වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
අනේ ඔයා කොහෙද කියන්නකො...

මොනතරම් සනීපයක් දැයි අප වහා ඇද වැලඳ ගන්නා මොහොතක වුවද ඇත්තේ මායාකාරී බවකි. ජීවිතය කල් තියා සැලසුම් කොට අපේක්ෂිත ගමනාන්තයකට එළඹිය නොහැකි යාත්‍රාවකි. දැනෙන පෙනෙන දහසක් දේ අනුව ගළපා සැලසුම් කළද ජීවිතය ගමන් කර ඇත්තේ අප සිත් යටි මඩියෙහි සඟවාගෙන සිටින ආශාවේ පෙළඹුම් දිශාවටයි. ඒ අප ද නොදන්නා හඳුනා නොගත් ආශාව අපේ ගමනාන්තය තීරණය කරයි. තම තමන්ගේ ජීවන අත්දැකීම් ද පොතපතින්, සිනමාවෙන්, කවියෙන් විඳි අත්දැකීම් ද නිසා ගොනු වූ නොයෙක් දාර්ශනික අදහස් පෙණ බුබුළු සේ මතු වෙමින් බිඳී ගිය දෙමිතුරන්ගේ සාදය සිඳී ගියේ කෙසේදැයි නිගූට මතක නැත. මතක නැතැයි කිවහොත් වැරදිය. සිහියක් පතක් නැත.
නිගූගේ හිස පුපුරන්නට මෙන් කකියයි. කොට්ටය බදාගෙන ඇස් තදින් පියා ගනියි. මෑත් වුණු තිර රෙදි අතරින් පිවිසෙන ඉර කෙඳි කාමරයේ නොයෙක් රටා මවයි. පෙරදා රැයෙහි තමා මාලබේ නිෙවසට ආවේ කෙසේදැයි නිගූ නොදනියි. මෙහි පැමිණෙන්නට ඔහු තීරණය කළේ කොයි මොහොතක ද යන්නත් ඔහුට අමතකයි. සාලින්ද දන්නා රියැදුරෙකු ගෙන්වා ගෙන තමාව ඇරලවා ගිය බව පවා නිගූට අමතකයි. මේ ඔහු මාලබේ නිෙවසෙහි රැය පහන් කළ මුල්ම දවසයි. අසෙනි ද සමඟ ගොස් තෝරා ගත් නිදන ඇඳත් සෝෆාවත් තවත් පුටු දෙකකුත් හැර වෙන කිසිවක් මේ නිෙවසෙහි නැත.
ඉර එළිය ජනෙල් තිර අතරින් කාමරේ පුරා විදින්නට පටන් ගත් විට නිගූ ආයාසයෙන් දෑස් හැර වටපිට බලයි. ඔහු තුළ නුහුරු හැඟීමක් ජනිත වෙයි. හිසේ පුපුරු ගසන වේදනාවත්, බර ගතියත් නිසා හිස ඔසවා බලන්නටවත් නොහැකිය. තමා මේ සිටින්නේ කොහේදැයි වටහා ගන්නටත් නිමේෂ මාත්‍රයක් ගත වෙයි. අසෙනි සමඟ ගොස් මිලදී ගත් ඇඳ ඇතිරිලි සහ කොට්ට උර ඈ එදාම ගෙදර ගෙන යයි.
" මේවා හෝදන්නැතුව දාන්න හොඳ නෑ... දෙන්න මං ගෙදරින් හෝදන් එන්නම්."
ඈ එසේ කියා අසුරන නොකඩාම ගෙදර ගෙන යයි. ඈ සෝදා ගෙන දුන් ඇඳ ඇතිරිලිවල, කොට්ට උරවල නැවුම් සුවඳ විඳිමින් තමා ඒ මත වැතිර සිටින්නේ කෙලෙසදැයි නිගූට විස්මයක් නැඟෙයි. ඒත් සමඟම ඈ ඒවා සෝදා ගෙන දුන් පසු රථයේ දමා ගත්තා මතකයි. ඒවා මෙහෙම පිළිවෙළකට එළා තමා නිදි කරවූයේ කවුරු දැයි සිතන්නට ඔහුට කම්මැලියි. නිගූ කොට්ට උරවල තාන් සුවඳ විඳිමින් ඊට තුරුලු වෙයි. පුපුරු ගසන හිස එහි ඔබයි. නිදි නොනිදි වේදනාත්මක සනීපයක පාවෙයි.
