නිවෙසේදී බලශක්තිය මෙහෙම පිරිමසමු

ජුනි 16, 2025

සෑම නිවෙසක්ම එක හා සමාන නැත. කුඩා ප්‍රමාණයේ නිවෙස්, මධ්‍යම ප්‍රමාණයේ නිවෙස්, සුඛෝපභෝගී නිවෙස් මේ ආදී වශයෙන් ඇති නිවෙස්වල භාවිත කරන බලශක්ති ප්‍රමාණය එකිනෙකට වෙනස් වේ. ඒ සඳහා භාවිත කරන සම්පත් විවිධාකාර වේ.

 

ආලෝකකරණය සඳහා බොහෝවිට යොදා ගන්නේ විදුලි බලයයි. කෑම පිසීම සඳහා යොදා ගන්නා තාප ශක්තියේදීත් අවශ්‍ය වන්නේ විදුලි බලයයි.

 

ජීවවායුජනක යන්ත්‍ර

මීට අමතරව කෑම පිසීම සඳහා එල්.පී.ගෑස්, භූමි තෙල්, දර භාවිතයට ගනී. ඉන් ඔබ්බට ගොස් අප එදිනෙදා ඉවත දමන කෑම, කුණු රොඩු ආදිය එකතු කොට ජීව වායු ඒකකයක් තනාගත හැකියි. එය නිවෙසට සරිලන ප්‍රමාණයෙන් සකස් කරගන්නට ද පුළුවනි. ඒ ඔස්සේද අපට එදිනෙදා අවශ්‍ය බලශක්තිය ලබාගත හැකි අතර ඉන් ලද හැකි වාසි බොහෝමයි. නිවෙසේ අපද්‍රව්‍ය කළමනාකරණයද නොදැනුවත්වම සිදු වේ. පරිසරයේ අපවිත්‍රභාවය නැති කර ගැනීමට ලෙඩ රෝග බෝවීම ආදියෙන් වැළැකීමටද යම් සහයක් ලැබේ. භෝග වගාවක් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මේ ඔස්සේ නිපදවා ගත හැකි වේ. ගම්බද ප්‍රදේශවල මෙන්ම නාගරික ප්‍රදේශවලද අද වන විට නිවෙස් බොහොමයක ජීව වායුජනන ඒකක භාවිත කරයි.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ සඳහා තාක්ෂණය අවශ්‍ය නම් ඊට අත්වැලක් සපයයි. පශු සම්පත් ඒකක හරහා සතුන් ආදිය ඇති කරමින් නිවෙසේ සුළු පරිමාණයෙන් පවත්වාගෙන යන කුකුල් කොටු, ඌරු කොටු, ගවයන් ඇතුළු සතුන්ගේ සත්ත්ව ගොවිපොළක් පවත්වාගෙන යන්නේ කෙසේද ඔවුන්ගේ අපද්‍රව්‍ය ආදිය එකතු කොට ජීවවායු ඒකක පවත්වාගෙන යන්නේ කෙසේදැයි යන්න පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දේ.

 

දර භාවිතය

දර භාවිතය හොඳම බලශක්ති ප්‍රභවයකි. එය ආර්ථිකයට අත්වැලක් වනවා සේම බලශක්ති අර්බුදයට ද කදිම විසඳුමක් සපයයි. මේ සඳහා වැඩි දියුණු කළ දර ලිප් විවිධ ආයතන මඟින් හඳුන්වා දී තිබේ. ගල් තුනේ දර ලිපෙන් ඇරැඹි දර ලිප අද වන විට නවීන මුළුතැන් ගෙවල්වල පවා භාවිත කළ හැකි ලෙස නවීකරණය වී තිබේ. ඒ සඳහා අවශ්‍ය කරන දර පවා වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිව තිබේ. ආර්ථිකයට එකතු කරන ලාභදායී බව නිසාද බොහෝ අය දර ලිප් භාවිතයට හුරුව සිටියි. පසුගිය වකවානුවක ඇති වූ එල්. පී. ගෑස් අර්බුදයත් සමඟින් තවත් අය දර ලිප් භාවිතයට හුරුවිය. දර ලිපෙන් පිසගත් කෑමවල ඇති ඊටම ආවේණික රසයට ලොල් බවක් දක්වන උදවිය ද දර ලිප් භාවිතය කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි.

