වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අවුරුද්දට කොමල පාන පැණි බේරෙන කැවිලි ගොඩයි

කොමලවට්ටන්
අවශ්‍ය ද්‍රව්‍ය :-
* තෙත හාල්පිටි කෝප්ප 2ක්
* කිතුල් පැණි කෝප්ප 1ක්
* බැදීමට අවශ්‍ය පමණ පොල්තෙල්
පැණි පොල් සකසා ගැනීමට
* පොල් කෝප්ප 2ක්
* පැණි කෝප්ප 1ක්
* එනසාල් ඇට 2ක්
* ලුණු ස්වල්පයක්
සාදාගන්නේ මෙහෙමයි
අපි මුලින්ම පැණි පොල් ටික සාදා ගනිමු. ඒ සඳහා පළමුවෙන්ම පැණි ටික බඳුනකට දමා ළිප තබා උණු කරගන්න. පැණි උණු වීගෙන එද්දී එයට එනසාල් ඇට ටික හොඳින් කුඩු කරලා එකතු කරන්න. අනතුරුව මේ පැණි මිශ්‍රණයට පොල් ටික එකතු කරන්න. පොල් ටික හොඳට මැලවුණාම ළිපෙන් බාගන්න. පැණි ගතිය වැඩිපුර තිබ්බට කමක් නෑ. දැන් මේ ටික හොඳින් නිවෙන්න තියලා පොඩි බෝල හදාගන්න.
ඉන්පසුව අපි කැවුම් මිශ්‍රණය සකසා ගනිමු. ඒ සඳහා හාල්පිටි ටික බඳුනකට දමා එයට කිතුල් පැණි ටික දාලා කලවම් කර ගන්න. පැණි මදි වගේ නම්, තව වතුර ස්වල්පයක් වාගේ මිශ්‍ර කරමින් තරමක් ගනකම් බැටර් එකක් හදාගන්න. ඉන්පසුව මේ මිශ්‍රණය පැය 4ක් පමණ වසා තියන්න.
දැන් අපිට කොමලවට්ටන් පිසගන්න පුළුවනි. ඒ සඳහා සුදුසු බඳුනක් ළිප තබා පොල්තෙල් අවශ්‍ය පමණට දමන්න. තෙල් රත්වෙනකොට සාදා පිපෙන්නට තැබූ කැවුම් මිශ්‍රණයෙන් ටිකක් දාලා ඒක මැදට සාදාගත් පොල්පැණි බෝලයක් තියන්න. ඉන්පසුව හැන්දෙන් වටෙන් තද කරන්න. මැද බෝලය වගේම වටෙනුත් තද කරන්න. ඊට පස්සෙ උඩින් පොල්පැණි බෝලය වැහෙන්න බැටර් එක දාලා කොණ්ඩ කැවුම් සාදන ආකාරයට තෙල් ගගහා කොමලවට්ටන් පිසගන්න.
උඳු වළලු
අවශ්‍ය ද්‍රව්‍ය :-
* හාල් පිටි කෝප්ප ග්‍රෑම් 100ක්
* උඳු ග්‍රෑම් 200ක්
* හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩියක්
* පොල් කිරි කෝප්ප 1 1/2ක්
* ලුණු ස්වල්පයක්
* කිතුල් පැණි මිලිලීටර් 500ක්
* හකුරු හෝ සීනි ග්‍රෑම් 100ක්
* බැදීමට අවශ්‍ය තරමට පොල්තෙල්
සාදන්නේ මෙහෙමයි
* උඳු ටික රැයක් පෙඟෙන්නට තබන්න.
* දැන් පොඟවා ගත් උඳු ටික පොල් කිරි සහ කෙසෙල් ගෙඩිය සමඟ ක්‍රීම් වන තුරු අඹරන්න. නැතිනම් බ්ලෙන්ඩර් කරන්න.
* පොල්කිරි ටිකින් ටික එකතු කරන්න.
* එයට ලුණු සහ හාල් පිටි මිශ්‍ර කරමින් ගනකමින් වැඩි මිශ්‍රණයක් සාදාගන්න.
* මේ මිශ්‍රණය වසා පැයක් පමණ තබන්න.
* දැන් බඳුනක් ගෙන එයට පැණි සමඟ හකුරු හෝ සීනි එකතුකර ළිප තබන්න.
* එයට වතුර ස්වල්පයක් ද එකතු කර සාමාන්‍ය පදමට පැණි උණු කරගන්න.
මේ පැණි බඳුන දිගටම මඳ ගින්දරේ තබමින් උඳු වළලු සකසා ගත යුතුයි.
* දැන් පයිපින් බෑග් එකක් ගෙන සකසා ගත් උඳු මිශ්‍රණයෙන් ටිකක් දමන්න.
* තෙල් බඳුනක් ළිප තබා එයට පයිපින් බෑග් එක ආධාරයෙන් රවුමට
උඳු වළලු මිරිකා රන්වන් පැහැයට බැදගන්න.
* අනතුරුව බැදගත් මේ වළලු සකසා ගත් උණු පැණි එකට දමා පැණි උරාගත් පසු ඉවත් කරගන්න.
මුකුළු කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
* රතු කැකුළු හාල් පිටි කිලෝ ග්‍රෑම් 01ක්
* සීනි ග්‍රෑම් 700ක්
* ගාගත් පොල් ගෙඩියක් (වියළි පොල් ගෙඩියක් නම් වඩාත් සුදුසුයි )
* එනසාල් ඇට කිහිපයක්
* බැදගත් තල ඇට (අවශ්‍යම නෑ. රස වැඩියි දැම්මොත්)
* රස පදමට ලුණු
* බැදීමට අවශ්‍ය පමණට පොල්තෙල්
මේ ආකාරයට සාදාගනිමු
හාල් පිටි, සීනි, ගාගත් පොල්, තළාගත් එනසාල්, රස අනුව ලුණු, බැදගත් තල ඇට මේ සියල්ලම බඳුනකට දමා හොඳින් කලවම් කර ගන්න. වතුර නොදමා පොල්වල තෙතමනයෙන් මෙය අනාගන්න. අනතුරුව මිශ්‍රණය අතින් තද කරන්න.
ඉන්පසුව සකසාගත් මේ මිශ්‍රණය පැය 6ක් පමණ තෙත රෙදි කෑල්ලකින් වසා පසෙකින් තබන්න.
අනතුරුව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කුඩා බෝල හෝ කැමති හැඩයකට කැවුම සාදා ගැඹුරු තෙලේ බැද ගන්න.
වර්තමානයේ වැඩිදෙනෙක් නොදන්නා මේ මුකුළු කැවුම් ඉතා පහසුවෙන් සැකසිය හැකි අතර, ඉතාමත් රසවත් කැවුම් වර්ගයකි.
උපදෙස්
සූපවේදී සර්වදර්ශනී අප්සරා