වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මේ බිලිං කාලේ බලන් මේ රස තාලේ

බිලිං, මේ පලතුර නම් එක් එක් පලාත්වල එක එක නම්වලින් හඳුන්වනවා. බිලිං කියන්නේ ලෝකයේ ඇති පලතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්සේරු වන පලතුරු වර්ගයක්. ඒවගේම, ලොවපුරා විවිධ ඉවුම් පිහුම් කටයුතු සඳහා බිලිං භාවිත කරනවා.
කොහොම නමුත් බිලිං කියන්නේ උෂ්ණාධික දෙයක්.
විටමින් B සහ C, යකඩ, පොස්පරස් සහ විශාල ප්‍රතිඔක්සිකාරක බලයකින් සපිරි මේ පලතුරේ නිජභූමිය වෙන්නේ පිලිපීනයයි.
මේ බිලිං කියන පලතුර ලොවපුරා වගා කරන අනෙක් පලතුරු වර්ග තරම්ම ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් අප නොසිතන තරමේ විශාල පෝෂණ ගුණයක් බිලිං තුළ අන්තර්ගත වනවා.
බිලිං භාවිතයෙන් අපට ලබාගත හැකි සෞඛ්‍යය වාසි කිහිපයකි.
බිලිං සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය:-
කුඩා බිලිං ගෙඩි 50ක්
උම්බලකඩ කුඩු
මේස හැඳි 01ක්
කහ ස්වල්පයක්
අමු ඉඟුරු පෙති 02ක්
රම්පෙ
කරපිංචා
කෑලි මිරිස්
අවශ්‍ය පමණට
කපාගත් රතුලූනු අහුරක්
ලියාගත් සුදුලූනු බික් 03ක්
කුරුඳු කැබැල්ලක්
සේර කැබැල්ලක් (අවශ්‍යම නැත)
පොල්තෙල් මේස හැඳි 04ක්
ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ක්‍රමය:-
01. හොඳින් සෝදා ගත් බිලිං පෙති කපාගන්න.
02. එය ලුණු මිශ්‍ර වතුරේ පැය 1/2 ක් පමණ තිබෙන්නට හරින්න.
03. හොඳින් දිය මිරිකා හැර, අනෙක් ද්‍රව්‍ය සමඟ කලවම් කරන්න.
04. පොල්තෙල් ටික භාජනයකට දමා රත් කර, බිලිං මිශ්‍රණය එහි දමා විනාඩි කිහිපයක් බැද ගන්න.
බිලිං අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය:-
වියළා ගත් බිලිං ගෙඩි 100ක් පමණ
විනාකිරි ලීටර් 1ක්
ලොකුලූනු ග්‍රෑම් 300ක්
රතුලූනු ග්‍රෑම් 200ක්
අමුමිරිස් ග්‍රෑම් 50ක්
ලුණු ස්වල්පයක්
අබ මේස හැඳි 2ක්
උම්බලකඩ කුඩු මේස හැඳි 5ක්
කබලේ බැදගත් මිරිස් කරල් 20ක්
කහ තේ හැඳි 1/4ක්
සූදුරු තේ හැඳි 1ක්
කොත්තමල්ලි තේ හැඳි 1ක්
ගම්මිරිස් කුඩු මේස හැඳි 2ක්
තෙල් මේස හැඳි 5ක්
සාදන ක්‍රමය -
01. ලොකුලූනු හතරට පළන්න.රතුලූනුවල පොත්ත අයින් කරලා හෝදන්න.
අමුමිරිස් කරල් වෙන් නොවෙන සේ දික් අතට දෙකට පළන්න.
02. භාජනයකට තෙල් දාලා ලූනු වර්ග දෙකම දමා බැදගන්න.
අමුමිරිස් බදින්න. බිලිං ද ඒ විදිහටම බැදගන්න.
03. ඒ ටික වෙනම තියා අබ, කබලේ බැදගත් මිරිස්, ලුණු විනාකිරෙන් අඹරලා භාජනයකට දාන්න.
04. කහ, ගම්මිරිස්කුඩු, කොත්තමල්ලි, සූදුරු, උම්බලකඩ, බිලිං ටික එක්කර රතුලූනු, අමුමිරිස්, ලොකුලූනු ද සමඟ අනන්න.
05. මැටි මුට්ටියකට දමා හොඳට කට තද කර වහන්න.
මාස 3ක් වුණත් තියා ගන්න පුළුවන්.
බිලිං වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය:-
බිලිං ගෙඩි කීපයක්
සුදුලූනු
රතුලූනු
රම්පෙ, කරපිංචා කුරුඳුපොතු කැබැල්ලක්
රස අනුව ලුණු
මිටිකිරි ස්වල්පයක්
බැදීමට පොල් තෙල්
සාදන ක්‍රමය:-
01. බිලිං ටික මැද නාරටිය අයින් කර වටෙන් තීරු තීරු කපා ගන්න.
02. භාජනයක් ළිපේ තියලා රත් වුණාම තෙල් ටිකක් දාන්න.
තෙල් රත් වූ පසු ඒකට සුදුලූනු , රතුලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා දමා බැදෙන්න හරින්න. කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරන්න.
04. කපා ගත් බිලිං ටික එකතු කරන්න.
05. මිරිස්කුඩු, කහකුඩු, බැදපු තුනපහ කුඩු එකතු කරන්න.
රස අනුව ලුණුත් දමන්න.
06. තෙලෙන් හොඳට මැල වුණාට පස්සෙ මිටිකිරි ස්වල්පයක් එකතු කර ගන්න.
හොඳින් හිඳුණු පසු ළිපෙන් අයින් කරන්න.
ඇඹුල් ගතිය වැඩිනම් සීනි චුට්ටක් කලවම් කරන්න.
බිලිං වෑංජනය රොටී, ආප්ප එක්ක කාලා බලන්නකෝ. රසයි ගොඩාක්.
බිලිං චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය :
බිලිං ග්‍රෑම් 500ක්
සීනි ග්‍රෑම් 300ක්
විනාකිරි මිලිලීටර් 150ක්
මිරිස් කුඩු ග්‍රෑම් 10ක්
තළා ගත් සුදුලූනු ග්‍රෑම් 10ක්
තළාගත් ඉඟුරු ග්‍රෑම් 10ක්
ලුණු ග්‍රෑම් 5ක්
සාදන ක්‍රමය:
01. බිලිං සෝදා තෙත මාත්තු කර කුඩාවට කපා ගන්න. ශුද්ධ බර ග්‍රෑම් 500ක් විය යුතුයි.
02. විනාකිරි ළිප තබා එයට, සීනි, ඉඟුරු, සුදුලූනු, මිරිස් කුඩු, ලුණු එක්කර සීනි දියවෙන තුරු හොඳින් උතුරවන්න.
03. බිලිං එක්කර අවශ්‍ය පදම එනතුරු පිස ගන්න.
උපදෙස්
සූපවේදී
සර්වදර්ශනී අප්සරා