නිවෙසින් ඇරැඹෙන පරිසරය සුරකින ලොකුම ව්‍යාපෘතිය

ජුනි 9, 2025

 

සොබාදම් දිනිතිය අපුර්වතම නිර්මාණයකි. Nature is Painting for us, Day after day pictures of Infinie beauty මේ අපූර්වතම සොබාදහම අප වෙනුවෙන් දිනෙන් දින අසීමිත සුන්දරත්වයේ පින්තූර පින්තාරු කරයි. සැබැවින්ම මේ මහ පොළොවේ අයිතිය ඇත්තේ මිනිසාට පමණක්ම නොවෙයි. සතා සිවුපාවා ගහ, කොළ, ඇළ, දොළ, ගංගා සියල්ල මේ මිහිමඬලේ සොබාදහම මැවූ අසිරිමත් හිමිකරුවන්ය. එහෙත් මේ වන විට දිනෙන් දින වැඩි වන ලෝක ජනගහනය හමුවේ සොබාදහ‍ෙම් සියල්ල මිනිසා විසින් අත්පත් කරගෙන ඇත්තේ අසීමාන්තික ලෙසිනි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ලෝකය පුරාම විවිධ වූ පරිසර ව්‍යසනයන් දවසින් දවස වැඩි වෙමින් පවතී.

 

 

මේ සියල්ලට හේතුව කුමක්ද? අපට ගැඹුරින් සිත්නනට පමණක් නොව, ඒ වෙනුවෙන් තම දායකත්වය ලබා දෙන්නට ද සිදු වී තිබේ. ඇතැම් විට ඔබ මේ පරිසර හානියට වගකිව යුත්තේ ඔබ නොවේ යැයි සිතෙනු ඇත. නැතිනම් මෙයට අප වගකිව යුතුදැයි සිතනු ඇත. නමුත් මේ මහ පොළොවේ උපන් අප නිදහසේ හුස්මක් ගන්නේ මේ ගහ කොළ නිසා බව සිතන පතන අය බොහෝ විරලය.

 

අද වන විට නිදහසේ හුස්ම පොදක් ගන්නට නොහැකි රටවල් රැසක්ම බිහි වී තිබේ. වතුර බිඳක් සොයාගන්නට නොහැකිව සැතපුම් ගණන් ඇවිද යන, මිය යන ගණන සිය දහසකි. භූමි කම්පා, සුළි සුළං, ගංවතුර නිසා වසරකට දහස් සංඛ්‍යාත පිරිසක් ලෝකය පුරා මිය යයි. අලි මිනිස් ගැටුම් නිසා, විවිධ සතුන්ගේ පහර කෑමට හා සපා කෑමට ලක්වීමෙන් ද මිය යන පිරිස වැඩි වී තිබේ. මේ සියල්ල නිර්මාණය වූයේ අපේම වරදින් බව සිතන්නට කාලය උදා වී තිබේ.

 

අපේ දෛනික අවශ්‍යතා වැඩි වීමත් සමඟ අපට නොදැනීම විවිධ විුත් උපකරණවලට හුරු විය. විදුලිය නොමැතිව එක මොහොතක් හෝ රැඳෙන්නට නොහැකි වී තිබේ. නිවෙසකට දෛනිකව රැගෙන එන භාණ්ඩ ඇසුරුම් හා උපකරණ සඳහා විශාල පොළිතින් තිබීම. දෛනිකව පාරිභෝජනය කරන විදුලිය හා ජලය ප්‍රමාණය අසීමාන්තික ලෙස ඉහළ යෑම නිසා අප නොසිතාම මේ පරිසරයට හානි කිරීමේ ක්‍රියාවලියට දායක වී තිබේ. ගෘහිණියක් ලෙස මේ පරිසරය සුරැකීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක විය හැකි නිවෙසේ සිටින පළමු නියමුවා වන්නේ ඔබය. ඒ සඳහා පවුලක් ලෙස මේ කටයුත්තට දායක වීමට විශාල ව්‍යාපෘති සැලැසුම් සකස් කළ යුතු නැහැ.

