වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ලොකු ඉස්කෝලේ මහත්තයා

‘පන්තියේ අපි හැමෝම වාගෙ විභාගෙ පාස් වුණා. මං සම්මාන හතක් අරන් පාස් වෙලා මහා විද්‍යාලයට ගියා උසස් පෙළ කරන්න. ගමේ ඉස්කෝලෙන් තව තුන් හතර දෙනෙක්ම මහා විද්‍යාලයට ගියා. ඒ හැමෝටම එහෙට යන්න උදව් කළේ අපේ ලොකු සර්.
එහෙදි කලා විෂයයන් කරලා සම්මාන අරන් මං සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා.මට විශ්වවිද්‍යාලෙට යන්ට උදව් කළෙත් අපේ ලොකු සර්. නැටුම් විෂයයට සම්මාන ගන්න මට පුළුවන් වුණේ අපේ ලොකු මහත්තයයි ඒ නෝනා මහත්තයයි නිසා මට වන්නම් දහඅටම පුහුණු කළේ ඒ දෙන්නා.
අපේ ගමෙන් විශ්වවිද්‍යාලයකට ගිය පළවෙනියා මමයි අධ්‍යක්ෂතුමනි. ඒ ජයග්‍රහණයේ පෙරගමන්කරුවා වුණේ අපේ සර්.
උපාධිය අරන් ගමේ ඉස්කෝලෙටම ඇවිල්ලා, ලොකු සරුයි, ටීචරුයි වගේ ළමයින්ට උගන්නන්නයි මං බලාගෙන ඉන්නෙ.’ සුරංගනී කඳුළු පිස දමමින් කතා කළාය. ඇයගේ කතාවට හැමෝම අත්පොළසන් දුන්හ.
උත්සව සභාවෙන් පසුව ගමේ හැමදෙනාම පෙළට ඇවිත් සිරිදාස මහත්තයටයි, කුසුමලතා නෝනටයි වැඳලා ආචාර කළා. එවෙලේ හැමෝගෙම ඇස්වල කඳුළු. සමහර අම්මලා ලොකු නෝනාගෙ දෙපතුල් අල්ලාගෙන අඬා වැටුණා.
කුසුමලතා නෝනාත් ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙද්දි සාරිපොට ඇස් දෙකට තද කරගෙනයි හිටියෙ.
ගමේ අය කැවුම් කිරිබත්, කෙසෙල්, කේක්, විස්කෝතුවලින් කෑම මේසෙ පුරවලා තිබුණා. සංග්‍රහයෙන් පස්සෙ මන්ත්‍රීතුමාත්, අධ්‍යක්ෂතුමාත් සමුගත්තේ සුහද ලෙසින් සිරිදාස මහතාගෙ පිටට තට්ටුවක් දමමින්.
ලොකු මහත්තයයි නෝනවයි ගෙදරට ඇරලන්න ගමේ කට්ටියම ආවා. ඒ අය ගෙවල්වලට ගියේ ඇති තරම් අඬලා දොඩලා, හැන්දෑ කරුවල වැටුණහම.
එදා රෑ එළිවෙනකම් දෙන්නාට නිදිමතක් ආවෙ නෑ. තමන්ගෙ දහඩිය මහන්සියෙන් ගොඩනඟපු පාසලෙන් සමුගන්න වීමේ දුක දෙන්නම නිහඬව දරාගත්තා.
පහුවදා උදෙන්ම සිරිදාස මහත්තයා මූණ කට හෝදාගෙන ජාතික ඇඳුම ඇඳගෙන බෑග් එක අතට ගන්න කොට ඉස්කෝලෙ හාමිනේ පුදුම වෙලා බලා හිටියා.
“ඇයි මහත්තයො මේ කොහෙ යන්නද?”
“ඇයි, නෝන මහත්තය යන්නෙ නැද්ද?”
“කොහෙද ?”
“ඇයි ඉස්කෝලෙ යන්නෙ නැද්ද අද?”
“දැන් හොඳටම පරක්කුයි.” ඔරලෝසුවේ වෙලාව බලමින් ඔහු මිදුලට බැස්සා. “මහත්තයා පොඩ්ඩක් ඉන්න” කියමින් ඉස්කෝලෙ හාමිනේ ඔහුගේ පසුපසින් ගියා.
“අද සෙනසුරාදානෙ අපේ මහත්තයො අපි සඳුදට යමු.”
කුසුමලතා කී විට සිරිදාස නැවතුණේය.
“හැබෑවටම මට අමතක වුණා නොවැ” කියාගෙන ආපහු ගෙට ගොඩවූ සිරිදාස මහත්තයා පුරුදු හාන්සි පුටුවේ වාඩිවුණේය.
“අපේ මහත්තයා මේ තේ එක බීලා හිටිය නම්” කුසුමලතා උදේ තේ කෝප්පය
සිරිදාස අත තැබුවාය. සිරිදාස කතාබහින් තොරවම තේ එක බී කෝප්පය කනප්පුව මත තබා නැවතත් කල්පනාවට වැටිණි. ඔහුගේ කල්පනාව ඉස්කෝලෙ ගැනමය.
විශ්‍රාම උත්සවය නිම වී මාස හය හතක් ගෙවුණත් සිරිදාස ලොකු මහත්තයාට එය ඊයේ සිදුවූ දෙයක් මෙනි.
