වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
අපේ සිහිනය කුණු කන්දක් නොවේ මල් උයනක්

ජගත් පරිසර දිනය යෙදී තිබුණේ ජූනි 5 වැනිදාට. මෙවර තේමාව වී ඇත්තේ " ප්ලාස්ටික් දූෂණය අවසන් කරමු!" යන්නය. මේ තේමාව හුදෙක් එක් දිනයකට සීමාවන්නක් නොවෙයි. පාරිසරිකව බලවත් තර්ජනයක්ව ඇති ගැටලුවක් හෝ අර්බුදයක් එසේත් නැතිනම්, වහා අවධානය යොමුවිය යුතු කාරණයක් හඳුනාගනිමින් ඊට විසඳුම් සෙවීම හා පිළියම් යෙදීම එය තේමාවක් වීමේ අරමුණයි. ඒ නිසා 2025 පරිසර දිනය අවසන් වුවත් කළයුතු වැඩ කොටස ඇත්තේ ඉදිරියටයි.
1972 ජූනි 5 වැනිදා සිට 16 වැනි දා දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී මුළුදුන් මානව පරිසරය සුරැකීම පිළිබඳ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම නිමිත්තෙන් සෑම වසරකම ජූනි මස 5 වැනිදා "ජගත් පරිසර දිනය" යනුවෙන් නම් කෙරුණා. එවක් පටන් දශක 5කට අධික කාලයක් තිස්සේ යම් විශේෂිත තේමාවක් යටතේ ලෝකය පරිසර දිනය සමරා ඇති අතර, එම කාලසීමාව තුළ පරිසරය රැකගැනීම වෙනුවෙන් විවිධ වූ කාර්යය දියත් කර තිබෙනවා.
ජගත් පරිසර දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව මෙවර ද මැයි මස 30 වැනිදා පටන් ජූනි මස 5 වැනිදා දක්වා "පරිසර සතිය" යනුවෙන් ප්‍රකාශයට පත් කර විවිධ වැඩසටහන් දියත් කිරීම සිදුවුණා. ඒ, පරිසර සතියේ එක් එක් දිනයන් සඳහා විවිධ තේමාවන් යටතේ.
පළමු දිනයේ තේමාව, ජගත් පරිසර දින තේමාව අනුව යමින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වළක්වා ගැනීම පිණිස ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් යෙදී තිබුණා.
එක් අතකින් ප්ලාස්ටික් අපේ ජීවිතයේ එදිනෙදා කාර්යයන් පහසුකර ඇති අතර අනෙක් අතට අවිධිමත් භාවිතය හේතුවෙන් විශාල හා සංකීර්ණ පරිසර ගැටලුවක් නිර්මාණය කර තිබෙනවා.
ප්ලාස්ටික් දිරාපත්වීමට වසර 500 කටත් වඩා කාලයක් ගතවීමෙන් එය කොතරම් අර්බුදයක් වී ඇති ද යන්න අවබෝධ කරගැනීමට පුළුවන්. අද අප අවිධිමත් ලෙස බැහැර කරන ප්ලාස්ටික් වෙනුවෙන් තවත් පරම්පරා ගණනාවකට පසු උපදින පරම්පරාවන් ද වන්දි ගෙවිය යුතු වීම ඛේදවාචකයක්. ඒ වන්දිය ගෙවිය යුතු වන්නේ මිනිසුන් පමණක්මත් නොවෙයි, සතා සීපාව ද ගහකොළ ද වශයෙන් සමස්ත පරිසරයයි.
