වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
තරු දෙකක් එක තැන - ජෙසිකා ඇල්බා

ඇය පවසන පරිදි 'ප්‍රසිද්ධිය' සහ 'සාර්ථකත්වය' යනු සහමුලින් වෙනස් කාරණා දෙකක්. එසේ වුවත් මේ කාරණා දෙකම අඩුනැතිව සපුරා ගනිමින් ලෝකයක් ආකර්ෂණය කළ තරුවක් ලෙස ප්‍රසිද්ධියේ ද ව්‍යවසායිකාවක ලෙස ලෝ ප්‍රකට සමාගමක් බිහිකරමින් සාර්ථකත්වයේ ද ඉහළම හිණිපෙතකට ළඟා වූ ඈ ඔබේ ද ආදරයත් ආකර්ෂණයත් ඉහළින්ම දිනාගත් හොලිවුඩ් නිළිය ජෙසිකා ඇල්බා. ඒ පිටුපස වාසනාව ද තිබිය හැකි වුවද මේ කාරණා දෙකම ඈ සපුරා ගත්තේ දෛවයට ඉඩ දී බලානොසිටිමින් අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් යුතුව කටයුතු කිරීමෙන්.
හොලිවුඩ් සිනමාවේ සමකාලීන රංග ශිල්පිනියන් අතර ඉහළම ආකර්ෂණයක් දිනාගත් නිළිය ඇය බව විනෝදාස්වාද ක්ෂේත්රයේ ප්‍රකට ප්‍රකාශන ගණනාවක් වාර්තා කළා.හොලිවුඩයේ සරාගීම නිළියන් අතර ද ඇය සිටින්නේ ඉහළ තැනක.කෙසේ වුවද ,අප ඔබට කියන්නට යන්නේ සිනමා තරුවක ලෙස ඇගේ ප්‍රභාව ගැන නොව ව්‍යවසායිකාවක ලෙස ඈ ඉහළ නැඟි ගමන ගැනයි. තාරකාවක ලෙස ඇගේ දීප්තිය අදටද අඩුවී නැතත් දැනට වසර ගණනාවක් තිස්සේ ඇය වඩාත් යොමුවී සිටින්නේ සිය ව්‍යවසායකත්ව භූමිකාව කෙරෙහි බව ප්‍රකට කාරණයක්.
ජෙසිකා මේරි ඇල්බා 1981 දී උපත ලැබුවේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී. ඇයගේ පියා ගුවන් හමුදා නිලධාරියෙක්. එම පවුල සාම්ප්‍රදායික ලතින් අමෙරිකානු පවුලක් වූ නමුත් ජෙසිකා පස් හැවිරිදි වියේ සිටිය දී පටන්ම ලිබරල් චරිතයක් වූ අයුරු ඇය පවසා තිබෙනවා.
ව්‍යවසායිකාවක ලෙස ඉදිරියට යාමට ඈ බාලවියේ දී අත්විඳි ආර්ථික අසීරුතා ද බලපාන්නට ඇති බව කිව හැකියි. පවුලේ ජීවිකාව සරිකරගත් අයුරු දක්වමින් එය පියාගේ මේ මාසයේ වැටුපේ සිට ඊළඟ මාසයේ වැටුප දක්වා සැලසුම් කළ ආර්ථිකයක් මිස ආර්ථික සුරක්ෂිතතාවක් නොවූ බව ඇය පවසා තිබෙනවා.
එපමණකුත් නොව ළමා වියේ දී ඈ අවුරුද්දකට හතර පස් වතාවක් දින, සති ගණන් රෝහලේ ගෙවා දැම්මේ නිව්මෝනියා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින්.ඇදුම රෝගයෙන් ද පුංචි සන්ධියේ පටන්ම ඇය පීඩා වින්දා.
