දූ පුතුන්ගේ උපන්දින හැඩ කරන්න ලස්සන කේක්

අගෝස්තු 18, 2021

 

කෝවිඩ් වසංගත තත්ත්වය රටපුරා පැතිරෙන්නෙ වේගයෙන්. නැවතත් දිනෙන් දින රෝගීන්ගේ ප්‍රමාණය ද වැඩිවෙන්න පටන් අරන්. මේ නිසා හැකිතරම් නිවෙසට වී සිටීම කළයුතුම කාර්යයක් වෙලා. ඉතිං ඒ දේවල් එහෙම වුණාට පුංචි දුවලා පුතාලට නම් ඒවා ගැන වැඩි අවධානයක් නැහැ. ලැබෙන කාලය විනෝදයෙන් ගතකරන්නයි ඔවුන්ගේ

උනන්දුව. වැඩිහිටියන් වුණු ඔබට මොන ගැටලුව ආවත් දරුවන්ගෙ දේවල් හරි අපූරුවට කරන්නයි ඔබත් උත්සාහ ගන්නේ.

අද තරුණී වෙතින් ඔබ වෙත ගෙන එන මේ කේක් නිර්මාණ ඔබේ දුව, පුතාගේ ඒ ලස්සනම දවස වෙනුවෙන් ඔබේම අතින් සාදාදිය හැකියි.

 

 

පුංචි පුතුට ස්පයිඩර් මෑන්

 

අවශ්‍ය ද්‍රව්‍ය

මෙම කේක් එක නිර්මාණය කිරීම සඳහා ග්‍රෑම් 500 කේක් දෙකක් අවශ්‍ය වේ. ඒ සඳහා

බටර් ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 250 ක්

බිත්තර 5 ක්

පිටි ග්‍රෑම් 240 ක්

කිරි පිටි මේස හැන්දක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

වැනිලා තේ හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

පළමුව පිරිසුදු බඳුනක් ගෙන එයට සීනි හා බටර් දමා හොඳින් බීට් කරන්න. සීනි කැට දිය වූ පසු එයට බිත්තර එකින් එක

දමා නැවතත් හොඳින් බීට් කරන්න. ඉන්පසු මේ මිශ්‍රණයට වැනිලා තේ හැන්දක් ද එකතුකර බීට් කරන්න.

දැන් පිටි, බේකිං පවුඩර් එකට එකතුකර හොඳින් හලාගෙන පිටි මිශ්‍රණය ටික ටික ඉහත බටර් මිශ්‍රණයට එකතුකර නැවතත් බීට් කරන්න. ඉතිරි වැනිලා තේ හැන්ද ද එකතු කරන්න.

ඉන්පසු සකස්කරගත් ග්‍රෑම් 500 රවුම් තැටි දෙකක් ගෙන එයට ඉහත මිශ්‍රණය සම සමව දමා ගන්න. දැන් මෙයට ඔබට කැමැති වර්ණ දෙකක් දමා ගන්න.

ඉන්පසු විනාඩි 10ක් පමණ සෙල්සියස් අංශක 180ට රත්කරගත් අවන් එකකට දමා විනාඩි 50ක් පමණ බේක් කරගන්න.

මෙම කාලය එක් එක් අවන් අනුව වෙනස් විය හැකියි.

 

අයිසිං කිරීමට

අයිසිං සීනි ග්‍රෑම් 750ක් - කිලෝ ග්‍රෑම් 1ක් පමණ

බටර් ග්‍රෑම් 250ක් (බටර් ශීතකරණයේ තබා භාවිතයට ගන්නේ නම් එය ශීතකරණයෙන් ඉවතට ගෙන විනාඩි 5-10 ක් තබන්න.)

ඉන්පසු මෙම අයිසිං සීනි සහ බටර් බඳුනකට දමා හොඳින් බීට් කර බටර් අයිසිං සාදා ගන්න.

මේ ආකාරයට සාදාගත් බටර් අයිසිං බඳුන් දෙකකට දමා එකකට නිල් පාටත්, අනෙකට රතු පාටත් දමා ගන්න.

ඉන්පසු හොඳින් නිවුණු කේක් දෙක ගෙන එකිනෙක වෙන වෙනම පලා ගන්න. පසුව බටර් අයිසිං තවරා මෙම කේක් සැන්ඩ්විච් කරන්න. එහිදී ඔබ කේක්වල වර්ණ වෙනස් කරමින් සැන්ඩ්විච් කරගැනීමට මතක තබා ගතයුතුයි. දැන් දැන් සම්පූර්ණ කේක් එක සුදු බටර් අයිසිංවලින් කවර් කරගන්න. අයිසිං comb එක ආධාරයෙන් කේක් එක නීට් කරගන්න.

දැන් නිල් බටර් අයිසිං නො. 17 නොසලයට දමා කේක් එක උඩ ඉරි ආකාරයට දමන්න. දැන් එම නොසල් එකෙන්ම කේක්

එකේ උඩ සහ යට ෂෙල් බෝඩර් දමා ගන්න. ඉන්පසු නො. 02 නොසල් එකෙන් රතු පාට අයිසිංවලින් කේක් එක උඩ දැලක් ආකාරයට දමා ගන්න. පසුව එම නොසල් එකෙන්ම කේක් එක වටේ උස කොටසට බිංදු ආකාරයට දමාගන්න. පසුව වෙළෙඳ පොළෙන් ලබාගත් ස්පයිඩර් මෑන් ටොපර්ස් එකක් කේක් එක උඩින් තබන්න. දෙපසට ප්‍රින්ට් කරගත් ස්පයිඩර් මෑන් රූප දෙකක් තබාගන්න.

 

 

දෝණිට ප්‍රින්සස් කේක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

මේ සඳහා ග්‍රෑම් 250 තැටි දෙකකට සාදාගත් රවුම් කේක් දෙකක් අවශ්‍ය වේ.

බටර් අයිසිං

ප්‍රින්සස් කේක් ටොපර් එකක්

 

නිර්මාණය කිරීම

පළමුව බේක් කරගත් කේක් දෙක ගෙන දෙකට පලා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු කේක් එක උඩට අයිසිං තවරා නීට් කරගන්න. පසුව ලීෆ් නොසල් එක ගෙන කහ පාට අයිසිංවලින් ඡායාරූපයේ පෙනෙන ආකාරයට රැලි ආකාරයට අයිසිං කරගන්න. පසුව රතු පාට අයිසිංවලින් නො. 16 නොසල් එකෙන් යට ඇති බෝඩරය දමාගන්න. දැන් රතු

පාට අයිසිංවලින්ම නො. 104 නොසලයෙන් රෝස මල් සාදා කේක් එක මත තබන්න. කේක් එකෙහි මැදට ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ප්‍රින්සස් ටොපර් එක තබා කේක් එක නිර්මාණය කරගන්න.

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනි

තෙයාගි සධනිකා ගමගේ

(Butter Dream Cakes ගම්පහ)

 

උදයංගනී ලියනආරච්චි