අප එකිනෙකා තනි පුද්ගලයන් ලෙස හෝ පවුල් ඒකක වශයෙන් දෛනිකව පරිභෝජනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය කොපමණ දැයි ඔබට සරලව තේරුම් ගැනීමට පුළුවන්. පවුලක් වශයෙන් නම් එය සැලකිය යුතු ප්‍රමාණයක්. කාර්මික භාවිතය ඊට වඩා බෙහෙවින් විශාලයි. එය පසෙකින් තිබිය දී අප එදිනෙදා පරිහරණය කරන පොලිතීන්, ප්ලාස්ටික් ගැන පමණක් සැලකිල්ලට ගත්තද ඒවා බැහැර කෙරෙන්නේ අවිධිමත් ලෙස නම් පරිසර දූෂණය එහි අනිවාර්ය ප්රතිඵලයයි. එහිම බලපෑමක් වන්නේ වසංගත ලෙඩ රෝග පවා ව්‍යාප්ත වීමයි. මේ දිනවලත් රටේ ඇතැම් ප්‍රදේශවල වසංගතයක් තරමට ව්‍යාප්ත වී ඇති ඩෙංගු උවදුරට හා චිකුන්ගුන්යා රෝගයට ද එය ප්‍රධාන හේතුකාරකයක්. අවිධිමත් ලෙස පරිසරයට බැහැර කෙරෙන පොලිතීන් හා ප්ලාස්ටික් වැසි සමයත් සමඟ මදුරු තවාන් බවට පත්වන අතර ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තියට හිතකර පරිසරයක් අප විසින්ම තනාදීම එමඟින් සිදුකරනවා. දෙවනුව එම පොලිතීන්, ප්ලාස්ටික් වැසි ජලය සමඟ ගසාගෙන ගොස් කානු පද්ධති අවහිර කර යළිත් මැසි මදුරු උවදුරට හේතුකාරණයක් වන අතරම විශේෂයෙන් නාගරික ප්‍රදේශ ජලයෙන් යටවීමට ද බලපානවා. අවසානයේ දී ඒවා මුහුදට ගසා ගෙන යාමත් සමඟ සමුද්‍ර දූෂණයට ද ප්‍රබල හේතු කාරණයක් වන්නේ සමුදුරු ජීවීන්ගේ පැවැත්ම අනතුරට ලක්කරමින් හා එම වටිනා පරිසර පද්ධතියේ සමතුලිතතාව ද බිඳ දමමින්. මෙලෙස එක්රැස්වන ප්ලාස්ටික් අතරින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් හෙවත් මයික්‍රෝ ප්ලාස්ටික් වඩාත් අන්තරායකාරී වන්නේ සමුදුරු පරිසරය විනාශ කිරීමට හා ආහාර දාම ඔස්සේ මිනිස්සුන්ගේ සිරුරට ද ඇතුළු වී අපව රෝගීන් කරන නිසයි. එසේ වූ විට එම බලපෑම් පාලනය කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය ද අධිකයි. නොයෙක් ලෙඩවලට ගොදුරු වී අකාලයේ අහිමිවන මිනිස් ජීවිත වලට එවැනි ඉරණමක් අත්වීම වළක්වා ගතහැකිව තිබූ බව අපට පෙනී යා යුතුයි.
දශක පහකටත් අධික කාලයක් තිස්සේ පරිසර දිනය සමරමින් ලෝකය කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම පරිසරය රැකගැනීමේ අගය සමාජගත කර ඇතත්, 21 වෙනි සියවසේ දී මිනිසා හමුවේ ඇති දැවෙන අර්බුදයක් බවට පත්ව ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවයි. සංවර්ධිත කාර්මික රටවලටත් වඩා එහි අනර්ථකාරී බලපෑම්වලට වන්දි ගෙවමින් ඇත්තේ අප වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල්. ලෝකයේ ඉහළම ජෛව විවිධත්වයක් ඇති මෙන්ම සොබා සෞන්දර්යයෙන් අනූන දරුණු ළැව් ගිනි, ගිනි කඳු වැනි ස්වාභාවික ආපදා නැති රටක් වුව ද අප ද එහි වින්දිතයන්ව සිටින්නේ එකී බලපෑම් මෙන්ම පරිසරය ගැන ඇති අපේම නොසැලකිල්ල හේතුවෙන්. ජෛව විවිධත්වය අතින් ඉහළ රටක් ලෙස හඳුනාගත්ත ද එකී ජෛව විවිධත්වය අන්තරායට ලක්ව ඇති ( Biodiversity Hotspot )රටක් බවට අද අප පත්ව සිටින්නේ ද ඒ නිසා.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් අධික උණුසුමෙන් පීඩාවට ලක්වීම මෙන්ම ධ්රැව ප්‍රදේශවල සිදුවන ග්ලැෂියර් ඛාදනය හේතුවෙන් සාගර ජල මට්ටම ඉහළ නැඟීමත් එහි ප්‍රතිඵල වශයෙන් අනාගතයේ දී ලොව ඇතැම් රටවල් ලෝක සිතියමෙන් මැකී යාමේ අවදානමත්, ඇතැම් ජීවීන් මිහිමතින් සමුගැනීමත් මේ අර්බුදයේ ගැඹුර දැකීමට ප්‍රමාණවත්. මීට දින කිහිපයකට පෙර ද ස්විට්සර්ලන්තයේ විශාල ග්ලැෂියර් කොටසක් කඩා වැටීම මඟින් පෙනුණේ ද එයයි.
