බුකර් ත්‍යාගය "හද පහන"දල්වයි

ජුනි 9, 2025

 

බුකර් ත්‍යාගය මෙවර පිරිනැමුණේ ඉන්දීය කණ්ණඩ කෙටිකතා එකතුවක ඉංග්‍රීසි පරිවර්තනයක් වූ Heart Lamp කෘතියටයි. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිල භාෂාව වන කණ්ණඩ මිලියන 65ක් පමණ දෙනා භාවිත කරනවා. කණ්ණඩ භාෂාව ඉන්දියාවේ සම්භාව්‍ය භාෂා අතරට ද අයත් වනවා.

 

කණ්ණඩ සාහිත්‍යය ඉතිහාසයට එක්වන පළමු බුකර් සම්මානය ද මෙයයි. බුකර් සම්මාන ඉතිහාසයේ ද එය විශේෂ වන්නේ කෙටිකතා සංග්‍රහයක් වෙනුවෙන් එම සම්මානය පිරිනැමුණු පළමු අවස්ථාව වීම හේතුවෙන්. එසේ බලන කල මෙය කෙටි කතා සාහිත්‍යයට අදාළව ද යම් සන්ධිස්ථානයක්. Heart Lamp යනු ලේඛිකාවක, සමාජ ක්‍රියාකාරිණියක මෙන්ම නීතිවේදිනියක ද වන බානු මුෂ්ටාක් ගේ කෙටිකතා සංග්‍රහයක් . එය එනමින් ඉංග්‍රීසියට පරිවර්තනය කළේ ලේඛිකාවක වන දීපා භාෂ්ති.

මැයි මස 20 වැනිදා ලන්ඩනයේ දී බානු මුෂ්ටාක් සහ දීපා භාෂ්ති වෙත සම්මාන ප්‍රදානය සිදුකෙරුණා. ඊට හිමි පවුම් 50,000ක මුදල් ත්‍යාගය ඔවුන් දෙදෙනා අතර සමව බෙදී යනවා.

 

Heart Lamp කෙටි කතා සංග්‍රහයට අයත් වන්නේ බානු විසින් 1990 - 2023 වකවානුවේ ලියන ලද කෙටිකතා 12ක්. ඇය ලියූ කෙටිකතා අතරින් මෙම කතා 12 කෘතිය සඳහා තෝරාගෙන ඇත්තේ පරිවර්තිකාව වන දීපා භාෂ්ති. තම අභිමතය පරිදි එම තෝරාගැනීම කිරීමට අවසර දීම ගැන ඇය බානුට ස්තුතිවන්ත වී තිබුණා. කෘතියට ලද සම්මානයෙන් පෙනෙන්නේ දීපාගේ තෝරාගැනීම නිවැරැදි බවයි.

 

කණ්ණඩ සාහිත්‍යයේ ප්‍රගතිශීලී ප්‍රමුඛයෙක් ලෙස සැලකෙන බානු මුෂ්ටාක් එම කෙටි කතා මඟින් වෑයම් කර ඇත්තේ, දකුණු ඉන්දියාවේ පීතෘ මූලික සමාජයක ගැහැනු ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත දෙස බැලීමටයි.සිය නිර්මාණ මඟින් ඇය විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ අසාධාරණයට හා පීඩාවට ලක්වන මුස්ලිම් කාන්තාවන් ගැනයි. ඇය ,කාන්තා අයිතීන් වෙනුවෙන් මෙන්ම කුල පීඩනයට හා ආගම අනුව බෙදා වෙන්කිරීමට එරෙහිව හඬ නැඟීමේ දී ඉදිරි පෙළ ක්‍රියාකාරිණියක ද වනවා.

බුකර් සම්මානය දිනාගත් දෙවැනි ඉන්දීය ලේඛිකාව ඇයයි. පළමුවැන්නිය, 2022 වසරේ දී එය දිනාගත් ගීතාංජලී ශ්‍රී. ඒ, Tomb of Sand නවකතාව වෙනුවෙන්. කණ්ණඩ සාහිත්‍යයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය වී බුකර් සම්මානය දිනූ පළමු කෘතිය වන්නේ ද Heart Lamp. මේ සම්මානයත් සමඟ දීපා භාෂ්ති ද වාර්තාවක් තබන්නේ , බුකර් සම්මානය දිනාගත් පළමු ඉන්දීය පරිවර්තිකාව බවට පත්වෙමින්. Heart Lamp කෘතියට බුකර් ත්‍යාගය පිරිනැමීමට හේතු කාරණා දක්වමින් ජූරියේ සභාපති මැන්ස් පෝටර් සඳහන් කළේ , මේ කෘතිය ඉංග්‍රීසි පාඨකයා වෙත අලුත් දෙයක් රැගෙන විත් ඇති බවයි. එමෙන්ම එය රැඩිකල් පරිවර්තනයක් බව ද ඔහු සඳහන් කළේ , ලොව පුරා සිටින සාහිත්‍ය රසිකයන් සමඟ මෙවර බුකර් ත්‍යාගය පිළිබඳ පුවත සතුටින් බෙදාගන්නා බව පවසමින්.

