මස් වගේම රස-ගු ණ දැක්කත් කෙළ ගිලෙන බිම්මල්

අගෝස්තු 4, 2025

බිම්මල්, එහෙම නැත්නම් මෂ්රූම් කිවුවාම නොදන්න කෙනෙක් නැහැනේ. ඉතාම ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙන බිම්මල්වලින් ශරීරයට ලැබෙන වාසි බොහෝමයක් තියෙනවා. අඩු වියදමකින් පවුලේ සියලු දෙනාටම පරිභෝජනය කරන්නත් පුළුවන් නිසා ඔබත් බිම්මල් ආහාරයට ගැනීමට අවධානය යොමු කරන එක නම් හරිම වැදගත්.

බිම්මල් පිළිකා අවදානම අඩු කිරීමේ හැකියාව වගේම එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය සහ ප්‍රතිප්‍රදාහක ගුණය නිසාම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරයි. එමෙන්ම තරබාරුව, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග සඳහා ඇති අවදානම අඩු කිරීමේ හැකියාව ද බිම්මල් සතුව තියෙනවා.

 

කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

 

බිම්මල් පැකට් එකක්

තළාගත් ඉඟුරු, සුදුලූනු

රට ලූනු

අමුමිරිස්

රම්පේ, කරපිංචා

කුරුඳු

තක්කාලි

මිරිස්, මස්කරි තුනපහ

කහ ටිකක්

රස අනුව ලුණු

ගම්මිරිස්

පොල්තෙල්

වතුර / උකු පොල් කිරි ටිකක්

සුවඳ කරි පවුඩර් ටිකක්

 

සාදන ක්‍රමය

01. මුලින්ම හතු ටික හොඳින් ඉක්මනින් සෝදා වතුර ටික මිරිකලා ගන්න.

 

02. ඒ හතු ටික ටිකක් සිහින්ව ඉරා ගන්න. ලොකු ඝනකම කෑලි කොටලා ඉරා ගන්න.

 

03. දැන් වෙනම භාජනයක් ළිප තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වුණාම තළාගත් ඉඟුරු, සුදු ලූනු, රම්පේ, කරපිංචා, තක්කාලි, කුරුඳු ටික දාලා කලවම් කරන්න.

 

04. මිරිස් කුඩු, මස්කරි තුනපහ, කහ සහ ලුණු රස අනුව එක්කර හොඳින් තෙම්පරාදු කරන්න.

 

05. දැන් මේ ටික හොඳින් තෙම්පරාදු කර පසුව ඒකටම ඉරාගත් හතු ටිකද දමා හොඳින් කලවම් කර වසා අඩු ගින්දරේ තැම්බෙන්න හරින්න.

 

06. විනාඩි 3කට පසුව වතුර/පොල් කිරි ටිකක් දමා කලවම් කරන්න.

 

දැන් රස අනුව ලුණු, ගම්මිරිස් දමා කලවම් කර හින්දවා ළිපෙන් බා අවසානයේ සුවඳ කරි පවුඩර් ටිකක් ඉස ගන්න.

-----------------

මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

(මෙය 3-5 දෙනකු සඳහා ප්‍රමාණවත්)

 

අමු බිම්මල් ග්‍රෑම් 100ක්

රතුලූනු - ගෙඩි 03ක්

අමුමිරිස් කරල් 03ක්

ගොරකා කෑලි 01ක්

සිහින්ව ගා ගත් පොල් කෝප්ප 01ක්

රම්පේ, කරපිංචා, කහ කුඩු සහ ලුණු ස්වල්පයක්

වතුර කෝප්ප 1/2ක්

 

සාදන ක්‍රමය

01. පොල් හැර ඉතිරි ද්‍රව්‍ය භාජනයකට දමා මඳගින්නේ විනාඩි 2-3 පමණ තම්බා ගන්න.

02. සිහින්ව ගා ගත් පොල් මිශ්‍රකර විනාඩි 05ක් පමණ නැවත තම්බා ගන්න.

---------------

සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

 

බිම්මල් ග්‍රෑම් 500ක්

පාන් පිටි ග්‍රෑම් 100ක්

ලොකු ලූනු ග්‍රෑම් 200ක්

තක්කාලි ග්‍රෑම් 250ක්

සලාද කොළ ග්‍රෑම් 100ක්

මාගරින්/බටර් ග්‍රෑම් 100ක්

පාන් ගෙඩි 01ක්

කහ කුඩු, අබ, ගම්මිරිස් සහ ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

01. පාන් පිටිවලට ලුණු, කහ සහ ජලය එකතු කර උකු මිශ්‍රණයක් සාදා ගන්න.

02. හතු සෝදා කැබලිවලට කපා වැඩි ජලය මිරිකා ඉවත් කරන්න.

03. හතු කැබලි පාන් පිටි මිශ්‍රණයේ තවරා රන්වන් පාට වනතෙක් තෙලෙන් බැදගන්න. 04. අබ, ගම්මිරිස් සහ ලුණු මාගරින් සමඟ මිශ්‍ර කර ගන්න. එම මිශ්‍රණය සිහින්ව කපාගත් පාන් පෙතිවල තවරන්න.

05. පාන් පෙති දෙක අතරට සලාද කොළයක්, බැදගත් බිම්මල්, තක්කාලි සහ ලූනු පෙත්ත බැගින් තබන්න.

------

සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

(මෙය 6-8 දෙනෙකු සඳහා ප්‍රමාණවත්)

 

බිම්මල් ග්‍රෑම් 500ක්

තක්කාලි ගෙඩි 02ක්

ලොකු ලූනු ගෙඩි 02ක්

උකු පොල් කිරි - මේස හැඳි 02ක්

ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ දෙහි යුෂ ස්වල්පයක්

 

සාදන ක්‍රමය

01. බිම්මල් සෝදා විනාඩි 05ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.

02. හුමාලයෙන් තම්බාගත් බිම්මල් අඟලක් පමණ වනසේ කැබලිවලට කපා ගන්න.

03. තක්කාලි සහ ලොකු ලූනු පෙති වශයෙන් කපා ගන්න.

04. සලාදයක් පිළියෙල කරන අන්දමට මෙම ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කරන්න.