ලොතරැයි දිනුම

කෙටි කතාව (1-කොටස)
ජුනි 23, 2025

 

දෙහිගස් හන්දියේ සුමනසිරි කවුරුත් හැඳින්වූයේ සුමනේ අයියා යනුවෙනි. එහෙත් ඔහු ගාල්ල නගරයේදී ස්විප් සුමනේ විය. ඊට හේතුව වූයේ ඔහුගේ රැකියාව බවට පත්ව තිබුණේ ලොතරැයි ටිකට්පත් වෙළෙඳාම බැවිණි. බස් රථවලට ගොඩවී ලොතරැයි පත් අලෙවි කරන සුමනසිරි පාරිභෝගික අවධානය දිනා ගැනීමට කවි පදයක් දෙකක් ඇතැම් විට හඬ නඟා තාලයට කියයි. "ජීවන ඔරුව පැද යන විට පැයෙන් පැය අත්වේවා ඔබට නිරතුරු ජයෙන් ජය !"

 

පොසොන් පොහොයට පෙර දිනද සුමනසිරි සිය ටිකට් ලෑල්ලද රැගෙන බස් රියෙන් බස් රියට මාරුවෙමින් ටිකට්පත් වෙළඳාමේ නිරතව සිටියත් ඔහුගේ හිත රැඳී තිබුණේ කළුතර බෝ සමිඳුන් සෙවණේය. තම එකම දියණිය රහසින් පලා ගොස් හිතුවක්කාර විවාහයකට පැටලුණ සන්දියේ ඔහු ඔහුගේ දුක් ගින්දර සිසිල් කරගත්තේ බෝධීන් වහන්සේ සමීපයේ වැඳ වැටීමෙන්ය. සුමනසිරිගේ හිතෙන් දෝරේ ගලා ගිය ඒ දුක් අඳෝනාව බෝ සමිඳු අසා සිටි නිසාදෝ දින කිහිපයකට පසුව දියණියත් ඇය රැගෙන ගිය තරුණයාත් සුමනසිරි හමුවට පැමිණ සිටියහ. හෙට දිනද කෙසේ හෝ බෝ සමිඳුන් වැඳ පුදාගෙන බිරියගේ අසනීප තත්ත්වය බෝ සමිඳු අබිමුව කිව යුතු යැයි ඔහුගේ සිත තරයේ කියා සිටියේය.

 

දහවල් එකට පමණ සුමනසිරිට දැනුනේ දැඩි කුසගින්නකි. තවමත් ලෑලි පුවරුවේ ටිකට්පත් විශාල ප්‍රමාණයක් ඉතිරිව රැඳී තිබේ. ඔහුට මතක් වූයේ සමලියස් උන්නැහේගේ කුඩා පෙට්ටි කඩයයි. කොතරම් විශාල ආපනශාලා තිබුණත් සුමනසිරි තෝරා ගත්තේ මෙවැනි කුඩා කඩය. එයට හේතුව කෑම බීමවල මිල අඩුකම නොව ඒ කඩ හිමියන්ගේ ළෙන්ගතු බවය. "ආ ...... සුමනේ අයියා .... එමු එමු.......... හවසට ප්ලේන්ටියක් හෙම ගහලා වැඩ පටන් ගන්න......... කෑගහලා කෑගහලා උගුරත් රිදෙනවා ඇතිනේ........" සමලියස් සුමනසිරි දෙස බලා හිනැහෙමින් කියයි.

 

"කන්න මොකුත් හෙම

නැද්ද ?

කෑම ඉවරයි. තව පරාටා දෙක තුනක් නම් ඇති. කපල හොදි ටිකක් දාලා දෙන්නද?"

"එහෙම නම් අරන් එමුකෝ බලන්න." සුමනසිරි දුම් නඟින පරිප්පු හොද්දේ පරාටා කැබලි ඔබමින් ගිල දමන්නට විය. ඔහුට සිය බිරිය මතක් විය. ඇදුම රෝගයෙන් ඔත්පළ වූ ඇයට කළ කිසිදු ප්‍රතිකාරයක් පත්තියම් වූයේ නැත. බිරිය ගැන සිතමින් බොහෝ කනස්සලු ස්වභාවයකින් පරාටා පිඟාන හිස් කරන දුටු සමලියස් මුදලාලි යළි කටහඬ අවදි කළේය.

"මොකෝ සුමනෙ අයියා දාහට අරන් නිකන්ම දීලා වගේ. අද බිස්නස් සවුත්තුද?"