උසස් පාසල් අධ්‍යාපනය නිමාකළ ජෙසිකා, රංගනය විධිමත්ව හැදෑරීමට යොමු වන්නේ 16 හැවිරිදි වියේ දීය. එසේ වුවත් ඇයගේ පළමු සිනමා රංගනය සිදුවූයේ ඈ 13 හැවිරිදි දැරිවියකව සිටිය දී. ජේම්ස් කැමරන්ගේ Dark Angel නම් විද්‍යා ප්රබන්ධමය රූපවාහිනී නාටක මාලාවේ රංගනයට ඈ තෝරා ගැනුණේ 1000කට අධික පිරිසක් අතරින්. ජෙසිකා ඇල්බා නම් නිළිය ගැන ලෝකය හඳුනා ගන්නේ Dark Angel සමඟයි. එසේ ඇරැඹි ගමන ලොව පුරා සිනමා කලා රසිකයන් වසඟ කළේ ඇය ජනප්‍රියත්වයේ ඉහළටම ඔසොවා තබමින්. තවත් කාලයක් සිනමා කලා අවකාශයේ සරන්නට කිසිදු බාධකයක් නොතිබිය දී ඇය ව්‍යවසායකත්වය දෙසට යොමුවීම එක්තරා අහම්බයක්.ජෙසිකා ඇල්බා ව්‍යාපාර ලෝකය ජයගත් ව්‍යවසායිකාවක බවට පත්වූ The Honest සමාගමේ උත්පත්ති කතාව ඇරැඹෙන්නේ 2008 වසරේ දී. ජෙසිකා ඇයගේ කුළුඳුල් දරු උපතට සූදානමින් සිටියදී ළදරු ඇඳුම් කිහිපයක් සේදීමට භාවිත කළ සේදුම් කාරකයක් ඇයට අාසාත්මිකතාවක් ඇති කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ පලු දැමීම වැනි ලක්ෂණ හේතුවෙන් ඇය පීඩාවට පත්වූවා. කොහොමටත් ඇදුම රෝගයෙන් පෙළෙමින් ඉසිලූ අපහසුතා ද සමඟ නුදුරු දිනෙක මෙලොවට බිහිවන දරු පැටියාට එවන් පීඩාවක් උරුම නොකළ යුතුය යන දැඩි අදිටන ඇය තුළ දැඩිව ඇතිවූයේ , කිසියම් බියක් ද සමඟ. රැයක් නිදිවරා අන්තර්ජාලයේ සරමින් කුඩා දරුවන් සඳහා ඇති එවැනි නිෂ්පාදන පිළිබඳ ගවේෂණයක යෙදුණු ඇයට එම නිෂ්පාදන බොහොමයක් අහිතකර රසායනික ද්‍රව්‍යවලින් යුතු බව පැහැදිලි වුණා. ඒ සමඟම ඇගේ සිතට නැඟෙන්නේ කුඩා දරුවන් සඳහා එවැනි සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන හඳුන්වා දීමට අවකාශ ඇති බවයි. එම නිෂ්පාදන පරිසර හිතකාමී වියයුතු බවට ද ඇය සැලකිලිමත් වූවා. මේ පිළිබඳ කළ වෙළෙඳපොළ සමීක්ෂණයකින් ඇයට පෙනීයන්නේ එවැනි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ද තිබෙන බවයි. සේදුම් කාරකවල සුවඳ ඇතිකරන සංඝටක ආදිය අහිතකර බලපෑම් ගෙන එන බව මෙම ගවේෂණවලදී ඇය වඩාත් දැනුම්වත් වූවා.
තම සිතෙහි උපන් අදහස සැබෑ කරගැනීමට උනන්දු වූ ඇයට ළමා සෞඛ්‍ය පිළිබඳ ලාභ නොලබන ආයතනයක් පවත්වාගෙන යමින් සිටි ක්‍රිස්ටෝපර් ගැවිගන්, නීතිවේදී බ්‍රයන් ලී සහ අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කරමින් සිටි සීන් කේන් හමුවෙනවා.
