හිමිදිරිය

ජුනි 2, 2025

 

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට whatsApp කරන්න.

හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.

අද හිමිදිරියට කවි තෝරන ඔහු ජයන්ත කහටපිටිය
 

දීර්ඝ කාලයක් පුරාවට පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙසින් මෙන්ම සාහිත්‍ය හා සිනමා විචාරකයකු වශයෙන් ද කටයුතු කරන හෙතෙම දක්ෂ කවියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය”යි.

දෙවැන්න ‘ශේෂ වන සේ සිනහව.මකා දැමිය හැකිද රේඛාව”. ඊට අමතරව යොවුන් සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ද රචනා කර ඇති ජයන්ත මහතාගේ නවතම යොවුන් නවකතාව “සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්” කෘතියයි.

 

හොඳම කවිය

නීරෝ පිළිබඳ පැනයක් ඇත මට

ඇයි
රෝෙම ගිනි ගනිද්දිත්
නීරෝ වීණා වැයුවෙ
සතුටින්ම මියයන්න සිතුවාද
එහෙම නැතිනම්
කිහිප වතාවක්ම
බිඳිල හදපු
හයිය හදවතක්ද තිබුණේ නීරෝට
ඒකද ගිනි රස්නෙ නොදැනුණේ ඔහුට
හරිම පැනයක් මට
හැබැයි, එදා
ගිනි නිව්ව නම්
උපමාවකින්වත් හමුවන්නෙ නෑ
ඔහු අපට
ලොකුම ලොකු
ව්‍යසනයක් වුණත්
තඹේකට
ගණන් නොගත්තු අය
එදත් ඉඳලා තියෙනවා
අද වගේම යසට

ශ්‍රියානි වීරසිංහ
දර්ගා නගරය

 

නීරෝ කියන්නෙ සියලුම නරක ක්‍රියා පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසේ ජීවත් වූ රෝම අධිරාජ්‍යයෙක්. ශතවර්ෂ විස්සකට පස්සෙත් ඔහුගේ නම අපි "රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා" කියන පිරුළ ඔස්සේ උසුරුවනවා.
ඉතිහාසය බොහෝවිට යහපත් මිනිස්සුන්ගෙ නම් මකා දමනවා. අතිශයින්ම දරුණු ක්‍රියා මතක තබාගන්නවා. මේක ඛේදවාචකයක් වුණත් සදාතනික දහමක්.

ශ්‍රියානි වීරසිංහ ඇගෙ කවියෙන් මතු කරන මේ දාර්ශනික අර්ථය අනුභූතික යථාර්ථයකට (empirical reality) ගෙන එන්න සමත් වෙනවද කියන ප්‍රශ්නය අප හමුවේ තියනවා වුණත් ඇය අපූර්ව වස්තු බීජයක් ඇගේ නිර්මාණයට පාදක කරගැනීමේ හේතුව සළකා ඇගේ නිර්මාණය අගය කරන්න පුළුවන්. ඉදිරියට වඩාත් සාර්ථක නිර්මාණ ඔස්සේ ඇය පාඨකයන්ට හමුවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
 

---------------------

දෑත්

තියෙන්නෙම බැඳෙන්නට
වෙළෙන්නට
පිරිමදින්නට
දිනෙක ලිහෙන්නට....

කියා දුන්නේ ඔබ ය

මඟ බලා කාලාන්තරයක්
ලොබ බැඳන් අනේක කප්පරක්
ඔබේ අත් අතර රැඳුණේම
ජීවිතය මරණයට
කැප කරන්

කාල අනුකාල ගෙවා
ආ මඟ
'පෙරුම් දම් 'යයි
සොඳුරුතම
නොඉවසුම් දහමක්
ප්‍රත්‍යක්ෂ ‍ කළේ
දෑත් එකිනෙක වෙළුණු දාය
ඔබෙ සුසුම් යට

"තම තමන් කැමති මඟකින්
ස්වර්ගයට යා හැකි ය "

කමටහන දුන්නේ ඔබ ය .

ඔබේ දෑත් මා සිරුර
සිසාරා සැරි සැරූ දා ය

අවදි වූයේ ස්වර්ගීය සුවය.....

සියල්ල කෙළවර බව
නොපිළිගද්දිත්
ගිලිහෙනා දෑතක්
තුන්වැනි නේත්‍රය ඇහැරවයි

'සියල්ල අහවර ය
ඉතින් නැවතිය යුතු ය'

සදාතනික දහම ඇත්තේ
ලිහෙන දෑතක් ළඟ ය.....

ප්‍රියන්ජලා සෙනෙවිරත්න
 

---------------

ඔබ - මා නොවන තැන

සැරි සැරුම් අතරෙහි
මුණගැසුණු ඔබ
රැඳී හුන් තැන
ළඟ ද කොතරම්
වදනින් පවුරු ඉදිකළ
කුඩා කුටියේ
නොවී සිරගත

නිහඬතාවෙහි
මහා සක්වළෙහි
පා ඔසවමින්
ඇවිද යන අතර
ඔබ සුසුම් සර
අනුරාව නඟන, යුරු
ගැඹුරු හෘද භාෂණයක

ආර්ද්‍රව දැනෙන
මේ හැඟුම්
සාම්‍යයද කෙතරම් ම හදට
මේ නොදිගු මඟ
හැර යන්ට පෙරාතුව
සොයමි
මම ඔබ
මා නොවන තැන
කොතැන ද

චමින්ද රොෂාන්
 

------------------------

 ජීවිතය පොතක් නම්...