අසෙනි පෙරදා හැන්දෑවේ කිහිප විටක්ම නිගූට කතා කරන්නට උත්සාහ කර බැරිම තැන " ඔයා කොහෙදැයි" කෙටි පණිවිඩයක් තබයි.
"සාලින්දයියත් එක්ක.." යනුවෙන් හැරී ආ පණිවිඩයෙන් ඈ නිහඬ වෙයි. සාලින්ද අයියා සමඟ කතා කරන්නට නිගූට බොහෝ කාරණා ඇති බව ඈ දනියි. එයට ඉඩ දිය යුතු බව ද ඈ දනියි. ඔහුගේ අමුතු ආදර පහස විඳ ගන්නටත් ඈ නොඉවසිලිමත්ය. එහෙත් ඈ දෙමිතුරන්ගේ අවශ්‍යම සංලාපයට බාධා නොකර සිටින්නට ඉවසිලිවත් වෙයි. එහෙත් නිගූගෙන් ඇමතුමක් නොලැබ රෑ බෝ වන විට අසෙනි යළිත් ඔහුට ගනියි. කිහිපවරකට පසු අනෙක් අන්තයෙන් අමතන්නේ නිගූ නොව සාලින්දයි.
" නිගූට නම් මේ වෙලාවේ කතා කරන්න විදිහක් නෑ.. පණිවිඩයක් තියෙනවා නම් කියන්න."
"ආ.. නෑ. මම අසෙනි කතා කළා කියන්නකෝ."
" ආ.. අසෙනි ද ශ්‍රීපාලියෙ නේද? මට කියලා තියෙනවා නිගූ ඔයා ගැන.. දක්ෂ ළමයෙක් කියලා.. මං කියන්නම් නිගූට ගන්න කියලා.."
"හරි අයියේ මං පස්සෙ ගන්නම්"
අසෙනි තුළ ලජ්ජාශීලී තැතිගැන්මක් ඇති වෙයි. තමා කළේ නොකළ යුතු දෙයක් දැයි සිතෙයි. නැවත කෙටි පණිවිඩයක් පවා තබන්නට දෙගිඩියාවක් ඇති වෙයි. ඇඳෙහි වැතිර තදින් ඇස් පියා ගත්තද නින්ද නොඑයි. ඇසිපිය මත නිගූගේ රුව මැවෙයි. අනුරාගයේ තප්ත දීප්ත තාරකා බඳු ඔහුගේ තියුණු විනිවිදින බැල්මෙන් ඈ වෙත එබී බලා සිටිනු පෙනෙයි. ඔහුගේ සිනිඳු මන්ද්‍ර ස්වරයෙන් කන් පෙති අග මොන මොනවදෝ මුමුණනු ඇසෙයි. ඈ නිද්‍රා සනීපයක ගිලෙයි.
පසුදා උදෑසන අසෙනි වෙනදාටත් වඩා පරක්කු වී ඇහැරෙයි. ළඟ අතපත ගාන විට ජංගමය අතට අසුවී මිරිකෙයි. තිරය මත අටයි එකොළහ පත්තු වෙයි. ස්ටාෆ් බස් රථය නිසැකවම ගොස් ඇතැයි දනියි. හරි බරි ගැසී සිනිඳු පොරෝනයට ගුළිව යළිත් නිදන්නට හිතෙයි.
" ළමයො අද පරක්කු වෙලා නැද්ද?" යි අම්මා කාමරේ දොර ළඟට විත් අසයි.
" නෑ අම්මා ..තව චුට්ටකින් ලෑස්ති වෙනවා."
අසෙනි තවත් සනීප ඉරියව්වකට මාරු වෙයි. අම්මා මේ වන විටත් උදේටත් දවල්ටත් අසෙනි කන්නට කැමති කෑම සාදා කෑම ගෙනියන පෙට්ටිවල දමා, වතුර බෝතල පුරවා ඇගේ අඩුම කුඩුම ගෙනියන පැස තුළ දමා ඉස්සරහ මේසය උඩින් ගෙන ගොස් තබා තිබෙයි. අම්මා තවමත් පොඩි ළමයෙකුට මෙන් අසෙනිට හැමදේම කර දෙයි.