හාමුදුරුවෝ, මන්ත්‍රීතුමා, අධ්‍යක්ෂතුමා කී කතා ඔහුගේ කන්වලට නිතර ඇහෙනවා මෙනි. ඒත් ඔවුන් ආ ගමන කොතරම් කටුකද යන්න දැන සිටියේ සිරිදාස මහතා ම පමණි.
එකළ පාසලට සා.පෙළ සඳහා අවසර ගැනීමට ගිය සිරිදාස ඉස්කෝලෙ මහත්තයාට අධ්‍යාපන කන්තෝරුවෙන් අහන්න ලැබුණේ හිත හැදෙන කතා නොවේ.
"අනේ සිරිදාස මහත්තයො, ඔන්න ඕක අල්ලලා දාන්න. ළමයි පන්ති තියෙන ඉස්කෝලෙකට යන්නෙ නැතැයි.
අපි පන්තියට අවසර දුන්නත් ඩෙස්පුටු කවුද දෙන්නෙ? ගුරුවරු කවුද දෙන්නෙ ?"
කලාපයෙන් ලැබුණේ හැමදාම හිත රිදවන උත්තරයි.
"අනේ සර් කොහොමහරි පන්තිය අනුමත කරල දෙන්නකො.ඩෙස් පුටු වැඩේ මං භාර ගන්නම්.
ගුරුවරු හොයා ගන්නකම් අපිම උගන්නන්නම්.”
කලාප අධ්‍යක්ෂතුමන්ට තමා එදා පිංසෙණ්ඩු වුණේ සා.පෙළ පන්තිය නැවතුණොත් ගමේ ළමයින්ගේ අධ්‍යාපනය එතැනම නවතින බව සිරිදාස මහතා දැන උන් හෙයිනි.
නගරයේ ඉස්කෝලවලට යන්න තරම් හයි හත්තියක් ගමේ උන්ට නැති බව සිරිදාස මහත්තයා දැන සිටියේය. දැන් වුණත් ළමයි ටික පාසලට එන්නේ තමා ඔවුන්ගේ අඩුපාඩු හැකි අයුරින් සපුරන හෙයිනි.
සිරිදාස මහත්තයාගෙන් බේරෙන්නම බැරි තැන කලාප කාර්යාලයෙන් අවසර ලිපිය ලැබිණි. මැදපතන විදුහලේ සා.පෙළ පන්ති ඇරඹීමට අනුමැතිය දෙන බවට පළාත් කාර්යාලයෙන් ලිපියක් පාසලට එවා තිබිණ. සිරිදාස මහත්තයාගේ හිසේ මල් පිපුණේ එදාය.
ගමේ වැඩිහිටියන්ට පණිවිඩය කියූ සිරිදාස මහතා ඔවුන්ගේ වතුවලින් ලී දඬු හොයාගෙන, ගෝලයෙකුටත් කතා කරගෙන ළමයින්ට අවශ්‍ය ඩෙස් පුටු හැදීමට පටන් ගත්තේය. පන්සල් වත්තේ තියෙන ගහක් දෙකක් කපාගන්නා ලෙස ලොකු හාමුදුරුවෝ පණිවිඩ එවා තිබිණ.
ඉස්කෝලෙ වැඩට බාධාවෙන හෙයින් සිරිදාස මහත්තයා ඩෙස් පුටු හදන්න ගත්තේ රාත්‍රී කාලයේය. වඩුවැඩ දන්නා ගමේ දෙතුන් දෙනෙකු වැඩට උදව්වට ආ නිසා සති දෙකක් යන විට අලුත් පන්තියට අවශ්‍ය ඩෙස්, පුටු සියල්ල තනා නිම කිරීමට හැකිවිය.
සුබ නැකතට අලුත් පන්තියේ වැඩ ඇරඹිණි. ලොකු හාමුදුරුවෝ පොඩි නමක් සමඟ වැඩම කරවා සෙත් පිරිත් දේශනා කළ අතර, දෙමාපියන් ගෙනත් තිබූ කැවුම්, කිරිබතින් සැමට සංග්‍රහ කරන ලදි.
සිරිදාසට ඒ සියල්ලම අද ඊයේ සිදුවුණා සේ මතකය. කලාප අධ්‍යක්ෂතුමාවත්, මන්ත්‍රීතුමාවත් නොදන්නා ඒ කතා දැන සිටියේ ගම්මුන් හා සිරිදාස මහතා පමණි. නැවත නැවතත් සිරිදාස මහත්තයා ඒ පරණ කතා කුසුමලතාට කියමින් අහිංසක සතුටක් වින්දේය.
විශ්‍රාම ගියත්, උදේ සිට හවස්වෙන කල් ඉස්කෝලෙ වෙන දේවල් ගැන සිරිදාස මහත්තයා තවමත් හෙවිල්ලෙනි.
හවස් අතේ ගං ගොඩේ ඇවිදගෙන එන සිරිදාස මහත්තයාට දැන් ඉස්කෝලෙ ගැන අහන්න ලැබෙන දේ එතරම් සතුටුදායක නැත.
"ඉස්කෝලෙ දැන් බල්ලට ගිහිල්ලා මහත්තයෝ” ගුණපාල කඩපළේදි කිව්වේය.
"දැන් ඉස්කෝලෙ පටන් ගන්නවත්, ඇරෙන්නවත්, වෙලාවක් නෑ ලොකු මහත්තයො. "
ලබන සතියේත් හමුවෙමු