 

ඔබට ඉතාම පහසුවෙන් ඔබගේ නිවෙසේ හා ගෙවත්තේ එකතු වන කුණු රොඩු අපද්‍රව්‍ය ටික ඉතා හොඳින් කළමනාකරණය කළ හැකි සැලසුමක් සකස් කර ගත්තොත් මෙය සමස්ත ලෝකයටම කරන විශාල පුන්‍යකර්මයකි. සැබැවින්ම ඔබට මේ සඳහා විශාල මුදලක් ද වැය නොවෙයි. ඒ වෙනුවෙන් කාලයක් ද අවශ්‍ය නොවනු ඇත. මේ වෙනුවෙන් ඔබගේ පවුලේ සියලුම සමාජිකයන් දක්වන දායකත්වය හා සහයෝගය මත ඔබගේ ගෙවත්ත හා නිවහන සුන්දර පරිසරයක් ලෙසින් නිර්මාණය කර ගැනීමට හැකි වනු ඇත.

 

ඇතැම් විට ඔබට නිවෙසේ ඉවත් කරන ඉඳුල් වතුර ටිකෙන් පවා ප්‍රයෝජනයක් ගත හැකි ක්‍රමයක් සකසා ගැනීමට හැකියාව ඇත. මේ සඳහා ජපානය හඳුන්වා දුන් 5S සංකල්පය ඔබට වඩාත් ප්‍රයෝජනවත්ය. මෙම සංකල්පය ප්‍රයෝජනයට ගනිමින් ඔබ ජීවත් වන පරිසරය අනුව එය ඔබට සරිලන ලෙසින් අනුගත වීමේ කටයුත්ත පැවරෙන්නේ ගෘහිණියටය. ඕනෑම නිවෙසකට දෛනිකව විවිධ වූ ඇසුරුම් රාශියක් ගෙන ඒම සිදු වෙයි. මෙසේ රැගෙන එන අැසුරුම් ඇතැම් විට පොලිතින් කවර, ප්ලාස්ටික් ඇසුරුම්, රිජිෆෝම් ඇසුරුම් හෝ කඩදාසි ඇසුරුම්ය. මෙසේ රැගෙන එන සියලු දේ ඔබගේ නිවෙසේ ඇති කුණු එකතු කරනා භාජනයට (Garbage bin) දැමීම තමයි ඔබ කරන පළමු වැරැද්ද.

 

මේ වැරැද්ද නිවැරැදි කර ගනිමින් මෙසේ නිවෙසේ එකතු වන දෑ වෙන වෙනම භාජන 3 කට දැමීම කළොත් ඉතාම පහසුවෙන් මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ප්ලාස්ටික් හා නොදිරන රෙදි කැබැලි වැනි ද්‍රව්‍ය, නිවෙසේ ඉවත් කරන ඉඳුල් හා ඉතිරිවන කෑම කඩදාසි කැබැලි හා ගස්වල කොළ වර්ග. මේ කොටස් වෙන වෙනම භාජන තුනකට දමා ගත් පසුව පහසුවෙන්ම ඔබට ගෙවත්තේ පරිසරය පිරිසුදු කර ගැනීමට හැකි වෙයි. මෙයට අමතරව ගෙවත්තේ ඉඩ ඇති නම් කොම්පෝස්ට් බැරැලයක් තබා ගැනීම මෙය තවත් සාර්ථක කරයි. එවිට ඔබට නිවෙසේ ඉතිරි වන්නේ නොදිරන ප්ලාස්ටික් වැනි දෑ පමණකි. මේ ඉතිරිවන ප්ලාස්ටික් බෝතල් හා ඇසුරුම් ද මුදල් කළ හැකි නැවත ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන සම්පතකි. මේ නොදිරන දෑ වෙනම ප්ලාස්ටික් බෝතල්, පොලිතින් උපකරණ වෙන් වෙන් වශයෙන් එකතු කරගත් පසුව ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා ඔබ ප්‍රදේශයේ ප්‍රාෙද්ශීය සභාවේ හෝ නගර සභාවේ අප ද්‍රව්‍ය එකතු කරන රථයට සතියකට වරක් හෝ සති දෙකකට වරක් භාර දීම කළ හැකි වෙයි.

