වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
සිංහල අලුත් අවුරුද්දේ කාන්තා භූමිකාව

සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් අප විසින් අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්හි ස්වරූපය පරණ අවුරුද්ද, පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්ද අතර කාලය, අලුත් අවුරුද්ද හා එළඹෙන වසර සඳහා සූදානම ලෙස විවිධත්වයෙන් යුක්තය. මෙහිදී ගෘහය හා ගෘහ සාමාජිකයන් හා පරිසරය එකිනෙකාට සම්බන්ධීකාරක කාර්යය කරනුයේ ප්රමුඛව කාන්තාවයි.
සිංහල අලුත් අවුරුද්ද තුළ කාන්තා භූමිකාව ගොඩනැඟෙන්නේ පවුල කේන්ද්‍ර කොටගෙනය. පවුලක් යනු පොදු වාසස්ථාන, ආර්ථික සහයෝගීතාවය, ප්‍රජනනය යන ලක්ෂණවලින් සැදුම්ලත් සමාජ සමූහයකි. ඒ අනුව පවුල හා ආර්ථිකය අතර පැහැදිලි සම්බන්ධයක් ඇත. ලාංකේය සංදර්භය තුළ සිංහල අවුරුද්ද පිළිබඳ දියහැකි හොඳ ම නිර්වචනය වන්නේ “එක් නිෂ්පාදන වර්ෂයක සිට අලුත් නිෂ්පාදන වර්ෂයක් කරා සංක්‍රමණය වීම අවුරුද්ද වේ” යන්නයි. පවුලේ කාර්යභාරය නිර්වචනයේ දී මෙන් ම අවුරුද්දේ ස්වභාවය නිර්වචනයේ දී ආර්ථික සාධකය සුවිශේෂ කොට ඇතිබව මෙයින් ගම්‍යමානය. පවුලේ ආර්ථික ක්‍රියාවලියේ දී උපයන්නාගේ නාමය බොහෝවිට පීතෘ මූලිකය. කාන්තාවගේ භූමිකාව තුළ ඉපැයීම මෙන්ම පරිභෝජන ක්රියාවලියෙහි ලා අවශ්‍ය පරිදි මෙහෙයුම් කටයුතු, පරිපාලන කටයුතු, කළමනාකරණ කටයුතු සිදු කිරීම දක්වා විහිදුණු ස්වභාවයක් පෙන්නුම් කරයි.
මේ අනුව සිංහල අවුරුදු චාරිත්‍ර හා සම්බන්ධ කාන්තා භූමිකාවේ බහුමානීය ස්වරූපයක් හඳුනාගත හැක. එනම්; ආහාර සැපයුම් ක්‍රියාවලියේ මෙහෙයුම්කාරක භූමිකාව කාන්තාව හොබවයි. සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු ආහාර සැපයීමේ ක්‍රියාවලියේ දී අවුරුද්ද හා සුවිශේෂ ආහාර තෝරා ගැනීම, විවිධත්වය හා පෝෂණය පිළිබඳ අවධානය,අවශ්‍ය පරිදි උපකරණ රැස්කිරීම, සුවිශේෂ පිහමන් රටා, කල් ඉකුත් විය හැකි ආහාර සංරක්ෂණය ආදී වශයෙන් කෘෂි කාර්මික මෙන් ම විද්‍යාත්මක ක්‍රියාවලියේ කොටස්කාරිය වූයේ කාන්තාවයි. ස්ත්‍රියකගේ සමස්ත කාර්මික ජීවිතය ගොඩ නැඟෙන්නේ ආහාර සැපයුම වටාය. ආහාර සූදානම් කිරීම, සංරක්ෂණය කිරීම, කල් තබා ගැනීම සඳහා අමුද්‍රව්‍ය උකහා ගැනීමේ සිට ආහාර සපයාගෙන පරිභෝජනය කිරීමත්, අවශ්‍ය පරිදි භාජන, උපකරණ, හැළි වළං, උදුන්, ගබඩා හා අතිරේක දෑ අවශ්‍ය පරිදි මෙහෙයවීම දක්වා අඛණ්ඩ හා පරිසරයෙන් උපන් ජීවන මාර්ග රේඛාවක් කාන්තාවට ඇත. එහිදී කාන්තාව සොබා දහම හා එහි සාරවත්භාවය පිළිබඳ සහජ ඉවක් සහිතව කටයුතු කරයි. උදාහරණ ලෙස අවුරුද්ද වෙනුවෙන් පිළියෙල කරන හත්මාලුව සොබාදහමේ පෝෂණය හා සාරවත්බව උකහා ගත් ආහාරයකි.
