇත. ඒ වගේම මේ අන්දමට දූෂණයට ලක්වන කාන්තාවන් ආරක්ෂා කරනවායැයි කියන රජයේද අනුමැතිය ඇති තැන්වල මෙම දූෂණයට පත් වූ තරුණියන් භාර ගන්නා ඇතැම් ස්ථානවල ලිංගික වහලියන් බවට ඒ අය පත් කරන අවස්ථාවන්ද හෙළිවී ඇත. එම සමීක්ෂණයේදී දූෂණයට ලක්වූ එකොළොස් හැවිරිදි දියණිය තමා එහි සිටි ළාබාලම තැනැත්තිය. වැඩිමහල් තැනැත්තියට දහසයයි. එවන් සිද්ධි ඕනෙ තරම් රට ඇතුළේ සමීක්ෂණවලට හසුවෙලා තියෙනවා.
සැරයක් අරාබි රටක තානාපති කාර්යාලයක මෙවැනි කරදරයට පත් කාන්තාවන් රැක ගන්නා හිතවතියක් කිවුව කතාවක් තමා ඒ. අසරණ බවට පත් වෙලා ඒ කියන්නේ වැඩ කරන්න ගෘහසේවයට ගිය තැනින් සිදුවන කරදර නිසා පැනලා යන කාන්තාවන්ට ආයෙත් සිදුවෙන්නේ ඒ වගේම අපායක වැටෙන්නයි කියලා. ඒ තැන්වලට සමහර තානාපති කාර්යාලවල වැඩ කරන පිරිමිම ඇවිත් අරන් යනවා. එහෙම නැත්නම් සමහර ඔය ආරක්ෂාවට ඉන්න කාන්තාවන්ම මේ කාන්තාවන් විකුණනවා.
මම මේ ලිවුවේ මහා සයුරක් තරම් තොරතුරුවලින් බිංදුවක්. ඇයි අපි කාන්තාවන්ට ගරු කරන්නේ නැත්තෙ කියන තැනට ආවා නම් මෙහෙම කරදරවලට කාන්තාවන්ට මුහුණ දෙන්න වේවිද. මම හිතන්නේ කාන්තාවන්ට ගරු කරන්න මොන්ටිසෝරියේ වගේම ගෙදර ඉඳන්ම උගන්වන්න ඕනේ.
හැම අම්මාටම හැම බිරියටම හැම සොහොයුරියටම දියණියටම තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා කියන එක නම් අමතක කරන්න එපා.
මෙයට අප්පච්චි