යෝගට් හදල ටාගට් එකට යන්න

ජුනි 23, 2025

ඕනෑම නිෂ්පාදනයකට අගයක් එකතු කිරීමෙන් ලැබෙන්නේ වැඩි වටිනාකමකි. සාර්ථක ව්‍යාපාරයක් හෝ නිෂ්පාදනයක් බිහි වෙන්නේ මේ පුංචි සංකල්පය අප්‍රමාණය කිරීමෙනි. සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදිලා වෙනස් ක්‍රමයකට ඕනෑම දෙයක් වෙළෙඳපොළට ඉදිරිපත් කළොත් ඒ නිෂ්පාදනය විකුණා ගැනීම ඒ තරම් අසීරු ඉලක්කයක් නොවෙයි.


වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇති ඕනෑම නිෂ්පාදනයකට තරගකාරී වෙළෙඳපොළක් බිහිවීම සරල සිද්ධාන්තයක්. මේ සිද්ධාන්තයට අනුව අපට මේ තරගකාරී වෙළෙඳපොළට ගැළපෙන යමක් හඳුනා දෙන්න පුළුවන් නම් තරගකාරීත්වය කොයි තරම් වැඩි වුණත් අපේ නිෂ්පාදනයට හෝ නිර්මාණයට හොඳ ඉල්ලුමක් ලැබෙනවා.

යෝගට් එවැනි ඉල්ලුමක් ඇති නිෂ්පාදනයකි. හැබැයි අපට මේ යෝගට් සාම්ප්‍රදායික ක්‍රමයට වෙළෙඳපොළට හඳුන්වා දෙන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට හදන්න පුළුවන් නම් ඉල්ලුම වැඩියි.

ඒ වගේම තමයි මේ කෑම බීම හොඳ ගුණාත්මක අගයකින් යුතුව වෙළෙඳපොළට හඳුන්වා දුන්නොත් තමයි අපේ වෙ‍ෙළඳාම ගැන පාරිභෝගික විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් ලෙස ඔබ යෝගට් නිෂ්පාදනය කිරීමට අදහසක් තිබෙනවා නම් එයට අගයක් එකතු කිරීමට යෝගට් එකට උඩින් ජෙලි පුඩිං හෝ කජු, වියළි මිදි වැනි රසවත් යමක් එකතු කළොත් එහි රසය තවත් වැඩි වෙනවා.

ඔබ යෝගට් නිෂ්පාදනය කිරීමේ පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළොත් එයින් හොඳ ආදයමක් උපයා ගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා අවශ්‍ය කිරි හා යෝගට් කප් වැනි දෑ අඩු මිලට සොයා ගැනීමේ ක්‍රමයක් මුලින්ම සකස් කර ගන්න සිද්ධ වෙනවා. ගමක නම් නැවුම් එළකිරි ඔබට පහසුවෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම යෝගට් කප් සකස් කරන නිෂ්පාදන ආයතනයකින් හෝ කොළඹ චයිනා වීදියෙන් මිලදී ගත්තොත් ඉතාම අඩු මුදලකට මිලදී ගැනීමටත් හැකියාව තිබෙනවා. හැබැයි මෙවැනි කර්මාන්තයක් එක්වරම ආරම්භ කිරීම එතරම් සාර්ථක නොවෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ගෘහස්ථ මට්ටමින් පොඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර අත්හදා බැලීම තමයි හොඳම ක්‍රමය. මේ සඳහා ඔබ පාඨමාලා හැදෑරීමට අවශ්‍ය නැහැ. යූ ටියුබ් චැනලයක් මාර්ගයෙන් යෝගට් සාදන ආකාරය ගැන මුලින්ම අවබෝධයක් ලබාගන්න අවස්ථාව තිබෙනවා.