සෑමදෙයක්ම පාහේ ප්ලාස්ටික් වී ඇති ලෝකයක හා යම් යම් කාර්යයන් සඳහා එය ලාබදායී මෙන්ම පහසු ආදේශකයක් ද වී ඇති පසුබිමක ප්ලාස්ටික්වලට තිත තැබීම ප්‍රායෝගික නොවිය හැකියි. එබැවින් වරද ඇත්තේ ප්ලාස්ටික් අතම නොව ඒවා භාවිත කර අවිධිමත් ලෙස බැහැර කරන අප අතම බව තේරුම් ගැනීමෙන් මේ අර්බුදය කළමනාකරණය කරගැනීමට හැකිවනු ඇති. භාවිතයෙන් බැහැර කෙරෙන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මීට හොඳම විසඳුමක් වුව ලොව දියුණු රටවල පවා නිපදවන හා පරිභෝජනය කරන ප්ලාස්ටික් අතරින් ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදුවන්නේ සුළු ප්‍රතිශතයක්.
එවැනි පසුබිමක අපට අතීතයෙන් ආදර්ශ ගැනීමට හැකිනම් එය වඩා ඵලදායී බව ඔබට පෙනෙනු ඇති. අප කුඩා වියේ දී හාල් පිටි සීනි පරිප්පු තුනපහ වැනි සිල්ලර දෑ මිල දී ගැනීමට වෙළෙඳසලට ගියේ ඒවා රැගෙන එන්නට මල්ලක් ද රැගෙනයි. ගමේ හෝ නගරයේ වෙෙළඳසලෙන් ඒවා ලැබුණේ ද සිමෙන්ති කඩදාසියෙන් සෑදූ කවරයක, පත්තර කඩදාසියෙන් ගොටුවක් ගසා ගෝනිනූලෙන් බැඳ වැනි පරිසර හිතකාමී ක්රමයකටයි. එම කඩදාසි ගොටු දිගහැර ඒවායේ ඇති දෑ කියවීමේ පුරුද්දක් ද එකල අපට තිබිණි. ඒවා ඔතා තිබූ ගෝනි නූල් ද කුස්සියේ බිත්තියක එල්ලා තිබූ අතර යම් යම් කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් වූ අයුරු මතකයි. සමාජය "දියුණුව" කරා පිය නැඟීමත් සමඟ මේ පුරුදු අපි අමතක කළෙමු. ඕනෑ බරක් ගෙනයා හැකි ෂොපින් උර හෙවත් සිලි සිලි බෑග් ද ග්‍රොසරි බෑග් ද සිමෙන්ති කවර හා කඩදාසි ගොටුවල තැන ගත්තේය. ලේසිය හා පහසුව ගැන පමණක් බැලූ අපි එතැන් පටන් කඩපොළට ගියේ හිස් අතින් වුවද බඩු භාණ්ඩ රැගෙන ආපසු ආවේ සැලකිය යුතු සිලි කවර හා ග්‍රොසරි බෑග් ප්‍රමාණයක් ද සමඟය. සතියක් හෝ මාසයක් ගතවන විට එවැනි කවර තොගයක් එකතු වූ අතර බොහෝ දෙනා ඒවා බැහැර කළේ අවිධිමත්වය. එක්කෝ ඒවා පුලුස්සා දමා ප්රශ්නය ට නොගැළපෙන නොදිය යුතු පිළිතුරක් සෙව්වේ විධිමත් කසළ කළමනාකරණයක් සිදු නොවන පසුබිමකයි.
නූතන පැන්ට්‍රියක වේවැල් කූඩ, කිරිගොටු, පන් මලු, පොල්කොළ වට්ටි, ඇතුල්පත් තබා මැටි ඇතිලි වළං පවා විරළය. ඒ සියල්ල ප්ලාස්ටික්, ඇළුමිනියම් වැනි දෑට පැවරූ අපි ලෙඩ ගොඩකට බෙහෙත් කරමින් සිටිමු.
දැන් අපට මේ සියල්ල එකවර බැහැර කළ හැකි නොවේ. එහෙත් හැකිතාක් අවම කරගත හැකිය. දිගුකාලීනව භාවිත කළ හැකි සෞඛ්‍යමය වශයෙන් අහිතකර නොවන උපකරණ භාවිත කරන අතර කල් යත්ම ප්‍රතිචක්‍රීකරණය සඳහා භාර දීම අපට කළ හැකිය. කඩපොළට යන විට නැවත භාවිත කළ හැකි බෑගයක්, කූඩයක් රැගෙන යාම ද අපට කළ හැකිය. මේවා පුංචි දේවල් ලෙස පෙනුණත් අප කවුරුත් එසේ කළහොත් ප්‍රතිඵලය පුංචි නැති බවත් පෙනෙනු ඇති. මෙය කියවන ඔබ අම්මා කෙනෙක් නම්, ගෘහණියක් නම් මීට පෙරමුණ ගත යුත්තේ ඔබයි. පවුලේ සෙසු සාමාජිකයන් ඔබව අනුගමනය කරාවි. අපි කුස්සියෙන් පටන් ගනිමු.!
අපේ සිහිනය කුණු කන්දක් නොවේ මල් උයනක්.