"වෙනදා වගේ තමයි ඉතින් මට ගෙදර උන්දැ මතක් වුණා."

"ඔව් හැබෑට මට අහන්නත් මතක නැති වුණා. දැන් කොහොමද ඇසිලින් අක්කට බේත්වලින් ලෙඩේ අඩු වුණේ නැද්ද?"

"ම්හු ....."

"ඔය කාලා ඉවරද?"

"ඔව්. මේ ඇති. මට වැඩි සීනි ප්ලේන්ටියක් දාන්න."

වතුර උගුරු දෙක තුනක් බිව් සුමනසිරි සීනි වැඩි උණුසුම් ඉඟුරු රස තේ කෝප්පය හිස්කර මුදල් ගෙවා යළිත් පාරට බැස්සේය.

සැබෑ අන්ධකාරයේ ගාලු කොටු පවුර ගිල ගනිද්දී සුමනසිරි ටිකට් වෙළඳාම අවසන් කළද තවත් එකම එක ලොතරැයි පතක් ලෑලි පුවරුවේ ඉතුරු වී තිබුණි. එය මගීන් කිහිප දෙනෙකු වෙත දික්කළද ලොතරැයි පත කිසිවෙකු මිලට ගන්නා බවක් නොපෙනුණි. තවත් ඒ මේ අත ඇවිද ගියහොත් නිවෙසට යාමට පමා වේ. එසේ වුවහොත් බිරිඳගේ කසාය වඩිය ලිප තැබීම ප්‍රමාද වේ. වෙද මහත්තයා සුමනසිරිට දැඩි ලෙස කියා සිටියේ බේත් ටික නිසි වේලාවට දෙන ලෙසය. ඒ නිසා ඔහු ටිකට් පත පුවරුවෙන් ගලවා තම කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන හිස් වූ ලොතරැයිපත් පුවරුවද රැගෙන බස් රියේ එල්ලුණේය. දෙහිගස් හන්දියෙන් බැසගත් ඔහු හෙඩ්ඩේගේ කඩේට ගොඩ වී පාන් ගෙඩියකුත් කුඩා මාළු ටින් එකකුත් මිලදීගෙන පය ඉක්මන් කර ගෙදරට පැමිණ ඇසිලින්ගේ සුව දුක් විමසා බැලීය.

"ඔයා දවල්ට මුකුත් කෑවාද?"

"බඩගින්නක් ඒ හැටි දැනුණේ නෑ. බත් කටක් දෙකක් අමාරුවෙන් කෑවා."

"හ්ම් . . . ඉන්න මං කසාය හැළිය ලිපට කරලා එන්නම්."

 

එසේ කියූ සුමනසිරි මුළුතැන්ගේ දිහාවට පියමැන්නේය. ඇසිලින් බල්බල් හඬ නඟමින් කහින්නට වූවාය. ඇයගේ කැස්සේ හඬ කුස්සිය වෙතද ගලා ආවේය. කසාය මුට්ටිය ලිප තැබූ සුමනසිරි යළි ඇසිලින් වෙත දුව ආවේ ඇගේ පපුවේ තෙල් ටිකක් ගාන අදහසද ඇතිවය.

"ඔයා හෙට පෝයට කළුතර යනවද?"

"ඔව්. . . ඔයත් එනවද?"

"ඔයා විතරක් ගිහින් එන්න. මට ඔය බස් වල ගිහින් ආයිත් ඇඟ ඇට පොඩි වුණාම මේ ලෙඩ වැඩි වේවි."

"ඔව් ඒකත් ඇත්ත මං ගොහින් භාරවෙලා එන්නම් හොඳ වුණාම දෙන්නම යමු."

"ඔව් එහෙම හොඳා."

රෑ අඳුර හාත්පස ගිලගෙන තිබුණේ රාක්ෂයකු මෙනි. මලානික විදුලි පහන්වල පඬු පැහැ එළිය අන්ධකාරය සමඟ දුර්වල සටනක නියැළී සිටී. තමාම පිළියෙල කරගත් ටින් මාළු හොද්දත් සමඟ පාන් කෑල්ලක් ගිල දැමූ සුමනසිරිට කෑමට වඩා වුවමනා වූයේ තේ කහටය. ලොකු කහට කෝප්පයක් හිස්කර පසුදින ගමන ගැන සිතමින් ඔහු ඇඳේ ඇලවුණි.

 

ලබන සතියට ...