ගැබිනි සමයේ අධි රුධිර පීඩනය භයානකයි

ජනවාරි 9, 2023

 

මාස 9ක් එහෙමත් නැත්නම් සති 36 -40 ත් පුරාවට ගෙවෙන ගැබිනි සමයෙහි මවකගෙන් තවත් මවකට එකිනෙකට වෙනස්ය. ගැබිනි සමයට අතිශය පීඩාකාරී බවක් එක් කරන්නේ අධි රුධිර පීඩන තත්ත්වයයි. ඇතැම් මවුවරුන් ගර්භිණී වීමට පෙර සිටම අධි රුධිර පීඩන තත්ත්වයේ සිටින අතර තවත් මවුවරුන් ගර්භිණී වීමෙන් පසු මේ සඳහා මුහුණපායි. සාමාන්‍ය කෙනකුට වඩා ගැබිනි මවක් අධිරුධිර පීඩනය නිසා අවදානම් තත්ත්ව කිහිපයකට ම මුහුණ දෙයි.

 

ඔබ අධිරුධිර පීඩන තත්ත්වයේ සිටින යුවතියක් නම් විවාහයෙන් පසු ගර්භිණී වීමට සිතද්දි ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු වේ. ඔබ සැලසුම් සහගතව ගැබිනියක් වීම වැදගත් වේ.

 

BMI අගය 30 - 35 අතරේ පවතී නම් එය අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි අය ගර්භිණී වීමෙන් පසු ඒ සමයට සුදුසු වන පරිදි අධිරුධිර පීඩනය සඳහා ගන්නා ඖෂධ වෙනස් කෙරේ. ආහාරපාන, ව්‍යායාම සියල්ලම ඊට අනුරූපව වෙනස් කෙරේ.

 

ගර්භිණීබවත් සමඟින් අධිරුධිර පීඩන තත්ත්ව එල්ල විය හැකි අවස්ථා

ජීවිතයේ යම් ස්ථාවර බවක් ලබා ගර්භිණී වීමට සිතද්දි ඇතැමුන්ගේ වයස ඉක්මවා ගොසිනි.

 කුළුඳුල් දරු ප්‍රසූතිය අවුරුදු 40ට වැඩි හෝ අවුරුදු 20ට අඩු වයසේ දී සිදුවුණි නම්...

 BMI අගය 35ට වැඩි නම් එනම් ස්ථුලතාවෙන් වැඩි නම්

 අවසන් දරු ප්‍රසූතියත් වර්තමාන ගැබ් ගැනීමත් අතර වසර 10ක පමණ පරතරයක් පවතී නම්

 මව, සොයුරිය හෝ පවුලේ ළඟම ඥාතියකු ගර්භිණී සමයේ මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීමේ තත්ත්වයේ සිටියේ නම්...

මෙම අවස්ථවේදී ගර්භිණීවීම සමඟින් අධිරුධිර පීඩන තත්ත්ව කරා යා හැකි අවස්ථා වැඩි වේ.

 

ගැබිනියක් මෙම කරුණු කාරණාවලින් පීඩා විඳයි නම්....

 BMI අගය 35ට වැඩි මවුවරුන්

 ගර්භිණී වීම අවුරුදු 35ට වැඩි හෝ අවුරුදු 20ට අඩු මවුවරුන්

 දියවැඩියාවෙන් පෙළෙන මවුවරුන්

 වකුගඩු රෝග ඇති මවුවරුන්

 නිවුන් දරුවන් ලැබෙන්නට සිටින මවුවරුන්

 පෙර ගැබිනි සමයන්වලදී අධිරුධිර පීඩන තත්ත්වය තිබුණේ නම්...

වඩාත් සැලකිලිමත් විය යුතු වේ.

 

ඇස්ප්‍රින් පෙත්ත සති 12 සිට

අධිරුධිර පීඩනයේ සංකූලතා ඇත්නම් ඒ ගැබිනිය සති 12 ගත වීමෙන් පසු ඇස්ප්‍රින් දීමට වෛද්‍යවරු තීරණය කරයි. මෙය වෛද්‍ය නිර්දේශය යටතේ දිගටම ගත යුතුයි. ඒ ඔස්සේ අධි රුධිර පීඩන තත්ත්වය යම් තරමකට අවම කරගත හැකි වේ.