මේ කටයුත්ත තවත් සාර්ථකව කිරීමේ අදහස් තිබෙනවා නම් ඒ සඳහා පුහුණුවක් ලැබීමත් වඩාත් හොඳයි. ශ්‍රී ලංකා කර්මාන්ත මණ්ඩලය මඟින් පවත්වන පුහුණු වැඩසටහනකට එකතු වුණොත් ඔබට ඒ සඳහා හොඳ පුහුණුවක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක් ලෙසින් මෙය පවත්වාගෙන යෑමේදී අැතිවන ගැටලුවලට විසඳුම් හා උපදෙස් ලබාගන්නට අවස්ථාව ලැබෙනවා.
යෝගට් වැනි නිෂ්පාදනයක් කිරීමේදී පිිරිසුදුකම ඉතාම වැදගත්. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උෂ්ණත්ව ප්‍රමාණය ගැනත් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මේ කටයුත්ත සඳහා නිවෙසේ වෙනම සීමාවක් හෝ කාමරයක් සකස් කර ගැනීම වඩාත් හොඳයි. එසේ සකස් කරගත් කාමරයේ වාතය ලැබීම, අලෝකය ලැබීම හා උෂ්ණත්වය නිසි අයුරින් සකසා ගැනීම අනුව ඔබේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සාර්ථක වෙනවා.

ඔබ සාදන යෝගට් නිෂ්පාදනයට ජෙලි වැනි යමක් එකතු කළොත් එහි අගය වැඩි වෙනවා. මෙලෙස සකස් කළ යෝගට් ඇසුරුම් කර තබා ගැනීම තමයි වඩාත්ම සාර්ථක. ඒ වගේම ඔබ සකස් කළ යෝගට් සඳහා ලේබල් කිරීමත් නිවැරදිව ක්‍රමානුකූලව කිරීම හරිම වැදගත්.

එසේ ලේබල් කිරීමේදී ඔබේ නිෂ්පාදනයේ නම, ඇසුරුම් කළ දිනය, මිල, කල්ඉකුත්වන දිනය, අඩංගු ද්‍රව්‍ය හා ප්‍රමාණය යන සියල්ලම ඇතුළත්ව මෙය ඇලවිය යුතුයි. මෙසේ ඇසුරුම් කළ යෝගට් නිවැරදිව, හොඳින් නොසෙල්වන ආකාරයට කඩ සාප්පුවලට රැගෙන යෑම තමයි අවසාන පියවර. එසේ හොඳින් අසුරා වෙළෙඳපොළට ඉදිරිපත් කළොත් ඒ සඳහා ඇති ඉල්ලුම කිසිම ආකාරයකින් අඩු වෙන්නේ නැහැ.

යෝගට් කර්මාන්තයේ දී ඔබේ නිෂ්පාදනය ජනප්‍රියවීමට වඩාත් හේතුවන ප්‍රධාන සාධකයක් වන්නේ එහි රසයයි. ඒ නිසා ඔබ සෑමවිටම රසය හොඳින් පරීක්ෂා කර බලා වෙළෙඳපොළට හඳුන්වා දෙන්න. ඉක්මනින් සවිවීමට ජෙලටින් වැනි දෑ යෙදීමෙන් වළකින්න. නියම ප්‍රමාණයට අනුව සෑම යෝගට් කෝප්පයම පුරවන්න. මෙවැනි දේ ගැන ඔබගේ අවධානය යොමු කළොත් ඉතාම කෙටි කාලයකින් ඔබට සාර්ථක යෝගට් නිෂ්පාදකයෙක් වීම අපහසු නැහැ. ඔබ මේ ව්‍යාපාර වෙනුවෙන් කැපවෙන කාලය හා මහන්සියට නිසි වටිනාකමක් එක්කර ගැනීමට සෑමවිටම සැලසුමක් සකස් කරගන්න. ඔබේ නිෂ්පාදනයේ වෙළෙඳපොළ අලෙවිය ගැන හොඳින් අධීක්ෂණය කරන්න. තරගකාරී නිෂ්පාදන ගැන හොඳ අවදියෙන් සිටින්න. විශාල පරිමාණයේ නිෂ්පාදන ගැන හොඳ අධ්‍යයනයක යෙදෙන්න. ඒ තත්ත්වයට ඔබේ කර්මාන්තයත් රැගෙන ඒමට සැමවිටම උත්සාහ කරන්න. එවිට ඔබ සාර්ථක යෝගට් නිෂ්පාදකයකු වනු ඇත.