අසෙනිට අද උදේ වරුවෙහි ඇත්තේ සති අන්තයේ විකාශනය වීමට නියමිත වැඩසටහනක නිෂ්පාදන කටයුතුවල අවසන් අදියර විපරම් කිරීමටයි. ඇතැම් වැඩසටහනක කලර් ග්‍රේඩින් ගැන පවා ඈ උනන්දුයි. ඈ අතින් මඟ හැරෙන අත්‍යවශ්‍යම දෙයක් වුවත් සොයා බලා කරන්නට සූදානම් හිතෛෂී සහායක පිරිසක් ද අසෙනි පසුපසින් සිටීම ඇයට පහසුයි. එබැවින් වෙලාවටම නොගොස් ටිකක් පරක්කු වී ඔෆීස් යන කම්මැලි දවස් තිබෙයි.
ජනෙල් තිර දෙක අතර මැද මඳක් විවරව ඇති තැනකින් ඉරඑළිය කදම්බයක් කාමරයට කාන්දු වෙයි. ජනෙල් බීරළු අතරින් රිංගා එන ඉර කෙඳි ඇඳ පුරාත් ඈ නිදන කොට්ටය මතත් රටා මවමින් මැකී යයි. කොට්ටය මත විසිරුණු ඇගේ කෙහෙරොදක ආලෝක පුල්ලි පතිතව කෙහෙරැලි තඹපාටින් දිලිසෙයි. තවත් ඇසිපිය තදින් පියන්නට බැරි බව අසෙනිට වැටහෙයි. ඒ ඇසිල්ලෙන් ජංගමය හැඬවෙයි. "නිගූ " යනුවෙන් තිරය මත දැල්වෙයි. අසෙනි නොඉවසුම් වෙයි.
“ ගුඩ් මෝනිං.. අසී ඔයා වැඩ ද?"
නිගූ අසෙනිට අසී කියන්නට ගත්තේ මෑතක සිටයි. ඒ කවදාක සිටදැයි ඇයට මතක නැත. නිගූගේ කටහඬෙහි වෙහෙසකර බිඳුමක් ඇතැයි ඇයට සිතෙයි.
" ඔයා කොහෙද? ඇයි ආන්ස්වර් කළේ නැත්තෙ.. මං බයෙන් හිටියෙ..සාලින්ද අයියා ගත්තම තමා නින්ද ගියේ.. කියන්ඩකො ඔයා කොහෙද?"
" මං මාලබේ.. එපාර්ට්මන්ට් එකේ.. මං මෙතෙන්ට කොහොම ආවද කියලාවත් මං දන්නෙ නෑ.. අනේ ඔයා කොහෙද කියන්නකො.."
නිගූගේ බිඳුණු වෙහෙසකර හඬ යටින් හැමදාම මතුවන හුරතලයට ඈ ප්‍රියයි. එය ශෘංගාරාධනාවක් වගෙයි.
" මට හිතා ගත්තැහැකි.. මාත් අද තාම නැඟිට්ටෙවත් නෑ.. ගෙදර ඉන්නෙ .. ඇඳේ. . දැන් ලෑස්ති වෙන්නෝන.. පෝස්ට් ප්‍රඩක්ෂන් වගයක් තියෙනවා.."
" මං නම් අද කීයට නැඟිටියිද කියලා මං වත් දන්නෑ.. හවස මීටිං එකකුත් තියෙනවා..හරි ඔයා ලෑස්ති වෙලා යන ගමන් ගන්නකො.."
සිහින් කෙඳිරිල්ලක් බඳු නිගූගේ වචන ඇසෙන විට අසෙනි තුළ දැල්වෙන්නේ නිම්හිම් නැති ආදර හැඟීමකි. ඔහුගේ ආදරයෙන් තමා පූර්ණත්වයක් අත් පත් කර ගත්තා සේ ඇයට දැනෙයි. ඔෆිස් යන ගමන් මාලඹේ එපාර්ට්මන්ට් එකට ගොස් නිගූව බැලිය යුතු යැයි හදිසියේම ඈ තුළ සිතුවිල්ලක් මතු වෙයි.
තවත් කොටසකින් හමුවෙමු