කාන්තාවන්ගේ ජීවිත කේන්ද්‍ර කරගනිමින් ලියැවී ඇති ඒවා දකුණු ඉන්දීය ජන ජීවිතයේ කාර්ය බහුලත්වය , ආගමික විශ්වාස , කුලය , බලය , ලිංගික අයිතීන් වැනි කාරණා ආශ්‍රිතව ගොඩනැඟී තිබෙන බව පෙන්වා දුන් ඔහු, ජූරි සාමාජිකයන් එකිනෙකාගෙන් ස්වාධීනව හා වෙනස්ව කෘතිය දෙස බලා ඇතත් කෘතීන් තෝරාගැනීමේ පළමු වටයේදීම ජූරියේ සියල්ලන්ගේ ආදරය දිනාගැනීමට එය සමත් වූ බව ද පැවසුවා. බානුගේ කතාවල බොහෝවිට හමුවන්නේ සැරපරුෂ ආච්චි අම්මලා , විහිළුකාරී මවුලවිවරු ,දාමරිකයන් වැනි සහෝදරයන් , අවාසනාවන්ත ස්වාමිපුරුෂයන් මෙන්ම ඒ සියල්ලන්ටමත් වැඩියෙන් මව්වරුන්.

 

බුකර් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුව ප්‍රකාශයට පත්වීමත් සමඟ "ගාඩියන් "වෙබ් සංස්කරණයට Heart Lamp කෘතිය ගැන විචාරයක් ලියමින් ජෝන් සෙල්ෆ් සඳහන් කළේ , එහි ගුප්තමය ලක්ෂණ සහිත කෙටිකතාවල පටන් හාස්‍ය රසය දනවන කෙටිකතා දක්වා පරාසයක විහිදෙන අන්තර්ගතයක් ඇති බවයි. කෙසේ වුවද , ඉන් ඉදිරිපත් කෙරෙන දැක්ම අචල බව ද ඔහුගේ අදහස වුණා.

 

බානු මුෂ්ටාක් කර්ණාටක ප්‍රාන්තයෙන් බිහිවූ ලේඛිකාවක්. ඇය නිර්මාණකරණයට පිවිසෙන්නේ 1970 -1980 වකවානුවේ දී. ඒ , ප්‍රගතිශීලී විරෝධාකල්පික සාහිත්‍ය කවවලට සම්බන්ධවයි. ඒ අවධියේ පටන්ම ඇය කුල පීඩනය , පංතිභේදය වැනි කාරණාවලට එරෙහි වූ සමාජ ක්‍රියාකාරිණියක වූවා. එකල "බන්දයා සාහිත්‍ය ව්‍යාපාරය" කුලහීන මෙන්ම මුස්ලිම් ලේඛිකාවන්ට පෙරට ඒමට විශාල රුකුලක් වූ අතර බානු අයත් වන්නේ ද ඔවුන් අතරටයි.

මේ දක්වා ඇයගේ කෙටිකතා සංග්‍රහ 6ක් සහ එක් නවකතාවක් ප්‍රකාශයට පත්වී තිබෙනවා. කණ්ණඩ බසින් ලේඛනයේ යෙදෙන ඇයගේ කෘතීන් මීට පෙර ද සම්මානයට පාත්‍ර වුණා. ඒ අතර , කර්ණාටක සාහිත්‍ය ඇකඩමි සම්මානය ද තිබෙනවා. Heart Lamp ඇයගේ කෙටිකතා ඉංග්‍රීසියට පරිවර්තනය වූ පළමු අවස්ථාවයි. එම කෘතිය ප්‍රකාශයට පත්වූයේ ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී .

 

පරිවර්තිකාව වන දීපා භාස්ති ද ලේඛිකාවක් . ඇය මෙම පරිවර්තනය කිරීමේ දී කණ්ණඩ භාෂාවේ රිද්මය මෙන්ම අනන්‍යතාව ද රැකගනිමින් එය කර තිබීම පරිවර්තන කෘතියේ සාර්ථකත්වයට හේතු වී ඇති බව පැහැදිළියි . දීපාගේ තීරු ලිපි , විචාර ආදිය ඉන්දියාවේ මෙන්ම අන්තර්ජාතිකව ද ප්‍රකාශයට පත්වී තිබෙනවා. බුකර් සම්මානය ලද පළමු ඉන්දීය පරිවර්තිකාව වන්නේ ද ඇයයි.මීට පෙර පරිවර්තනය සඳහා වන PEN ත්‍යාගය ද ඇය දිනාගෙන තිබෙනවා.පරිවර්තනය ගැන දීපා කියන්නේ පළමුවෙන් බානු වසර 30ක් වැනි කාල සීමාවක් තිස්සේ ලියූ කෙටිකතා 50ක් පමණ කියවා අනතුරුව ඉන් කතා 12ක් තමන්ම Heart Lamp වෙනුවෙන් තෝරාගත් බවයි. එකී තෝරාගැනීමේ නිදහස ලබාදීම ගැන ඇය බානුට ස්තුතිය පිරිනැමුවා.බානු මුෂ්ටක් Heart Lamp ගැන කියන්නේ , කිසිවෙකුගේවත් හව්හරණක් නැති එම කතුන් තමන් තුළ ගැඹුරු මෙන්ම සංවේදී කම්පනයක් ඇතිකළ බවයි. එයම ඔවුන් ගැන ලියන්නට තමන් පෙළඹ වූ බව ඇය පවසනවා. ඒ වෙනුවෙන් වැඩිදුර පර්යේෂණ කිරීමට අවශ්‍ය නොවූ බව ඇය පෙන්වා දෙන්නේ තම හදවතම පර්යේෂණ ක්ෂේත්‍රය වූ බව පවසමින්.

 

සම්මානය ලබාගනිමින් එය තමන් තනිව ලැබූ ජයග්‍රහණයක් නොවන බව පැවසූ බානු මුෂ්ටක් මෙසේ ද පැවසුවා,

" නිරන්තරයෙන් අපව බෙදා වෙන්කිරීමට වෑයම් කරන ලෝකයක සාහිත්‍යය යනු , තවමත් අප එකිනෙකාගේ සිත්වල ජීවත්විය හැකි අවසන් පූජනීය අවකාශයන්ගෙන් එකක්"