 

ප්‍රීඑක්ලැම්සිියා

අධිරුධිර පීඩනයත් සමඟින් මුත්‍රා මඟින් ප්‍රෝටීන පිටවන අවස්ථාවේ සිටින මවුවරුන් සිටියි. මොවුනගේ පිටවන මුත්‍රා පෙණ සහිත වේ. මුහුණ, අතපය යනාදිය යම් ඉදිමුම් තත්ත්වයක් පෙන්වයි. මෙය ප්‍රීඑක්ලැම්සියා තත්ත්වය යි.

 

ප්‍රීඑක්ලැම්සිියා සමඟින් වලිප්පුව

අධිරුධිර පීඩනය, මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවන තත්ත්වයත් සමඟින් Fit එහෙමත් නැතිනම් වලිප්පු තත්ත්ව ඇති මවුවරුන් සිටියි. මෙය අතිශය භයානක තත්ත්වයකි. මෙවැනි මවුවරුන්ට විශේෂඥ වෛද්‍ය නිරීක්ෂණය යටතේ බොහෝවිට රෝහල්ගත වී සිටින්නට සිදුවේ. එහිදී මවගේ ජීවිතය අවධානම් සහගත තත්ත්වයේ තිබෙන නිසා ගැබට සති කොපමණ වුවත් (අඩු සති ගණනක පැවතියත්) දරු ප්‍රසූතිය සිදු කරයි.

ගැබිනි සමයේ ඇතිවන අධික රුධිර පීඩනය මවට අමිහිරි අත්දැකීම් එක් කරනුයේ ප්‍රීඑක්ලැම්සියා තත්ත්වය නිසායි. අධිරුධිර පීඩනය සමඟින් මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීම දරු ගැබට හානි පමුණුවන්නට පුළුවන. මෙහිදී 140/90 අතර හා 160/110 අතර අධිරුධිර පීඩන කියවීම ඇත්නම් වඩාත් ප්‍රවේසම් විය යුතුයි. මෙය දරුණු වූ විට මවගේ අනෙකුත් අවයවයන්ට ද හානි ගෙන දෙයි. රතු රුධිර සෛල කැඩේ. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීමත් සමඟින් ලේ කැටි නොගැසේ. වැදෑමහ ගර්භාෂයෙන් ඉවත් වීමත් සමඟින් මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වේ. ඒ නිසා මව ජීවිත හානියෙන් බේරා ගැනීම සඳහා දරු ප්‍රසූතිය කරනු ලබයි.

 

ඇඳ විවේකය

අධිරුධිර පීඩනය නිසා දරුවා හොඳින් නොවැඩෙන්නට පුළුවන්. මේ මවුවරුන් ඇඳ විවේකය අත්‍යවශ්‍ය වේ. ආහාර සහ ඖෂධ වලින් පාලනය කරගත නොහැකිව ප්‍රීඑක්ලැම්සියා තත්ත්වයට යන්නේ නම් රෝහල් ගතවී සිටින්නට සිදුවේ.

 

ඖෂධ හා ආහාර මඟින් අධිරුධිර පීඩනය පාලනය වූයේ නම් සති 37 පසු වූ විට දරු ප්‍රසූතිය කරා යා හැකියි. ප්‍රීඑක්ලැම්සියා තත්ත්වයේ දී සති 37ක් කරා යෑම මවගේ ජීවිතයට අවධානමක් ගෙන දිය හැකි නිසා ඊට පෙර වුවද වෛද්‍ය උපදෙස් යටතේ දරු ප්‍රසූතිය සිදු කරයි.

 

මව අධිරුධිර පීඩනයෙන් පෙළුණු පමණින් දරු ප්‍රසූතිය සීසර් සැත්කමකින්ම කළ යුතු නැත. එයද තීරණය කරනුයේ වෛද්‍යවරයා යි.

 

මානසික ආතතියෙන් තොරව හැමවිටම ගැබිනි සමය ගත කරන්න. මේ කාලයේදී ලුණු භාවිතය සීමා කරන්න. ඉන් අදහස් වන්නේ ලුණු පාවිච්චිය එහෙම පිටින්ම ඉවත් කිරීම නොවේ.

 

 උපදෙස්

කාසල් කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

දිලුක් සේනාධීර