 

ඔබ නිවෙසේ ඉවත් කරන අපජලය තවත් එක් ගැටලුවකි. මේ අපජලය බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැති නම් ගෙවත්තේම කොටසකට එය බැහැර කළ හැකි වෙයි. එම ස්ථානය කොහිල, මුකුණුවැන්නා, කංකුන් වැනි පලා වර්ග වගා කිරිමට කදිම ස්ථානයකි. එසේම ඔබගේ කොම්පෝස්ට් බැරලය ගෙවතු වගාවට පොහොර ටික නොමිලේ සපයයි. ඒ සඳහා අමතර වියඳමක් ද නොයයි.

 

තවත් ඔබට මේ කටයුත්තට සකක්‍රියව දායක විය හැකි ක්‍රමයක් වන්නේ නිවෙසේ ඇති ඉවත් කරන උපකරණවල කොටස් හා රෙදි කැබැලි ආදිය විකුණා දැමීමයි. නොදිරන බොහෝ උපකරණවල කොටස්, විදුලි උපකරණ කොටස් හා පරිගණක කොටස් වැනි දෑ අප අනවශ්‍ය ලෙස ගොඩගසා ගැනීම නිවෙසකට ලොකුම ගැටලුවකි. මේ සඳහා සරලම විසඳුම වන්නේ මේ කොටස් මිලදී ගන්නා වෙළෙඳසැලකට හෝ ස්ථානයකට විකුණා දැමීමයි. එය අප පරිසරය සුරැකීමට දක්වන වටිනාම සහයෝගයකි. මෙලෙසින් ඔබ ගෘහිණියක් ලෙස ඔබගේ නිවෙසේ එකතු වන දෑ නිසි කළමනාකරණයක් කළොත් පරිසරයක් ලස්සන වී ඔබගේ නිවහන ද පසන් නිවෙසක් වනු නිසැකය.

--------------------------------

දලුලන්න ඉඩ දෙන්න

එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද ජගත් පරිසර දිනය ජූනි 05 වැනිදාට යෙදී තිබිණි. Ending Plastic Pollusion යන ගෝලීය තේමාව යටතේ මෙවර ප්ලාස්ටික් මඟින් සිදුවන දූෂණයට අවසන් විසඳුමක් ලබාදීම වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ. දැනට වසරකට පරිසරයට එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 30ක් පමණ වේ.

 

මෙය 2040 වන විට දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමාන රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන Clean Sri Lanka වැඩසටහනේ පරිසර කුලුන යටතේ පරිසරයට ආදරය කරන සමාජයක් බිහි කිරීම ද අපේක්ෂාව වේ. මේ වැඩසටහනට සමගාමීව ජාතික පරිසර සතියක් ද ප්‍රකාශයට පත්කර ඇත. මෙම වැඩසටහන පරිසර අමාත්‍යාංශය, Clean Sri Lanka ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව මෙහෙයවනු ලබයි. මැයි මස 30දා ආරම්භ වන මෙම වැඩසටහන ජූනි 05 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මැයි 30 වැනිදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය ලෙසත්, මැයි 31වැනිදා වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ද, ජුනි 01 පරිසර පවිත්‍රතාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ද, ජුනි 02 ජෛව විවිධත්ව සංරක්ෂණය දිනය ද, ජුනි 03දා ජලය හා ජල මූලාශ සංරක්ෂණ දිනය ද, ජුනි 04 වෙරළ කලාප පවිත්‍ර කිරීමේ දිනය ද, ජුනි 05දා රුක් රෝපණය හා ජගත් පරිසර දිනය ලෙසත් නම් කර තිබේ.

 

මෙයට අමතරව පරිසරය සුරැකීම වෙනුවෙන් තවත් වැඩසටහන් රාශියක් දිවයින පුරා පවත්වනු ලබයි. ඒ අනුව ජුනි 05 දා ජගත් පරිසර දිනය සැමරීම කෑගල්ල නිදහස් මාවතේදී පවත්වනු ලබන අතර එදින නව රක්ෂිත වනාන්තර 05ක් නම්කර ගැසට් කිරීමද සිදු කරනු ලබයි. එසේම මෙරටට අාවේනික මත්සයෙකු වන “බන්දුල පෙතියා” සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ද ගලපිටමඩ ප්‍රදේශයේ දී ආරම්භ වෙයි.