එදා මුළුතැන්ගෙවල්වල දර ලිපට උඩින් දුමේ තබා කෑම කල් තබා ගන්නා ක්‍රම භාවිත විය. ශීතකරණ යන්ත්‍ර භාවිත නොකළ එම යුගයේ එය ආහාර කල් තබා ගන්නා ගුණාත්මක ක්‍රමවේදයක් විය පැරැණි මුළුතැන් ගෙවල්වල අද ද එම ක්‍රමය දක්නට ලැබෙයි.

ගෑස් ලිපේ නඩත්තුව

ගෑස් ලිප භාවිත කිරීමේ දී ද අවම බලශක්ති ප්‍රමාණයක් වැයවන ලෙස, එනම් ගෑස් සිලින්ඩරය වැඩි කාලයක් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැන සිටිය යුතුයි. ගෑස් ලිප හොඳින්ම නඩත්තු කළ යුතුයි. කිසිසේත්ම එහි කහ දැල්ලක් පැමිණිය නොහැකියි. එසේ වීම ගෑස් නාස්ති වීමකි. නිල් දැල්ලෙන් ඉවීම අත්‍යවශ්‍ය කාරණයකි. ගෑස් ලිප සහ ඒ මත තබන භාජනය අතර ඉඩ ප්‍රමාණය වර්තමානයේ ගෑස් ලිප්වල තරමක් වැඩියි. මේ නිසා තාපය වැඩිමනත් ප්‍රමාණයක් ඉවත යයි. ඒ සඳහා ද අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා වෙනමම ස්ටෑන්ඩ් එකක් සාදාගැනීම පවා වාසිදායක වේවි.

ගුණාත්මකභාවයට සහ රසයට මුල් තැන දෙමින් මැටි බඳුන්වල කෑම පිසීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා ගෑස් වළං භාවිතය වඩාත් සුදුසුයි. එයද බලශක්තිය පිරිමසන්නකි.

ආලෝකය හා වාතය නිවෙස හරහා

නිවෙසක් සැලසුම් කරද්දීම ස්වාභාවික ආලෝකය, වාතය නිවෙස හරහා යන පරිදි සකස් කිරීම අතිශය වැදගත් වේ. විදුලි බල්බ, විදුලිපංකා ආදිය භාවිත කිරීම මේ නිසා අවම වෙයි. එය බලශක්තිය හැමදාටම ඉතිරි කිරීම සඳහා වන කදිම උපාය මාර්ගයකි. සුළඟ යනු බලශක්ති ප්‍රභවයකි. රෙදි වේළීම සඳහා සුළඟ ප්‍රයෝජනයට ගන්නේ නම් එයින් ද බලශක්තිය ඉතිරි වේ. එහෙත් අපේ ගෘහිණියන් පුරුදුව සිටින්නේ සැහැල්ලු රෙදි පවා රෙදි සෝදන යන්ත්‍රය භාවිතයෙන් වේළා ගැනීමටයි. තවත් සමහරු තෙත රෙදි අයන් කරයි. එවිටද වැඩියෙන් බලශක්තිය වැය වේ.

මුළුතැන්ගෙයි වැඩවලදී ප්‍රෙෂර් කුකර් භාවිතය නිසි අයුරින් සිදු කරන්නේ නම් එයද බලශක්තිය හොඳින්ම පිරිමසන්නකි.

 

සූර්ය බලශක්තිය

සූර්ය බලශක්තියේ ප්‍රයෝජනය උපරිමයෙන්ම ගෙන සූර්ය පැනල සවි කරන්නට පුළුවනි. මෙයද නිවෙසක් සැලසුම් කරද්දීම සිදු කළ යුතු දෙයකි.

 

උපදෙස් :

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

(සැපයුම් පාර්ශ්වීය කළමනාකරණ)

ඉංජිනේරු

විමල් නදීර