වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පොල් පැළයක් නිවැරදිව සිටුවීමෙන් පොල් ගැටලුවට ස්ථිර විසඳුමක්

පොල් මිල ඉහළ යෑමට එරෙහිව විසඳුම් සොයා ගැනීම දවසින් දෙකෙන් කළ නොහැක්කකි. මේ බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වී තිබේ. පොල් මිල ඉහළ යෑමට හේතු වූ සාධක බොහෝය. එසේම එම හේතු නිසා තමුන්ගේ ගෙවත්තේ පොල් පැළයක් සිටුවීමට බොහෝ දෙනකුගේ උනන්දුව වැඩි වි තිබේ.
පොල් ඉඩම් කට්ටි කර විකිණීම නිසා පොල් ඵලදාව බොහෝ අඩුවිය. එසේම එයට තවත් හේතු සාධක බලපෑවේය. රටේ වර්ෂාපතනයේ ඒකකාරී නොවන බව, පොල් ගසට පොහොර යෙදීමේ අඩුකම, මතුපිට පස අධික ලෙස සෝදා පාළුවට ලක්වීම නිසා ද පොල් ඉඩම්වල පාංශු සරුබව පහත වැටුණේය. ඵලදාව අඩු පොල් වෙනුවට අලුත් පොල් පැළ නිසි ලෙස සිටුවීම අඩුවීම ද මෙයට හේතුවිය. මේ සියලු කරුණු හමුවේ පොල් වගාව දියුණු කිරීම හා පොල් ඵලදාව වැඩිකිරීම සඳහා රජය විසින් විවිධ ව්‍යාපෘති රාශියක්ම ක්‍රියාත්මක විය. නමුත් එම ව්‍යාපෘති තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ජනතාවගෙන් ලැබුණු සහයෝගය අඩුවිය. නමුත් දැන් පොල්මිල ඉහළ යෑම හමුවේ ජනතාවට එහි වටිනාකම දැනෙන්නට විය. ඒ නිසාම තමුන්ගේ ඉඩමේ ඉඩ ඇති තැනක පොල් පැළයක් සිටුවීමට වඩාත් උනන්දු වෙති. මේ කටයුත්ත සඳහා රජයේ ආයතන ගණනාවකම සහයෝගය ලැබෙයි. පොල් සංවර්ධන අධිකාරිය ඉන් ප්‍රධාන ආයතනයකි. එයට අමතරව පොල් වගා කිරීමේ මණ්ඩලය ද පොල් වගාව සඳහා විවිධ ව්‍යාපෘති රාශියක්ම ක්‍රියාත්මක කරයි.
අප මෙවර ඔබට ඉදිරිපත් කරන්නේ ගෙවත්තක පොල් පැළයක් නිවැරැදිව සිටුවන ආකාරයයි. මේ සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් හඳුන්වා දී ඇති ක්‍රමවේදය පිළිබඳ මුලින්ම අප අවබෝධයක් ලබාගත යුතු වෙයි.
පොල් ප්‍රභේද
Cocosnucifera කොකස්න්යුසිපෙරා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පොල්ගස ඒකබීජ පත්‍ර ශාකයකි. එහි තන්තු මූල පද්ධතියක් පවති. පොල් මල ගැහැනු මල සහ පිරිමි මල ලෙස වර්ග දෙකක් වේ. අවුරුදු 60 -70 ක් ආයු කාලයක් ඇති බහු වාර්ෂික බෝගයක් වන පොල් ගසේ අස්වැන්න හා දේශගුණික සාධක, පස අනුව වෙනස් වෙයි. පොල් වගාව සඳහා හොඳ සුර්යාලෝකයක් ගැඹුරු ලෝම පසක් ද එයට අවශ්‍ය වෙයි. ශ්‍රී ලංකාවේ පොල් ප්‍රභේද තුනකි. උස ප්‍රභේදයට අයත් වර්ග නම් උස නවසි, රන් තැඹිලි, දී කිරි, පොර පොල්, කවුන්දරා සහ බෝධිලි වෙයි. කුන්දිරා ප්‍රභේදයට අයත් පොල් වර්ග හතරකි. කොළ කුන්දිරා, රතු කුන්දිරා, කහ කුන්දිරා සහ දුඹුරු කුන්දිරාය. තැඹිලි ප්‍රභේද කිහිපයක් පවතී. නවසි තැඹිලි, රත්තරන් තැඹිලි, බෝතල් තැඹිලි එම වර්ගයි.