එසේම අවුරුදු චාරිත්‍ර හා සම්බන්ධ කාන්තා භූමිකාව බහුවිධ ශ්‍රම නිපැයුම්කාරියක ස්වරූපයක් පෙන්නුම් කරයි. සිංහල අවුරුදු චාරිත්‍ර හා සම්බන්ධ කාලය තුළ කාන්තා භූමිකාවේ ශ්‍රම විවිධාංගීකරණයක් හඳුනාගත හැක. කැපීම, කෙටීම, පෙළීම, ඇඹරීම, බැඳීම, ඇතිරීම, වේළීම, ගැරීම ආදී වශයෙන් දෛනික ක්‍රියාවලිය තුළට නව ක්‍රියා රැසක් එක්වේ. මේවා සඳහා වෙන වෙනම උපකරණ (කලප්පන්න ද) කාන්තාව සපයා ගත යුතුය. වංගෙඩි, මෝල්ගස්, කිරිගොටු, අතුල්පත්, වට්ටි, කුල්ල, නෑඹිලි, කොරහා, මුට්ටි, ඇඹරුම් ගල්, උදුන්, ගබඩා ආදී වශයෙන් කලප්පන්න රාශියක් ද කාන්තාව සපයා ගත යුතුවා මෙන් ම ඒවා අලුත්වැඩියා කළ යුතු වන්නේ ය. ඒ අනුව ඒ සඳහා සුදුසු ප්‍රාථමික ජීවන නිපුණතාවයක්, තාක්ෂණික ඥානයක් ඈ සතුය. එසේම ඇගේ විද්‍යාත්මක දැනුම පරිසර හිතකාමී ය. උදාහරණ ලෙස කුල්ල අලුත් කිරීම සඳහා බෙලි තම්බා ගෑම. තාච්චිය පේ කර ගැනීම සඳහා උණුවතුරින් තැම්බීම, වංගෙඩිය අණ්ඩ දැමීම සඳහා කිතුල් පොරොප්ප භාවිතය තුළ පරිසර හිතකාමී ප්‍රාථමික විද්‍යාත්මක දැනුමක් ඇත.
මේ අනුව නිෂ්පාදනයේ හා විද්‍යාවේ පරිසරය මිශ්‍ර ප්‍රාථමික දැනුමක් කාන්තාව සතු අතර ඈ පරිභෝජනය පිණිසම නොව සැලසුම්කරණය, පිරිමැහුම, ඉතිරිය හා ප්රතිනිෂ්පාදනය වෙනුවෙන් සිය ප්‍රාථමික දැනුම භාවිත කරනු ලබයි. අවුරුදු චාරිත්‍රයන්හි එන දෙවියන් උදෙසා පහන් පත්තු කිරීම සඳහා පහන් පැලක් සැකසීම, කෘමි සතුන් උදෙසා කොඳුරු කැවුමක් එල්ලීම, නිෙවසේ සිව් දිශාවේ නොපෙනෙන බලවේග වෙනුවෙන් ආහාර ගොටු තැන්පත් කිරීම, නිවෙසට අවශ්‍ය පරිදි කලප්පන්න රැස්කිරීම ආදිය සඳහා සැමියා/පිරිමියා මෙහෙයවීම කරන්නේ කාන්තාවයි. ස්වාභාවික ලෝකය වන්දනීයත්වයෙන් සලකා සුරැකීම යන කාරණව ද කාන්තාව සම්බන්ධයෙන් හඳුනාගත හැක. ඒ අනුව ජලයේ ශුද්ධත්වය, පූජනීයත්වය වෙනුවෙන් කාන්තා මැදිහත්වීමක් ලෙස කුණුමුත්තා පිදීමේ චාරිත්‍රය දැක්විය හැක. අාහාර පිසීමට පෙර බත් මුට්ටියට වඳින, පිසූ අහරේ අග්‍ර කොටස දෙවියන් බුදුන් වෙත වෙන්කරන තැනැත්තා ගැහැනියයි.
