වහ වෙනුවට මුව කෑම

ජූලි 28, 2025

ගමේ ගොඩේ රස ගුණ පිරි - වස විස නැති කෑමක් තමා කෙසෙල්මුව. කෙසෙල් කැන පීදුණට පස්සෙ ඉතිරි වෙන කොටස තමයි කෙසෙල්මුව විදිහට ගන්නෙ. මේක ගොඩාක් රසවත් ක්‍රම කිහිපයකටම හදාගන්න පුළුවන්. හැමදාම හදන ක්‍රමවලින් එහාට ගිහින් ඔන්න ටිකක් වෙනස් විදියට කෙසෙල්මුව හදන හැටි ප්‍රණීත තුළින් කියලා දෙන්න හිතුවා. එහෙනම් කියවලා බලන්න.

 

කෙසෙල්මුව පෙති බැදුම්

අවශ්‍ය ද්‍රව්‍ය :-

 

කෙසෙල්මුවයක්

පාන්පිටි මේස හැඳි 1ක්

කඩලපිටි මේස හැඳි 1ක්

බිත්තර 1

මිරිස් කුඩු තේ හැඳි 2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

බිස්කට් කුඩු ස්වල්පයක්

බැදීමට තෙල්

 

සාදන ක්‍රමය -

01. කෙසෙල්මුව වටේට ඇරිලා තියෙන කොළ ගලවලා කෙසෙල්මුවට ළං වෙලාම ති‍ෙයන කොටස ගන්න.

02. අග ඉඳලා තරමක පෙති කපාගන්න.

03. බඳුනකට පාන්පිටි, කඩලපිටි, බිත්තරය දමා මෙයට මිරිස් කුඩු, කහ කුඩු, ලුණු හා ගම්මිරිස් කුඩු දාගන්න.

04. වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න.

05. කෙසෙල් පෙති මේ බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරා, ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.

 

කෙසෙල්මුව සීනි සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය :-

කෙසෙල්මුව 1ක්

ලියාගත් ලූනු ගෙඩියක්

කරපිංචා කොළ ස්වල්පයක්

හාල්මැස්සෝ ග්‍රෑම් 100ක් පමණ

වියළි මිරිස් කරල් 5ක් පමණ

කෑලිමිරිස් තේ හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

විනාකිරි මේස හැඳි 3ක්

සීනි මේස හැඳි 2ක්

බැදීමට තෙල්

 

සාදන ක්‍රමය -

 

01. කෙසෙල්මුව හීනියට කපා ලුණු වතුර දමා විනාඩි 10ක් තියන්න.

02. වතුර බේරෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න.

03. ලූනු, කරපිංචා, මිරිස්, හාල්මැස්සෝ ටිකත් වෙන වෙනම බැදගන්න.

04. දැන් මැටි මුට්ටියක් ළිපේ තබා තෙල් මේස හැඳි 2ක් වගේ දාගන්න.

05. තෙල් රත්වෙනකොට විනාකිරි හා කෑලිමිරිස් ටික දාලා කලවම් කරගන්න.

06. මෙයට බැදගත් සියල්ලම දමා රස අනුව සීනි හා ලුණු දමා කලවම් කර ළිපෙන් බාගන්න.

 

කෙසෙල්මුව වඩේ

අවශ්‍ය ද්‍රවය:-

 

මයිසූර් පරිප්පු කෝප්පයක්

කපාගත් කෙසෙල්මුව අවශ්‍ය පමණ

ලියා ගත් අමුමිරිස් හා රතු ලූනු

කෝන් පිටි තේ හැඳි 1ක්

දෙහි ඉස්ම ටිකක්

පදමට ලුණු

අවශ්‍ය නම් කෑලි මිරිස් ස්වල්පයක්

බැදීමට තෙල්

 

සාදන ක්‍රමය:-

 

01. මුලින්ම පරිප්පු ටිකට වතුර දමා පැයක් පමණ පොඟවා ගන්න. දැන් හොඳින් වතුර බේරා ගත් පරිප්පු කොටස් දෙකකට බෙදා එක් කොටසක් ග්‍රයින්ඩ් කරන්න. (වතුර ටිකක්වත් නැතුව කරන්න වග බලා ගන්න) දැන් ග්‍රයින්ඩ් කරපු කොටස හා නොකරපු කොටස එකට දමා මිශ්‍ර කරන්න. මේ සමඟම කෙසෙල්මුව තෙම්පරාදු කරගන්න.

 

02.තෙම්පරාදු කරගත් කෙසෙල්මුව ඉතිරි සියලුම අමුද්‍රව්‍ය ටික සමඟින් ඒකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් විනාඩි 15ක් පමණ වඩේ මිශ්‍රණය ශීතකරණයේ තබා ගන්නත් පුළුවන්.

 

03.දැන් අත්ලේ වතුර ස්වල්පයක් ගා, මිශ්‍රණයෙන් කුඩා බෝල‍යක් අත්ල මත තබා හොඳින් තූනීවට රවුමට පැතලි කර ගන්න.