පොල් ප්රභේදයන් තෝරා ගැනීම
හොඳ පොල් ප්රභේදයන් තෝරා ගැනීම, නිවැරදි පරතරයට පොල්ගස් සිටුවීම පොල් වගාවේ ඉදිරි අස්වැන්නට බලපාන ප්‍රධාන සාධකයකි. සාර්ථක පොල් වගාවකට හොඳ ප්‍රභේදයකට අයත් සාර්ථක පොල් පැළයක් සොයා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එහිදී ඔබ පොල් පැළය සිටුවන ප්‍රදේශයේ පස සහ වර්ෂාපතනය බලා යෝග්‍ය වර්ගය තෝරාගත යුතු වෙයි. පොල් වගාවේදී බඳුන් පොල් පැළ සිටුවීම සාර්ථකම ක්‍රමයයි. උසස් ප්‍රභේදයක ලක්ෂණ කිහිපයකි. මනා කඳක් පිහිටීම, අතු පළල්ව විහිදී තිබීම, පත්‍ර පහක් හයක් තිබීම, තියුණු පත්‍ර ධාර හා උත්තල පත්‍රධාර පිහිටීම, වැඩි මුල් ප්‍රමාණයක් තිබීම හා රෝග සඳහා ඔරොත්තු දීමේ ශක්තියක් තිබීම යන කරුණු ප්‍රධාන වෙයි.
පොල් වගාවේ පැළ සිටුවීමේ සාර්ථකම ක්‍රමය සමචතුරස්‍රාකාර ක්‍රමයයි. පොල් ගස අතර යෝග්‍ය දුර ප්‍රමාණය වන්නේ අඩි විසිහයක් නැතිනම් මීටර් අටකි. සූර්යාලෝකයට විවෘත දිගු පත්‍ර ඇති පොල් ගස වැඩීමට විශාල වපසරියක් අවශ්‍ය වෙයි.
ගෙවත්තක පොල් පැළයක් සිටුවීමට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම වඩාත් වැදගත්ය. වැලි මිශ්‍ර ලෝම පසක් ඒ සඳහා වඩාත් සුදුසුයි. වදුල ඇති ස්ථානයක පොල් පැළයක් සිටුවීම සාර්ථක නොවෙයි. ඒ සඳහා පැළයට පොහොර සහ ජලය ලැබුණත් හිරුඑළිය නොලැබීමෙන් එම පැළය නිසි ලෙස වැඩීම සිදු නොවෙයි.
පොල් පැළයක් නිවැරැදිව සිටුවීම සඳහා වළ නිවැරදිව සැකසීම කළයුතු වෙයි. වැලි පස ලෝභ පසක නම් දිග අඩි තුනක් පළල තුනක් හා උස අඩි තුනක වළක් සැකසිය යුතුය. තද බොරළු පසක් නම් එය අඩි 4x4x4 ලෙස සකසා ගත යුතු වෙයි. පොල් වළ කැපීමේදී මතුපිට පස් එක් පැත්තකටත් ගැඹුරු පස තවත් පැත්තකටත් දමාගන්න. වළ පතුළට පොල් ලෙලි තට්ටුවක් දමා එයට උඩින් මතුපිට පස් තට්ටුවක් දැමිය යුතුයි. නැවත ඒ අයුරින්ම තට්ටුවක් දමන්න. මේ සඳහා පොල් ලෙලි තිහක් තිස්පහක ප්‍රමාණයක් යොදාගන්න. නැවත වළ පුරවන විට මතුපිට සාරවත් පස යොදා එය පුරවන්න. ගැඹුරු පස් දාන විට එය සාරවත් කිරීමට කාබනික පොහොර හා රසායනික පොහොර යොදන්න.
පොහොර යෙදීම
මෙසේ පොහොර යොදන විට අඟල් හයක් පමණ මට්ටමින් සම්පූර්ණ පොහොර පුරවන්න. දැන් ඔබ තෝරාගත් පොල් පැළයේ බඳුනේ යට කොටස් කපා ඉවත් කරන්න. ඉන් පසු පිර වූ වලේ මැද පස් ඉවත් කර ඉඩ ලබාගෙන සිටුවන්න. දැන් පැළය වළේ ඉඳුවා බඳුන වටේ ආවරණයද ගලවා ඉවත් කරන්න.
ගසට වේයන්ගෙන් සිදුවන හානියට ප්‍රතිකාර සඳහා කෘමි නාශකයක් යොදන්න. පැළය සිටුවා තෙතමනය රඳා පැවතීමට පැළය වටා පොල් ලෙළි හා පොල් අතු තට්ටු කිහිපයක්ද දමන්න. වියළි කාලයට පැළයට ජලය යොදන්න. එසේම පැළ අවධියේදී කෘමි හානිය ගැන ඉතාම අවදියෙන් සිටින්න. ඒ සඳහා අවශ්‍ය නම් කෘමිනාශක යොදන්න. එවිට ඔබට වසර තුනක හතරක කාලයකින් සාර්ථක පොල් ඵලදාවක් ලබා ගැනීමට වාසනාව උදාවෙයි. පොල් ගැටලුවට ද ස්ථිර විසඳුමක් ලැබෙයි.
විශේෂ ස්තුතිය
පොල් සංවර්ධන අධිකාරිය සහ
පොල් වගා කිරීමේ මණ්ඩලය