ගින්දර සතු බලය තමාට අවැසි ලෙස නම්ය කර ගනිමින් ගෘහයේ සුබසිද්ධිය සලසන කාන්තාව එකී ගින්න දේවත්වයෙන් සලකා ආචාර කරයි. සංස්කෘතිය හා පරිසරය අතර සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ ද කාන්තාවයි. පුද්ගලයා තම මව හා පියා ඇසුරින් ලිංගික භූමිකා හා අනන්‍යතා ගොඩනඟා ගනියි. මෙහිදී කාන්තා භූමිකාව සංස්කෘතිය මඟින් සමාජානුයෝජනය වන්නේ ගෘහ කටයුතු සඳහා මූලිකත්වය දෙමිනි. මෙයම අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් මතුපිට අර්ථයෙන් ගත්කළ ද එසේමය. අවුරුදු චාරිත්‍රයන් හි ගෘහ කාර්යයන්ගේ වැඩිබර කාන්තාවන් අත ඇත. එහෙත්, එකී චාරිත්‍ර ගැඹුරු වීමංසාවකට ලක් කිරීමේ දී මෙකී මුල් අදහස වෙනසකට ලක්වේ. එනම් සිංහල අවුරුදු චාරිත්‍ර හා සම්බන්ධව පුරුෂ භූමිකාව මූලිකත්වය ගන්නේ නිෂ්පාදන කාර්ය හෙවත් ආර්ථිකමය ක්ෂේත්රය සඳහා පමණි. එහෙත් කාන්තා භූමිකාව පවුලේ පරිභෝජන ක්‍රියාවලිය මෙහෙයවිය යුතුය. එසේම ඉතිරි කිරීම පුරුද්ද පවත්වාගෙන යා යුතුය. බෙදාහදා ගැනීම් පිළිබඳ අවධානය ලබාදිය යුතුය. සංරක්ෂණය හා පිරිමැසුම, අලුත් කිරීම හා පවත්වාගෙන යාම, තිරසරබව පිළිබඳ අවධානය ලබා දිය යුතුය.
මේ අනුව සිංහල අවුරුද්ද හා බැඳි චාරිත්‍ර සංස්කෘතිය තුළින් කාන්තා භූමිකාවේ සාර්ව වෙනසක් සිදුකර ඇත. හුදෙක් පරිභෝජනවාදී නැතිනම් යැපුම් රාමුවෙන් මුදවා ඒ වෙනුවට කාන්තාව සංරක්ෂණවාදී, ආයෝජනවාදී, තිරසරවාදී, නිෂ්පාදනවාදී භූමිකාවකට විතැන් කිරීමක් හඳුනාගත හැක. මෙහිදී කාන්තාව ප්‍රයෝජනයට ගන්නේ තමා අවට ඇති ජලය, ආහාර, බලශක්තිය (දර, ගින්දර) භෞතික සම්පත්, සරල මෙවලම් හා උපකරණ පමණි. පුරුෂයා උපයන්නා හා මෙහෙයවන්නා යන පීතෘමූලික මතවාදය අවුරුද්ද සමඟ බිඳ වැටීමකට ලක්වේ. කාන්තාව විසින් අවුරුද්ද හා සම්බන්ධ පවුලේ තීන්දු එනම්: ආර්ථික තීන්දු, සෞඛ්‍ය තීන්දු, පෝෂණ තීන්දු, සමාජ තීන්දු , සංස්කෘතික තීන්දු ගැනීම සඳහා සම්බන්ධ වේ. අවුරුදු සමය තුළ කාන්තා දායකත්වය ඉහළ යනවා මෙන් ම ඇගේ කාර්යයන් සඳහා ගෞරවයක් ආරෝපණය කරයි. ඒ ගෞරවය ඈ වෙත පිරිනමන්නේ පුරුෂයා මුල්වෙමිනි. කාන්තාවගේ ගෘහ කාර්යභාරය අගය කිරීමක් හා එයට ගෞරව කිරීමක් පුරුෂ මූලිකත්වය තුළින් සිදු කිරීම අවුරුදු චාරිත්‍ර තුළ ගැබ්ව ඇත. දෙවියන් අප ආරක්ෂා කරනවා යන හැඟීම අපේ මානසික ස්වභාවයයි. දෙවියන් අපට සමීප කරන කාන්තා චරිතය අවුරුදු සමයේ පවුල සෞඛ්‍ය පුරුදු ඇසුරින්, පෝෂණ අවශ්‍යතා පිරිමසිමින්, සම්පත් මනාව කළමනාකරණය කරමින් අනෙකා ආරක්ෂා කරයි. මේ අනුව අවුරුද්ද හා සම්බන්ධ පවුලේ සංවර්ධන කෘත්‍යයේ බරපතළ වගකීම පවතින්නේ කාන්තාව මතය.
කථිකාචාර්ය රසිකා මුහන්දිරම්ගේ
රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය