තේ දල්ල සමඟින් ජීවත්වන ඇය

ජූලි 21, 2025

තේ දලු නෙළන ඇගේ ජීවිතය කවදටත් රෝස මල් යහනාවක ඇතිරූවක් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග අතරින් එකක් වූ තේ වගාවේ තේ දලු නෙළන කර්තව්‍යයේ වැඩි වශයෙන් නියැළෙන්නේ කතුන්ය. තේ දලු නෙළන්නියන්ට අමතරව තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නිරත වන සියයට 50කටත් වැඩි පිරිස කාන්තා ශ්‍රමිකයන්ය.

 

එදා ඔවුන්ව හැඳින්වූයේ ඉතා අවම පහසුකම් යටතේ පිහිටි ලැයිම් නිවාසවල ජීවත්වන ගැටලූ බොහොමයකට මුහුණ දෙන පිරිසක් ලෙසයි.

තේ දලු නෙළන ළඳුන්ගේ සුකොමළ දෑතට අපි කවදත් දෑතට අපි කවදත් ණයගැතිය. ඔවුන් ගැන ලියවුණු මනහර ගීත, කව්, සීපද බොහොමයක් ඇත්තේත් ඒ නිසාය.

 

ඇයයි තේ දලු නෙළන්නිය

තේ දල්ලටම කැපවුණු ජීවිතය ඔස්සේ තම පවුල ජීවත් කරවන, මනා තෘප්තියකින් යුතුව තම ජීවීකාවේ නියැළෙන තේ දලු නෙළන්නියන් පිරිසක් අපට හමුවූයේ කිරුවානාගඟ වතුයායෙනි. සිංහරාජ වනාන්තර සීමාවේ පිහිටි මෙම වතුයාය හෙක්ටයාර 483කට ආසන්න ප්‍රදේශයක් පුරා විහිද පැතිර ගිය එකකි. මෙම වතුයායේ පදිංචි ජනගහනය 1538 කි. මෙහි වැඩිපුරම සිටින්නේ කම්කරුවන්ට වඩා වතු යාය සමඟ ගිවිසුම් ඇතිකර ගත් ඉඩම් හිමියන්ය. ඔවුන් එම ඉඩම්වල තේ වගා කරමින් ඒවා නඩත්තු කරමින් තම පවුල් ජීවත් කරවන්නේ තෘප්තිමත්වයි. එම ඉඩමේ තේ දලු අස්වැන්න මිලදී ගන්නේද වතුයායෙන්මයි. මෙහි සිටින ඇතැම් වතුකම්කරුවන් මසකට ලක්ෂයක් දෙකක් අතර ආදායමක් ද උපයයි.

1956 වසරේ ඇරඹි කිරුවානාගඟ වතුයාය ක්ෂේත්‍ර කොටස් 9ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම වතුයාය පසුගිය වසරේ මිලියන 64.6ක ලාභයක් ඉපැයීමට සමත්ව තිබේ. මෙහි සේවකයන්ගෙන් සියයට 56ක්ම සිටිනුයේ කතුන්ය.

වාර්ෂිකව සිදුකරන තේ දලු නෙළන්නියන්ගේ තරගය ඔවුන්ට මනා ප්‍රබෝධයක් ගෙනදෙන්නකි. හොඳම පැමිණීම අගයයි. ඔවුන්ට ලබා දෙන මේ දිරිමත් කිරීම, ගරුත්වය, වටිනාකම වෙසෙසින්ම අගය කළ යුතුවේ. පෝෂ්‍යදායී පාන වර්ග, වියළි සලාක ලබාදීම, අලුත් අවුරුදු, දීපවාලි වැනි උත්සවවලට ත්‍යාග ලබාදීම වැනි දේ සංවිධානය වේ.

සතියට වැටුප් ලබාගන්නා අය, මාසිකව වැටුප් ලබා ගන්නා අය මෙහි සිටිති. තේ දලු නෙළන්නියන්ගෙන් වැඩි පිරිස දෙමළ අයයි. දැන් දැන් යුවතියන් මේ රැකියාව කෙරෙහි යොමුවීම තරමක් අඩුව තිබේ. උදේ 7.30 සිට 11.30 දක්වා එක් මුරයක් නිම කරයි. දහවල් ආහාරයෙන් පසු නැවත වැඩ ආරම්භ කරන්නේ පස්වරු 1.00 ටයි. සවස 4.00 වන විට වැඩ සියල්ල අවසන් වේ. දිනකට කැඩිය යුතු තේ දලු ප්‍රමාණය කිලෝ 20ක් වුවත් කිලෝ 30 - 40 තේ දලු නෙළන කතුන් ද සිටියි. කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 100ක මිලක් නියම වෙයි. බදු ක්‍රමයට ඉඩම් රැගෙන තේ වගාවේ නියැළෙන සහ තේ දලු නෙළන අය පවුලේ අයද ඒ සඳහා සහභාගී කර ගනියි. එවිට වැඩිපුර මුදල් උපයාගත හැකි වේ. ඔවුන්ගේ දුවා දරුවන් සමාජයෙහි පිළිගත් රැකියාවල නිරත වෙයි.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන

මොවුන්ගේ බිලිඳු දරුවන් මාස තුනේ සිටම රැකබලා ගැනීමට දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වතුයාය මඟින්ම පිහිටුවා ඇත. ළදරු පාසල් යන වයසේ පසුවන දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථානය සමඟින්ම ළදරු පාසල ද පිහිටුවා ඇත. පාසල් යන දරුවන්ට පාසල නිම වී දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත පැමිණිය හැකියි.

 

කාන්තා ක්ෂේත්‍ර නිලධාරිනි⁣යන්

තලවකැලේ වතු සමාගම තේ වතු සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස කාන්තාවන් පුහුණු කර ඇත. කිරුවාගඟ වතුයායේ සේවය කරන කාන්තා ක්ෂේත්‍ර නිලධාරි M.K. ඉනෝකා අපට හමුවුණි. ඇය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම පුහුණු පාඨමාලාව පිළිබඳ දැනගෙන ඒ සඳහා අයදුම් කර ඇත. අයදුම්පත් 470ක් අතරින් පහතරට වතු සමාගම් සඳහා 8දෙනකු, උඩරට වතු සමාගම් සඳහා 30 දෙනකු තෝරා කාන්තා ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස තෝරා ගැනිණි. එම පාඨමාලාවේ දක්ෂතම සිසුවිය වන්නට ඇයට හැකිවිණි. කාන්තාවන් තේවතුවල ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස පුහුණු කළ පළමු අවස්ථාව මෙයයි. කිරුවාගඟ වතුයායේ ක්ෂේත්‍ර නිලධාරීනියක ලෙස කටයුතු කරන්නට ලැබුණේ ඒ අනුවයි.

කිරුවාගඟ තේ කර්මාන්තශාලාවේ සේවය කරන වැඩි පිරිස ද කාන්තාවන්ය. නෙළා ගත් තේ දලු කර්මාන්තශාලාවට පැමිණි පසු පියවරෙන් පියවර ඔස්සේ යමින් අවසානයේ අපි ඉමිහිරි රසයක් විඳිමින් පානය කරන තේ කෝප්පය දක්වා වූ ක්‍රියාවලිය ඔවුන් සම්බන්ධ වෙයි.

 

විශේෂ ස්තුතිය : කිරුවානාගඟ තේ වතුයායේ ප්‍රධාන සාමාන්‍යාධිකාරි ගිම්හාන් ජයතිලකට