වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
වැඩිහිටි අපයෝජනය පිළිබඳ දැන සිටියාද?

වයසට යෑම යනු අප සැම මුහුණ දීමට සිදුවන ක්‍රියාවලියකි. වයස අවුරුදු 60 හෝ 60 ඉක්මවන ලද පුද්ගලයින් වැඩිහිටියන් වෙයි.
වැඩිහිටි වියත් සමඟින් ඔවුන්ගේ පියවර මන්දගාමී විය හැකියි. කටහඬ මෘදු විය හැකියි. නමුත් ඔවුන් අප කෙරෙහි ඇති ආදරය එලෙසම පවතී. කාලය ගෙවී යෑමත් සමඟ වරක් අපව බලා ගත් ඔවුන්ට අපගේ රැකවරණය අවශ්‍ය වේ.
ඔවුන්ව ආදරයෙන් හා ගෞරවයෙන් රැක බලා ගන්නා විට ඔබ ඔවුන්ට ගරු කරනවා පමණක් නොව ඊළඟ පරම්පරාව සමඟ යහපත් පුරුදු බෙදා ගැනීම ද සිදුකරයි.
කිසිදු ආකාරයක වැඩිහිටි අපයෝජනයකට ඉඩ නොදී අප අපේ වැඩිහිටියන් රැකබලා ගත යුතුවේ. වැඩිහිටි අපයෝජනය යනු ඕනෑම පුද්ගලයකු විසින් හිතාමතා හෝ නොදැනුවත්ව වැඩිහිටියකුට හානියක් හෝ බරපතළ හානියක් සිදුකරන ඕනෑම ක්‍රියාවලියකි.
ශාරීරික අපයෝජනය
වැඩිහිටියන්ට හානියක් වන පරිදි පහරදීම, තල්ලු කිරීම වැනි ක්‍රියාවක් මඟින් හිතාමතා ශාරීරික වේදනාවක් ඇති කිරීම
චිත්තවේගී අපයෝජනය
වැඩිහිටියෙකුගේ මානසික තත්ත්වයට අහිතකර ලෙස බලපාන ක්‍රියාවක් මින් අදහස් වේ. එනම් තදින් බැණ වැදීම, අපහාස කිරීම, තර්ජනය කිරීම, නින්දා කිරීම, හුදෙකලා කිරීම හෝ නොසලකා හැරීම වැනි ක්‍රියාවන් වේ.
මූල්‍ය අපයෝජනය
වැඩිහිටියකුගේ මුදල්, දේපළ හෝ වත්කම් නීති විරෝධී හෝ අනිසි ලෙස භාවිත කිරීම
නොසලකා හැරීම.
වැඩිහිටියකු හට ලැබිය යුතු ආහාර සනීපාරක්ෂාව නවාතැන් ඇතුළු අත්‍යවශ්‍ය සියලු සත්කාර සැපයීමට අපොහොසත් වීම හෝ අතහැර දැමීම.
ලිංගික අපයෝජනය
අනවශ්‍ය ස්පර්ශ කිරීම්, ලිංගික අතවර කිරීම්, බලහත්කාර කිරීම්, නිරුවත පෙන්වීම වැනි වැඩිහිටියකු සමඟ එකඟතාවකින් තොරව සිදුවන ඕනෑම ලිංගික ක්‍රියාවක් සිදු කිරීම
නිවෙස තුළ රැකවරණය
*වැඩිහිටියන්ට ගරු කිරීම හා රැකබලා ගැනීම තුළින් ඔබේ පවුලේ වටිනාකම ඔප් නංවන බව දරුවන්ව දැනුම්වත් කරන්න.
*ඔබේ දරුවන් සහ වැඩිහිටියන් අතර දිනපතා සාමකාමී සංවාද පවත්වන්න. වැඩිහිටියන් ඔබේ දරුවන් හට සම්පතක් වීමට ඉඩදෙන්න. නමුත් ඔබේ වැඩිහිටියන්ට වැඩි බරක් නොදීමට වග බලා ගන්න.
*නිවෙසේ පරිසරය තුළ ආහාර ගන්නා අවස්ථා සහ ආගමික වතාවත් කරන අවස්ථා වැඩිහිටියන් සමඟ එක්ව සිදු කිරීමට ඉඩ සලසන්න.
*ඔබ වැඩිහිටියන්ගෙන් ඈත් වී ජීවත්වන්නේ නම් ඔවුන් සමඟ සම්බන්ධ වීමට තාක්ෂණය භාවිත කරන්න. ඔබේ දුරස්ථ ජීවිතය ඔවුන් සමඟ සම්බන්ධ නොවීමට නිදහස් කරුණක් සේ නොසලකන්න.
*වැඩිහිටියන්ගේ මූල්‍ය අවභාවිතය වැඩිහිටි අපයෝජනයේ එක් අවස්ථාවකි. ඔබේ වැඩිහිටියාගේ මුදල් අනිසි ලෙස භාවිත නොකිරීමට වගබලා ගන්න.
නීතිමය රාමුව
2011 අංක 5 දරන පනතින් සංශෝධිත 2000 අංක 9 දරණ පනත මඟින් වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කර ඇත. එහි 15 වන වගන්තිය මඟින් මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම් දක්වා ඇත. 24 සහ 25 වන වගන්ති අනුව දරුවන් විසින් නොසලකා හරින ලද වැඩිහිටියන් වෙත රැකවරණය සැලසීම ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබයි. ඒ අනුව දැනටමත් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යටතේ නඩත්තු මණ්ඩලයේ ස්ථාපිත කර ක්‍රියාත්මක වේ.
ඔවුන්ගේ පවුල් විසින් නොසලකා හරින ලද වැඩිහිටියන් සඳහා සාධාරණය පවත්වා ගැනීමට එය සහාය වේ. වැඩිහිටි අපයෝජනය දැනටමත් මෙම පද්ධතියට ඇතුළත් කර ඇති අතර ඕනෑම ආකාරයක වැඩිහිටි අපයෝජනයක් රටේ නීති රාමුවට අනුගතවේ.
උපදෙස් : ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරෝමි මාදුවගේ