වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ස්වයං ලිඛිත මරණ දැන්වීම්

අදාළ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න කාලෙ එයාගෙ ජීවිතේ ප්‍රීතිමත් මතක අවුස්සන සුළු පින්තූරත් මේ අතරේ බහුලව දකින්න තියෙනවා.
'දිල්ලි වාලා' නමින් සෑහෙන පරණ බ්ලොග් එකක් තියෙනවා. බ්ලොග් එක ලියන්නෙ, පින්තූර ගන්නෙ මායන්ක් ඔස්ටින් සුෆි. මායන්ක් ජීවත් වෙන්නෙ නව දිල්ලියේ. කාලෙන් කාලෙට මේකට විවිධ අංග එකතු වෙනවා. මුලින්ම තිබ්බෙ නොයෙක් වර්ගයේ ලිපි සහ පින්තූර. කාලයාගෙ ඇවෑමෙන් මායන්ක්ගෙ බ්ලොග් එකට නොයෙකුත් ප්‍රවර්ග එකතු වෙලා පරිණාමය වෙලා. මේ අතරේ නව දිල්ලියේ පින්තූර, පින්තූර කතා, ආහාර, මෙට්‍රෝ, සංස්කෘතිය, ජීවිතය, ඓතිහාසික ස්ථාන ගැන වාගෙම මැරෙන්න කලින් තමන්ම ලියන මරණ දැන්වීම් තියෙන තීරුවක් තියෙනවා. මාව වැඩිපුරම උනන්දුවට පත් කරපු මරණ දැන්වීම් තීරුව මම සිංහලට පරිවර්තනය කරගත්තා 'ස්වයං ලිඛිත මරණ දැන්වීම්' කියලා.
ඇත්තෙන්ම මම මේ ටැග් එක මුලින්ම දැක්කෙ ඉන්ස්ටග්‍රෑම් එකෙන්. මරණය සමරනවා දැකලා තිබ්බට තමන්ගෙ මරණ දැන්වීම මැරෙන්න කලින් තමන්ම ලියලා කොහේ හරි පළ කරනවා කියන අදහසම මාව කනපිට හැරෙව්වා. මේ මරණ දැන්වීම් හරිම සංක්ෂිප්තයි. වචන 200 ඔක්කෝම කියන්න වෙනවා. සාමාන්‍ය මරණ දැන්වීමක තියෙන ශෝකී ගතිය ‘දිල්ලි වාලා’ පළ කරන මරණ දැන්වීමේ දකින්න තියෙන්නෙ අඩුවෙන්.
කොහොමත් කෙනෙක් මිය ගියාට පස්සෙ පවුලේ සමීපතයෙක් අතින් තමයි මරණ දැන්වීමේ මූලික සැකිල්ල ලියවෙන්නෙ. ඒක වැඩි දියුණු වෙන්නෙ වෙනත් කෙනෙක් අතින්. සමහර විට මේ වෙනත් කෙනා සම්පූර්ණයෙන්ම ආගන්තුක පුද්ගලයෙක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.
මියගිය පුද්ගලයා හීනෙන්වත් නොහිතන අන්තර්ගතයක් එයාගෙ මරණ දැන්වීමේ තියෙන්න පුළුවන්. දැන් මායන්ක්ගේ බ්ලොග් එකෙන් ඒ වැරැදි ඔක්කෝම නිවැරැදි කරගෙන තමන්ට ඕනා විදිහේ මරණ දැන්වීමක් පළ කරන්න පුළුවන්. ‘දිල්ලි වාලා’ බ්ලොග් අඩවියේ (thedelhiwalla.com) පළ කරලා තියෙන මරණ දැන්වීම් එකින් එක කියවලා මේ උත්කර්ෂය ඕන කෙනෙකුට විඳගන්න පුළුවන්. එහෙම කියවමින් ඉන්න අතරේ යම් කෙනෙකුට මගේ ස්වයං ලිඛිත මරණ දැන්වීමත් ඇහැ ගැහෙන්න පුළුවන්.
මෙහෙම ලියලා යවන මරණ දැන්වීමත් එක්ක යොමු කරන පින්තූරයක් හෝ කිහිපයක් ‘දිල්ලි වාලා’ බ්ලොග් අඩවියේ පළ කරනවා. අදාළ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න කාලෙ එයාගෙ ජීවිතේ ප්‍රීතිමත් මතක අවුස්සන සුළු පින්තූරත් මේ අතරේ බහුලව දකින්න තියෙනවා. මේ, ඒ වාගේ මරණ දැන්වීමකින් කොටසක සිංහල පරිවර්තනය.
සිපේශ් මිත්තල්, ඩුබ්රි, ඇසෑම්
177 වැනි මරණ දැන්වීම
-සටහන සහ ඡායාරූප යොමුව: ඩිපේශ් මිත්තල්
ඩිපේශ් මිත්තල් මිය ගොස් ඇත. ගීයක් ගයමින් මහාමාර්ගයේ ගමන් කරමින් සිටි ඔහුව වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇත. මේ ශෝක වීමට නොව සැමරීමට සුදුසු සිදුවීමකි. ජීවත් වූ කාලය මුළුල්ලේම ගැටලු රාශියක් සහිතව ඔහු දිවි ගෙවූවෙකි. ජීවිතය මද උමතුවකින් ගෙවූවෙකි. ඇතුළු හදක් ඇත්තෙකි. කිසිවකුට තේරුම් ගත නොහැකි බොහෝ දේ නිතර කීවේය. ජීවිතයේ සත්‍ය සහ ආදරය අතර ඇති ඉඩ ගැනත් ඔහු ඒ සියල්ල අතර සිරව සිටින ආකාරය ගැනත් පැවසීය.
මේ මරණය සමරන ආකාරය ගැනයි. නමුත් ඊට කලින් අපි ජීවිතය සැමරිය යුතුයි නේද?