අවසානයේ දී The Honest සන්නාමයෙන් විෂ රහිත ළදරු හා ළමා සෞඛ්යාරක්ෂක මෙන්ම ගේ දොර පරිභෝජනය සඳහා නිෂ්පාදන 17 ක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට ඔවුන් සමත් වූවා. කුළුඳුල් ව්‍යවසායක ප්රයත්නයක එවැනි අවදානමක් ගැනීම බොහෝ අය අනුමත නොකළ පසුබිමක වුවද ජෙසිකා අවදානම බාර ගනිමින් සිය අදහස ක්‍රියාවට නැංවූවා. එහි ප්‍රතිඵලය වූයේ පළමු වසරේ දීම ඇ.ඩො. මිලියන 10ක අලෙවියක් වාර්තා කිරීමයි. දස වසරක් ගතවන විට The Honest සමාගම නිෂ්පාදන 135ක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබුණේ ඇ.ඩො.මිලියන 150ක වාර්ෂික අලෙවියක් ද සමඟය. ලබමින් සිටි සාර්ථකත්වය ද සමඟ ව්‍යාපාරික ලෝකයේ දැඩි තරඟකාරීත්වය හේතුවෙන්. නීතිමය ප්‍රශ්නවලට පවා මුහුණ දීමට මේ සමාගමට සිදු වුණා. කෙසේ වුවද, සිය නිෂ්පාදන වෙළෙඳපොළේ ඉහළට ගෙන ඒමට ඇය සමත් වූවා.ව්‍යාපාරයක් ලෙස එහි පසුබෑම් නොතිබූ බවක් ඉන් අදහස් වන්නේ නෑ. සාර්ථක ව්‍යවසායකයෙක් වීමේ බලගතු රහසක් නම්, පරාජයන්, පසුබෑම් සහ අලාභ ලබද්දී වුවද නැඟී සිටීමයි. සිනමා කලා ක්ෂේත්රයෙන් හා ව්‍යාවසායිකාවක ලෙස ඇ.ඩො.මිලියන 40ක් ඉක්මවූ වාර්ෂික ආදායමක් ලබන්නට ඇය සමත් වූ අයුරු ඇතැම් මූලාශ්‍ර දක්වා තිබෙනවා. ළමා වියේ දීම ජීවන අරගලය කෙබඳුදැයි අත්විඳ සිටි ඇය තුරුණු වියේදී නිවාස හා දේපොළ 10ක පමණ, මෝටර් රථ 6 ක හා සුඛෝපභෝගී යාත්‍රා 3 ක හිමිකාරිණියක බවත් ඇතැම් මූලාශ්‍රවලින් හෙළි කෙරුණා. Forbes සඟරාව වාර්තා කළ පරිදි ඇයගේ සමාගම ඇ.ඩො.බිලියනය ඉක්මවූ සමාගම් අතර තිබෙනවා. හොලිවුඩ් තරුවක් ලෙස ජනප්‍රියත්වයේ ඉහළම තැනක සිටිමින් 29 හැවිරිදි වියේ දී ව්‍යවසායිකාවක ලෙස ඇරැඹූ ගමන ඇය 44 හැවිරිදි විය කරා එළැඹ සිටිය දී සාර්ථකත්වයේ ද ඉහළටම ගෙන ගොසින්. ජෙසිකා බොහෝ විට තමාම ආදර්ශ කොට ගනිමින් අන්‍යයන්ටද අනුගමනය කළ හැකි පාඩමක් ලෙස සිහිපත් කරන කාරණය නම්, ව්‍යවසායකත්වය ඇරැඹෙන්නේ අදහසකින් බවයි. එමෙන්ම පසුබෑම් හෝ ඇදවැටීම් හමුවේ වඩාත් දිරිමත් විය යුතු බවයි.
ඇය විවාහ දිවියට එළැඹුණේ 2008 වසරේ දී. ඇයගේ සැමියා කෑෂ් වොරන්. කෑෂ්, සිනමා නළු මයිකල් වොරන්ගේ පුතණුවන්. මේ වනවිට දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය 16 වසරක යුග දිවියේ දෙදරා යාම පසුගිය ජනවාරියේ දී දැනුම් දුන්නේ වොරන්ගෙන් දික්කසාද වූ බව පවසමින්.
හොලිවුඩ් තාරකාවක් ලෙස තමාගේ ප්‍රභාව මෙන්ම කීර්තිය ඕනෑම මොහොතක ගිලිහී යා හැකි වුවද ව්‍යවසායිකාවක ලෙස අත්කරගත් කීර්තිය එලෙස ගිලිහී නොයනු ඇතිබව ඇය පවසන්නේ දැඩි විශ්වාසයකින් යුතුවයි.