ළබැඳි මවු කෙනෙකු දසමස කුස හොවලා
නොවිඳි දුක් පළමුවර ඈ අත්විඳලා
ඉපදී එමවු කුස හැර ලෝකය දැකලා
සබැඳිමයි දිවි පොතෙහි ‘පිදුමට’ නොවලා

එදරු සුරතලය ලබමින් නෑයා සැමා
මහරු වචන ගළපන විට මුවද නමා
අනුරුවකි ග්‍රන්ථ ‘පෙර වදනක’ට සැමා
සොඳුරු එජීවිත පොත ඇරඹුමම තමා

පොඩි දරුවා බහ තේරූ සමය පසු
අඩියෙන් අඩියම යනවා කලට සිසු
වැඩිකල් නෑ ‘පරිච්ඡේද’ සමව ඇසූ
වැඩිහිටියෙකි ජීවිත පොත ඇතුළේ මුසු

ජීවිතයෙහි තුන්කල් සතුටෙන් ඉඳලා
මීවිත සම සැපදුක් අඩු වැඩි ලබලා
සේසත තම ළඟ ළබැඳින් හට ලියලා
ඒ පොත දිවි ‘අන්තර්ගතය’යි සිතලා

වියපත් වී දිවි ගමනෙහි ඉමද සොයා
රැයක ළැදි සැම හඬවා ගමන ගියා
සිය ජීවන තතු ගුණ කථනයක කියා
එයමයි ඔහු දිවිපොත ‘පසුවදන‘ ලියා

සරත් කුමාර වික්‍රමගේ

-------------------

ඔබට

සඳ දිය උතුරා
අපතේ යන විට
සඳ දිය අහුලා
ගන්නට සැරසෙන
මා ප්‍රිය සොඳුරිය
ඔබටයි ඇරියුම්
මා සමඟින් එහි පීනා යන්නට

සඳවත අහසින් දිලෙනා විටදී
මුනි පෙත්තක් සේ මා ඉන්නම්
දිදුලන බබළන
සෙනෙහස ඉතිරුණු
සෙනෙහෙ සිතින්
මා ඔබ අගයන්නම්

සඳ සිසි සොමි ගුණ
සපිරුණු අයුරෙක
දිලෙන පහන් මිණි
වැට මට දිස්වන
අයුරින් හිමිවන
සෙනෙහෙ සිතින් අප
ආදරයෙන් නිති ඔබ හා එන්නම්

ශහින් නවීන් රත්නායක
 

------------------

දරුවෝ


මවගේ උදහසට ලක් වන
ඒත් පසුපසම ලුහුබඳින
පියාගෙන් යැපෙන
සෙනෙහෙ පොදියක් ලබන
සිත තුටින් උතුරුවන
ටිකෙන් ටික තුරුණු වන
මා පියන්ගේ ලොවේ
අමිල වස්තු සම්භාරය
අත්හළ නොහැකිව ළතැවෙන
කාම වස්තුව පරම

වෛද්‍ය ශ්‍යාමලී අනුරුද්ධිකා
මොරටුව

------------------

ආරාධිත කවිය

රාංකිරිල්ලි


වාංදමන වැව
දවසක සිඳී යති
කෝංගහට මා වවුලෝ හෙටත් එති
රාංකිරිල්ලිට කූඩුවෙ
දොරක් නැති
සාංකාව දලුලා
අතු සුමුදු පෙති

ගුරු ගෙයි අගුළු වැටුණා බොඳ විය අකුරු
අරුමය හිසට ඉහළින්
ගිනි මල් පොකුරු
හිරු සඳු බැස ගොසින්
පටු පාරකි අතුරු
හුරු මැටි පැලත්
සිරියහනකි ඉටු මිතුරු

වෙළී සියොළඟම
බිය සැක ඔඩු දුවනා
ඇලී කුසට බඩ සායෙන්
දුක දවනා
කුලී තුඹස දැක උරගුන්
රොද බඳිනා
පැළී වළං වැව් පතුලෙත්
ඉරි ඇඳෙනා

රැඳෙනා මල් සුවඳ
දැනුණම රොනක පිරි
ඇදෙනා බොල් සුළං
නවතා දමනු බැරි
ඇනෙනා රෝස කටු
උගුලා රුහිරු පිරී
දැනෙනා මඟට
පිය නැඟුමට ගනින් දිරි

පාට හොඳයි
පිපිලා තාරකා කැට
ඊට වඩා සුවඳයි
සේපාලිකා වට
ගාට ගාට වස්සානය
දුරින් සිට
දූට ඇමතුමක් එනු ඇත නුදුරු හෙට

මහගම සීලානන්ද හිමි