 

04.කතුරුමුරුංගා කොළ දෙක තුනක් වඩේ එකේ උඩ තියා තද කරන්න. රත් වූ ගැඹුරු තෙලේ දමා දෙපැත්ත හරවමින් අඩු ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න. හොඳින් තෙල් බේරා උණුවෙන්ම රස විඳින්න.

කෙසෙල්මුව චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:-

කෙසෙල්මුවයක්

පළවැනි කෝට් එකට:-

මුදවාගත් මේස හැඳි 2ක්

කොත්තමල්ලි කුඩු තේහැඳි 1/2ක්

කහ කුඩු තේහැඳි 1/4ක්

මිරිස් කුඩු තේහැඳි 1ක්

ලුණු ස්වල්පයක්

ඉඟුරු, සුදුලූනු පේස්ට් තේහැඳි 1ක්

 

දෙවැනි කෝට් එකට:-

කෝන්ෆලවර් මේස හැඳි 1ක්

පාන්පිටි මේස හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

තළාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

බැදීමට තෙල්

 

සාදන ක්‍රමය -

01. කෙසෙල් මුව ඇතුළේ ති‍ෙයන පොඩි කෙසෙල් මල් ටික ගන්න.

02. ඇතුළේ ති‍ෙයන මල් රේණු කොටස අයින් කරගන්න.

03. දැන් මේ ටික වතුර භාජනයකට දමා තියන්න.

04. ටිකක් පෙඟුණාම හොඳට සෝදලා වතුර අයින් කරගන්න.

05. දැන් බෝල් එකකට මුදවාගත් කිරි, කොත්තමල්ලි කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු හා ඉඟුරු සුදුලූනු පේස්ට් එක දමා කලවම් කරගන්න.

06. මේකට කෙසෙල් මල් ටික දාලා කලවම් කරගන්න. වෙනම බෝල් එකකට පාන්පිටි, කෝන්ෆ්ලවර් හා ලුණු දමා වතුර ටිකක් දමා උකු බැටර් එකක් හදාගන්න.

07. තළා ගත් කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න. දැන් මේකට කෙසෙල් මල් ටික දමා එකින් එක රත්වුණු තෙලින් බැදගන්න.

 

කෙසෙල්මුව චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය:-

කෙසෙල්මුවයක්

කඩල පරිප්පු මේස හැඳි 1ක්

වියළි මිරිස් කරල් 2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

තෙල් ස්වල්පයක්

ගාගත් පොල් කෝප්ප 1ක්

සියඹලා තේ හැඳි 1ක්

හකුරු තේ හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය -

01. කෙසෙල්මුවවල වටේ තියෙන ලොකු පෙති ටික ගලවලා ගන්න.

02. තරමක කෑලි කපා භාජනයකට දාලා කහ කුඩු හා වතුර දමා තැම්බෙන්න තියන්න.

03. හොඳට තැම්බුණාම ළිපෙන් බා වතුර පෙරාගන්න.

04. පෑන් එකට තෙල් ටිකක් දමා රත්වෙනකොට කඩල පරිප්පු හා වියළි මිරිස් දමා හොඳට බැදෙන්න අරින්න.

05. මේක බැදුණම ළිපෙන් බා ග්‍රයින්ඩර් එකට දාලා තම්බාගත් කෙසෙල්මුව ටිකත් එකතු කරන්න.

06. ගාගත් පොල්, සියඹලා, හකුරු හා රස අනුව ලුණු දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න.

 

කෙසෙල්මුව සලාද

අවශ්‍ය ද්‍රව්‍ය:-

කෙසෙල්මුව 1ක්

කපාගත් ලූනු ගෙඩි 1ක්

කපාගත් තක්කාලි ගෙඩි 1ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

තළාගත් සුදුලූනු බික් 2ක්

කපාගත් අමුමිරිස් කරල් 2ක්

දෙහි බෑයක යුෂ

රෝස්ට් කරගත් තල ඇට ස්වල්පයක්

රෝස්ට් කරගත් රටකජු ස්වල්පයක්

 

සාදන ක්‍රමය -

 

01. කෙසෙල්මුව කොළ ඇතුළේ ති‍ෙයන පොඩි කෙසෙල් මල් ටික ගන්න.

02. මේකෙ කහපාට මල් කොටස හා අළුපාට කූරක් වගේ කොටස අයින් කරගන්න.තනිකර සුදුපාට ටික ගන්න.

03. ඒ වගේම කෙසෙල්මුවවල ඇතුළෙම ති‍ෙයන සුදුපාට කොටසත් ගන්න.

04. මේ ටික පොඩියට කපලා ලුණු ටිකක් දාලා තම්බා ගන්න.

05. විනාඩි 2ක් වගේ තැම්බුණාම ළිපෙන් බාලා වතුර පෙරාගන්න. වතුර හොඳටම අයින් වෙනකම් තියන්න.

06. දැන් මේ ටික බෝල් එකකට දමා කපාගත් ලූනු, තක්කාලි, අමුමිරිස් ටික දාගන්න.

07. තලඇට, රටකජු, සුදුලූනු, රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දමා දෙහි යුෂ ටිකක් දමා අනාගන්න.

 

උපදෙස්

සූපවේදී

සර්වදර්ශනී අප්සරා