ගෙදර සරසන සිත් නිවන මූර්ති

ජුනි 23, 2025

කළුගල්, මැටි, දැව, ලෝහ ආදී අමුද්‍රව්‍ය යොදාගනිමින් කලාකරුවාගේ නිර්මාණශීලිත්වය මත හා දායකයාගේ දායකත්වය මත ඉදි කෙරෙන අලංකාර වූ නිර්මාණ මතු යම් දිනෙක නශ්ටාවශේෂව අද දවසේ තතු, හෙට ලොවට කියාපානු ඇත.

එනමුදු එසේ වටිනා නිර්මාණ කරන "කලාකරුවා" පිළිබද තතු එදා මෙන්ම, අදත් ඉතිහාසයට එක් නොවනු ඇත.

 

මූර්ති ශිල්පය ගැන කතා කරන විට, ඉතිහාසයෙන් අසන්නට ලැබෙන එක් නමක් වේ. ඒ "බරණ" නම් ශිල්පියා අවුකන පිළිමය නෙළු වග ය. ඉන්දියාවේ සිට මෙරට පැමිණි ශිල්පියෙකු වූ ඔහුගේ ගුරුතුමා රැස් වෙහෙර බුදු පිළිමය නෙළු බවත් අසන්නට ලැබේ. මෙය කිසිවෙකු කිසිවිට මාතෘකා කර නොගන්නා කරුණකි. කලාකරුවාගේ දහඩිය කඳුළු හා මිල කළ නොහැකි විශ්ව කර්ම හැකියාවන්ගෙන් පණ ලබා නිර්මාණ බිහිවන්නේ ඔහුගේ සුසුමකටවත් නිර්මාණයේ අයිතියක් කිව නොහැකි අයුරිණි. මේ පිළිබඳ සිතෙන විට මට නිතැතින්ම සිහියට නැඟෙන්නේ. "මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා.. මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...//... යන මන මෝහනීය ගීතයයි... එය එතරම්ම කලාකරුවාට සංවේදීව ඔහුගේ හදවත ස්පර්ශ කළ ගීයකි.

 

අපි අද බලමු ඔබේ අතින්ම කුඩා පිළිමයක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

 

* පෙනේරයකින් හළාගත් වැලි (කොටස් 1)

* සිමෙන්ති (කොටස් 1)

* බයින්ඩින් කම්බි

* රෙදිපටි හෝ කොහු ලණු

 

කුඩා නිර්මාණයක් සඳහා මූලික පියවර

 

බයින්ඩින් කම්බිය ශක්තිමත් වන ලෙස පොටවල් කිහිපයකට නවා කුඩා ලෑලි කැබැල්ලකට සවිකර ගන්න. මේ සඳහා ඇණයක් හා මිටියක් උපයෝගී කර ගන්න.

ඔබ සිදු කිරීමට අපේක්ෂා කරන මූර්තියේ දළ සැලැස්ම එහෙමත් නැතිනම් සැකිල්ල කම්බිවලින් හැඩ කර නමා, සකසාගත් කම්බියට සම්බන්ධ කර ගන්න. එය කොහු ලණු හෝ රෙදි පටිවලින් තරමක් දුරට අවශ්‍ය හැඩය මතු වනතෙක් තදින් ඔතන්න.

 

දෙවැනි පියවර

සිමෙන්ති කොටස් 1 ට වැලි කොටස් 1ක් ලෙස ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. එයට ජලය ටිකෙන් ටික එක් කරමින් හොඳින් අනාගන්න. (මේ සඳහා කුඩා මේසන් හැන්දක් නොමැති නම් ඒ ආකාරයට මේස හැන්දක් තළා සකස් කර ගන්න.)

 

පියවර තුන

සැකිල්ලට ජලය ස්වල්පයක් ස්ප්‍රේ කරන්න. ඉන්පසු ඒ මත සකසාගත් බදාමය ටිකෙන් ටික තවරමින් අවශ්‍ය හැඩය මතු කර ගන්න.

 

පියවර හතර

නිර්මාණය වියළෙන්නට හැර වැලි කඩදාසියක් ගෙන මැදීමෙන් එය සුමට කර ගන්න.

 

පියවර පහ

පිලර් ස්වල්පයක් ආලේප කරන්න. තවදුරටත් සුමට කර ගැනීමට අවශ්‍ය නම් නැවත සියුම් වැලි කඩදාසියකින් මදින්න.

 

පියවර හය

වර්ණ ගැන්වීම.

(ඕනෑම වර්ණ වර්ගයක් ආලේප කිරීමට පෙර සිමෙන්තිය වැසෙන සේ පිලර් ආලේප කිරීමෙන් වර්ණයේ ගුණය එලෙසම පවත්වාගත හැකියි)

 

 

උපදෙස්:-

මූර්ති නිර්මාණ ශිල්පිනී

ජානකී නදීශානි