වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
සිංහල අලුත් අවුරුද්දට නැතිවම බැරි කැවුම්

කිරිබත්, කැවුම් සහ කොකිස් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සුබ කටයුත්තකදී හෝ උත්සව අවස්ථාවකදී අනිවාර්යයෙන් දක්නට ලැබෙන්නක්. ඒ අතරින් සිංහල අලුත් අවුරුදු කෑම මේසය හැඩ ගන්වන්නට මේවා අනිවාර්යයෙන්ම යොදා ගන්නේ ඈත අතීතයේ සිටය.
කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය.
අප කැවුම් වර්ග කිහිපයක් පිළිබඳව අසා තිබේ. ඒ අතර ලාංකේක ප්‍රජාව තුළ වඩාත්ම ජනප්‍රිය වන්නේ කොණ්ඩ කැවුම්ය. නාරං කැවුම්, තල කැවුම්, මුං කැවුම්, පැණි කැවුම් හා අතිරස කැවුම් පවුලේ තවත් සාමාජිකයන්ය. පැරණි ජනප්‍රවාදවලට අනුව කැවුම් වර්ග 18ක් පමණ තිබෙන බවට වාර්තා කියැවේ. ඉතින් ඉන් කැවුම් කිහිපයක් හරි පදමට හදන හැටි කියලා දෙන්නයි අද මේ සූදානම.
නාරං කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි ග්‍රෑම් 350ක්
හාල් පිටි ග්‍රෑම් 500ක්
ලුණු කුඩු තේ හැඳි 02ක්
ගාගත් පොල් ගෙඩි 01ක්
බැටර් එක
සාදා ගැනීම සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 01ක්
ලුණු කුඩු තේ හැඳි 01ක්
හාල් පිටි ග්‍රෑම් 250ක්
පොල් කිරි කෝප්ප 02ක්
පාන් පිටි ග්‍රෑම් 50ක්
සාදන ආකාරය
ගා ගත් පොල් සමඟ හාල් පිටි මිශ්‍ර කරන්න. පිට්ටු සෑදීමට සාදන ආකාරයට කුඩා කැට සෑදෙන පරිදි මෙම මිශ්‍රණය වතුර ස්වල්පය බැගින් එක් කරමින් කැට සාදාගන්න.
මෙම මිශ්‍රණය ස්ටීමරයක දමා මිනිත්තු 45ක් පමණ තම්බා ගන්න. එසේ තම්බා ගැනීමෙන් නාරං කැවුම් වැඩි දවසක් තබා ගැනීමට හැකි වෙනවා. හොඳින් තැම්බූ පිටි මිශ්‍රණය නැවතත් කුඩා කැට බවට පත් කර ගන්න.
සීනි ටිකක් ගෙන තාච්චියකට දමා මඳ ගින්දරේ හොඳින් රත්කර ගන්න. එය දුඹුරු පැහැ ගැන්වී බුබුළු දමන තත්ත්වයට පැමිණි පසු උණු වතුර ස්වල්පයක් එක්කර ගන්න. ඉතුරු සීනි ටිකද මෙයට දමා මිනිත්තු 05ක් පමණ හොඳින් පිසගන්න. කලින් සකසා ගත් පොල් මිශ්‍රණය පැණි එකට එකතු කරන්න.
හොඳින් පැණි පොල් මිශ්‍රණය සෑදෙන තෙක් මිනිත්තු 10 - 15 පිසගන්න. මිශ්‍රණය නියම පදමට ආවාට පසු බන්දේසියක් මත දමා ගන්න. අතින් බෝල සාදා ගැනීමට හැකිවන තෙක් එය නිවෙන්නට සලස්වන්න.
මෙම මිශ්‍රණයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ කැවුම් බෝල සාදාගන්න. කැවුම් බෝල සියල්ල සාදා ගත් පසු අපට බැටරය සාදා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා බිත්තර, පොල් කිරි, ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
හාල් පිටි මිශ්‍රණයද එකතු කරගනිමින් හොඳින් කලවම් කරන්න. පාන් පිටි ස්වල්පයක් ද මිශ්‍රණයට එකතු කරන්න. ඝන බැටර් එකක් සෑදෙන ආකාරයට සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.
සමහරු මෙම මිශ්‍රණය සඳහා කහ ස්වල්පයක් ද යොදා ගන්නවා. එයින් කැවුම්වලට අතිරේක ලස්සනක් එකතු වෙනවා. ඔබත් කැමැති නම් මිශ්‍රණයට කහ තේ හැන්දක් එකතු කරන්න.
තාච්චියකට තෙල් දමා තෙල් ටික හොඳින් රත් වුණාට පසු, සාදාගත් කැවුම්වල බැටර් එක තවරා ගැඹුරු තෙලේ බැදගන්න. කැවුම් රන්වන් පැහැයට බැදෙන විට එය වට්ටියකට හෝ ටිෂු එකකට බාගන්න. සියලුම කැවුම් මේ ආකාරයට බැදගන්න.
බකිනි කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
තෙත හාල් පිටි ග්‍රෑම් 500ක්
සීනි ග්‍රෑම් 500ක්
සව් ග්‍රෑම් 100ක්
සූදුරු ඇට ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
බැද ගැනීමට තෙල්
සාදන ක්‍රමය
සීනි ග්‍රෑම් 500ට වතුර කෝප්ප 1/4ක් එකතු කොට හැඳි ගාමින් පැණි සාදාගන්න. බැදගත් සූදුරු සහ ලුණු ස්වල්පයක් සකසා ගත් පැණි මිශ්‍රණයට එකතු කරන්න. පැණි මිශ්‍රණය ළිපේ තිබියදීම තෙත හාල් පිටි ටික එයට එකතු කරන්න. ඉන්පසු හොඳින් කලවම් කරගන්න. පසුව භාජනයක් ගෙන එයට පොල්තෙල් ස්වල්පයක් තවරා ගන්න. ඒ භාජනයට පිටි මිශ්‍රණය දමා ගන්න. පිටි මිශ්‍රණයෙන් ඔබට කැමති ප්‍රමාණයට බෝල සාදාගන්න. පසුව පිටි බෝල සව් මතට දමා හොඳින් සව් ඇට දවටා ගන්න. ඉන්පසු තාච්චියක් ළිප තබා එයට තෙල් එකතු කොට රත් වූ තෙලට කැවුම් දමා මඳ ගින්දරේ බැදගන්න.