වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
ලස්සන සුවඳ විලේ කිමිදෙන්න කොටුවේ වළේ මාර්කට් එන්න

මෙම විශේෂාංගය හරහා අපි කොටුවේ විවිධ වීදි ගැන බොහෝ දේ කතා කළෙමු. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විවිධ භාණ්ඩයන් ලබා ගැනීමට මෙන්ම ස්වයං රැකියා සඳහා අවශ්‍ය දේ ලබා ගැනීමට පැමිණෙන සැමට රස්තියාදුවකින් තොරව කොටුවෙන් සියල්ල ලබා ගැනීමට මඟපෙන්වීම අපේ විශේෂාංගයේ අරමුණයි.
ඒ අනුව අද අපි ඔබව රැගෙන යන්නේ කොටුවේ අන්ඩර් ග්‍රවුන්ඩ් මාර්කට් ඇතුළටයි.
කොටුවේ Under Ground Market
දෙවැනි හරස් වීදියේ මවුලාන කම්පේලෙක්ස් (Moulana Complex) රෙදිපිළි පිරී ඇති සාප්පු සංකිර්ණයකි. ඒ අතරින් පහළ මහලේ තනිකරම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිසල් ගණනාවක්ම ඔබ වෙනුවෙන් වෙන් වී තිබේ.
ලංකාවේ ඕනෑම කෙනෙක් අඩුවට යම් දෙයක් ගන්න හිතනවා නම් එක්වරම සිහියට නැඟෙන්නේ පිටකොටුවයි. ඔන්න ඉතින් රූපලාවනණ්‍ය හා සම්බන්ධ සියලුම නිෂ්පාදන අඩුවට ගන්න තියෙන එකම තැන මේ 'Under Ground Market'. එහෙමත් නැත්තම් පොළොව යට පිහිටි වෙළෙඳ සංකීර්ණයයි.
දෙවැනි හරස් වීදියේ පොළොව යට පිහිටි මෙම එක් වෙළෙඳ සංකීර්ණයක් සම්පූර්ණයෙන්ම වෙන්ව ඇත්තේ විවිධ වර්ගයේ ආලේපන, රූපලාවණ්‍ය උපකරණ ආදිය අලෙවි කරනා කඩ සාප්පු වෙනුවෙනි.
කුඩා ප්‍රමාණයේ කඩ සාප්පු 15 - 20ක් පමණ මෙහි දැකිය හැකි අතර මේ සියල්ලෙහිම අලෙවි වන්නේ කාන්තා සහ පිරිමි රුව හැඩවැඩ කරනා විවිධ වර්ගයේ ආලේපන සහ ආම්පන්නයි.
ඔබගේ රූපලාවණ්‍යගාරයට, එදිනෙදා පාවිච්චියට ගන්නා රූපලාවණ්‍ය නිෂ්පාදන සැලෝන් උපකරණ, ෂැම්පු, කන්ඩිෂනර්, මේකප් බඩු, ක්‍රීම් වර්ග, ජෙල් වර්ග, අයිලයිනර්, ලිප්ස්ටික්, හෙයාර් කලරින්, ක්‍යුටෙකස්, හෙයාර් ඩ්‍රයර්, හෙයාර් අයන් තොග මිලට සහ සිල්ලර මිලට මෙහිදී ලබාගන්න පුළුවන්.
මේ අලෙවි පුර දේශීය නිෂ්පාදන සහ විදේශීය නිෂ්පාදන දැකිය හැකියි. විශේෂයෙන්ම තායිලන්තය, සිංගප්පුරුව, ඉන්දියාව වැනි රටවලින් මෙන්ම ඩුබායි වැනි මැදපෙරදිග රටවලින් ද ගෙන්වා බෙදා හරිනු ලබන විවිධ ආලේපන වර්ග බොහොමයකි.
විවිධ ජනප්‍රිය වෙළෙඳ නාම යටතේ ඔබ භාවිත කරන බොහොමයක් ෂැම්පු, කන්ඩිෂනර්, විවිධ ක්‍රීම් වර්ග මෙන්ම මුහුණු හැඩ කරනා මේක්අප් පවුඩර්, ක්ලොන් වර්ග විතරක්ම නොවෙයි අවශ්‍ය බ්‍රෂ්, කතුරු, පින්සල් ආදී සියලුම රූපලාවණ්‍ය උපකරණ බොහෝ ප්‍රමාණයක් දැකීමෙන් ඔබ සැබැවින්ම මවිතයට පත් කරාවි.
ඔබට පහසුවෙන්ම ඔබේ රුචිකත්වය මත මේවා තෝරා ගත හැකි අතර වර්තමාන වෙළෙඳපොළේ පවතින මිලට වඩා බෙහෙවින් අඩු මිලකට ද ලබාගත හැකියි.
ඊට අමතරව ඔබ රූපලාවණ්‍ය ආයතනයක් පවත්වාගෙන යන යුවතියක් නම් ඔබේ රූපලාවණ්‍යගාරයට අවශ්‍ය සියලුම ආලේපන වර්ග පමණක් නොව ඊට අවශ්‍ය උපකරණ එනම් කෘත්‍රිම කොණ්ඩ, පුටු, සින්ක්, කොණ්ඩ සකසන උපකරණ විවිධ කතුරු වර්ග, මේක්අප් බොක්ස් ආදී දහසකුත් දෑ බෙහෙවින් අඩු මිලකට මෙහිදී ගත හැකි වේ.
ඔබේ අතේ රැඳි මුදලට සරිලන පරිදි මේවා තෝරාගත හැකියි.
මේවා රැගෙන ගොස් පුංචි ස්වයං රැකියාවකට ද මං විවර කරගන්න ඔබට දැන් පුළුවන්.
PIX BY - ශාන් රඹුක්වැල්ල