නිර්මාංශ ඔබට මුං මස් කරියක්

මැයි 5, 2025

 

බක් මහේ සිරි අසිරිය නිමාවත්ම පරිසරය පුරාම පැතිරී යන්නේ පහන් බවක්. ඒ පින්බර වෙසඟේ උදාවත් සමඟිනි. ඒ... සමඟින් බොහෝ දෙනෙක් ප්‍රිය කරන්නේ නිර්මාංශ ආහාරවලටයි. පෝෂණයෙන් අඩුවක් නැති එවන් ආහාරයක් ඉතාමත් පහසුවෙන් සකසා ගන්නා අන්දමයි අද තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් දිග හැරෙනුයේ.

 

ඔබේ නිවෙසේ සාමාජිකයන්ටත් මෙවැනි නිර්මාංශ ආහාරයක් පිළිගැන්වීමෙන් කෑම මේසයේ රසවත් බවට සැබෑම වටිනාකමක් එක්කරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය -

 

 

මුං ඇට ග්‍රෑම් 250ක් (පැය 6 - 7ත් ඇල්දියේ පෙඟෙන්න තබන්න.) රම්පේ, කරපිංචා, සේර කැබැල්ලක්, එනසාල්, කරාබුනැටි, කුරුඳු මිශ්‍රණයෙන් තේ හැඳි එකක් කහ කුඩු තේ හැඳි එකක්, මිරිස් කුඩු මේස හැඳි දෙකක්, අමු තුනපහ තේ හැඳි දෙකක්, බැදපු තුනපහ කුඩු මේස හැඳි තුනක්, රසට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ඉඟුරු, සුදුලූනු මේස හැඳි දෙකක්

අමුමිරිස් කරල් 2 - 3ක්

බීලූනු ගෙඩි එකක් (චොප් කර ගන්න)

තක්කාලි ගෙඩි 3 -4ක්

තෙල් මේස හැඳි 4-5ක්

අබ ඇට මේස හැඳි 01ක්

උළුහාල් තේ හැඳි 01ක්

සූදුරු තේ හැඳි 01ක්

පොල් කිරි කප් 1 1/2ක්

 

සාදාගන්නා අන්දම -

01. මුං ඇටවල වතුර පෙරා ඉවත් කරන්න.

02. එයට රස අනුව ලුණු කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, බීලූනු මේස හැඳි දෙකක් පමණ මිශ්‍ර කර ගන්න.

03. පසුව ග්‍රයින්ඩර් එකට දමා යන්තම් කෑලි සිටින්න අඹරාගන්න.

මිරිස් ගලේ වුවත් අඹරා ගත හැකියි. තරමක් ඝනකමට තිබිය යුතුයි.

 

04. පසුව ස්ටීමර් එකට කෙසෙල් කොළයක් දමා තෙල් ටිකක් තවරා මිශ්‍රණය අඟල් 1ක් ඝනකමට තුනී කර තම්බාගන්න.

 

05. නිවෙන්න තබා අඟලක කුට්ටිවලට කපාගන්න.

කරිය සාදාගන්නා අන්දම

 

01. භාජනයකට තෙල් දමා රත් වූ පසු අබ ඇට, සූදුරු, උළුහාල් දමන්න. පසුව රම්පේ, කරපිංචා, සේර, ඉඟුරු, සුදුලූනු, බීලූනු, අමුමිරිස්, තක්කාලි යන සියල්ල දමා බැදීගෙන එන විට කහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු යන සියල්ල මිශ්‍ර කර ගන්න. පොල් කිරි එකතු කර ගන්න.

 

04. පොල් කිරි උතුරන විට රසට ලුණු කුඩු, ගම්මිරිස් එකතු කර සූදානම් කර ගත් මුං මස් ටික දමාගන්න. විනාඩි දෙකක් තුනක් උයාගන්න.

05. බත් ඉඳිආප්ප හෝ තමන් කැමති ආහාරයක් සමඟ කෑමට ගන්න.

 

 

උපදෙස් ප්‍රවීණ සූපවේදිනී

සුනේත්‍රා ඒකනායක

 

[email protected]