අඹ කැපීමත් කලාවක්.. ඔබ එය දන්නවාද?

නොවැම්බර් 3, 2021

 

ආහාර සැකසීමේ කලාව ප්‍රගුණ කිරීම කාන්තා පිරිමි කාහට වුවද තම ජීවිතයට වැඩි වටිනාකමක් එක් කරන්නකි. කෙසේ හෝ යමක් උයා පිහා ගැනීම ඉවීමේ කලාව නොවේ.

ඉවීමේ කලාව යනු ආහාරයේ රසය, ගුණය, වර්ණය, පෙනුම, සුවඳ රැකෙන අයුරින් ආහාර සකස් කිරීමයි. අපි ඔබට දැනුම ගෙන ආවේ එම කලාවේ යම් යම් ඉසව් පිළිබඳ නිසි දැනුමක් ඔබට ලබා දීමට යි.

අද අපි ඒ පිළිබඳ තව දුරටත් කතා බහ කරමු.

දැන් ආයෙත් අඹ වාරයක් එන්නට සූදානම් වන ලකුණු අඹ ගස් දෙස බැලීමේ දී පෙනී යන්නකි. වාරයකට ඵල දෙන අඹ, ඉතාමත් රසවත් පෝෂ්‍ය ගුණයෙන් ඉහළ පලතුරකි. එහෙත් අපේ බොහෝ දෙනෙක් ඉදෙන්නට පෙර, පැසුණු අඹ ව්‍යාංජනයක් ලෙස සකසා රස බලන්නත් දක්වන්නේ වැඩි කැමැත්තක්. අඹ වාරයට අඹ ව්‍යාංජනයක් සැකසෙන්නේ නැති නිවෙසක් නොමැති වන තරමට ම අඹ ව්‍යාංජනයට අපේ ඇත්තන්ගේ කැමැත්ත අධිකය.

අද අපි, අඹ ආහාරය සඳහා සැකසීමේ දී ඒවා කපන ආකාරය පිළිබඳ දැනුම්වත් වෙමු.

අඹ ව්‍යාංජනය ඉතාමත් රසවත්. බත් පත රසවත් කිරීම සඳහා මෙන්ම පාන්, රොටි ආදී ආහාර වර්ග රස විඳින්නත් අඹ ව්‍යාංජනය කදිමය. ඇඹුල් රසයෙන් යුතු වුවද මෙහි ඇත්තේ දිව පිනා යන ඉතාමත් ඉමිහිරි රසයකි.

* අඹ ව්‍යාංජනය සකසන විට අඹ ගෙඩිය හතරට පලා හැදීමට ඇතැම් අය පුරුදු වී සිටිය ද අඹ ව්‍යාංජනයක් සඳහා අඹ කපා ගත යුත්තේ තීරු ආකාරයටයි. එවිට අඹ හොඳින් තැම්බෙන අතර ලුණු මිරිස් ද හොඳින් අඹ කැබැලිවල මිශ්‍ර වේ. එමෙන්ම අඹ ව්‍යාංජනය ආහාරයට ගැනීමේ දී ද මෙලෙස කපා ගැනීම අඹ බත් පතට බෙදීමේ දී මෙන්ම ආහාරයට ගැනීමේ දී ද පහසුවක් ඇති කරයි.

කොතරම් රස වුවත් අඹ, වසරේ එක් කාලයක දී පමණක් ඇති පලතුරකි. මේ නිසා වාරයේ දී වැඩිපුර ඇති අඹ වේලා කල් තබාගෙන පසුව රසවත් අඹ ව්‍යාංජන සැකසීම අපේ පැරැන්නන්ගේ සිරිත විය. වේලීම සඳහා ද යොදා ගන්නේ පැසුණු අඹ ගෙඩිය. ලුණු දමා හොඳින් වේලා ගැනීමෙන් විජලනය වන අඹ මාස ගණනක් වුවද කල් තබා ගත හැකියි.

මෙලෙසින් අඹ ලුණු දමා වේලා ගැනීම අද බොහෝ දෙනෙක් නොකළත් එලෙසින් ලුණු දමා වේලා ගන්නා අඹ ව්‍යාංජන ලෙසින් සැකසීමේ දී ඇත්තේ සාමාන්‍ය අඹ ව්‍යාංජනයකටත් වඩා වෙනස් වූ රසයකි. එමෙන්ම මෙලෙසින් ලුණු දමා වේලා ගන්නා අඹ, වෙනත් ඇඹුල් දමා සැකසිය යුතු ව්‍යාංජනයකට ඇඹුල් රසය දැනවීමට ද මිශ්‍ර කළ හැකිය. කරවල තෙල් දැමීමේ දී වුවද වියළි අඹ කැබැල්ලක් එයට මිශ්‍ර කිරීමෙන් එයට ලැබෙන රසය ගැන එය රස විඳ අත්දැකීමෙන්ම දැනගත යුත්තකි.

* මෙලෙසින් අඹ ලුණු දමා වියළා ගැනීමට නම් අඹ ගෙඩිය ඇටය පිටින්ම සිරස් අතට දෙකට පලා පසුව හරස් අතට කැපිය යුතුය. මෙලෙස කැපීමේ දී එක් අඹ ගෙඩියකින් අඹ කැබැලි හතරක් ලැබේ. මෙසේ කපා ගන්නා අඹවල තවත් කුඩා කැපුම් ගැඹුරට කැපීමෙන් (වෙන් නොවන සේ) අඹ කැබැලිවලට හොඳින් ලුණු අල්ලා හොඳින් වියළීම සිදුවේ. මෙසේ කපාගන්නා අඹ කැබැලිවලට ලුණු දමා අව්වේ හොඳින් වියළා දුමේ දැමීම පෙර සිරිත වුවද දැන් අපිට අව්වේ හොඳින් වියළා ගත් අඹ හොඳින් අසුරා තැබීමෙන් කාලයක් තබා ගත හැකිය.

වැටකොළු කිරි රසයෙන් අනූන සිරුරට සිසිලසක් ගෙන දෙන ආහාරයකි. වැටකොළු කිරට මෙන්ම තෙලට සැකසීමට හැකියාව ඇත. කපා ගැනීමට පළමුව වැටකොළු පොත්ත ඉවත් කළ යුතුය.

* මෙය කිරට සැකසූ විට කිරි රසයෙන් අනූන එළවළුවකි. එහෙත් වැටකොළු ආහාරයට බොහෝ දෙනෙක් අකැමැති වන්නේ එහි ඇති දිය ස්වභාව නිසයි. නමුත් දක්ෂ ගෘහණියකට ඉතාමත් රසවත් ලෙස වැටකොළු ව්‍යාංජනය සැකසිය හැකියි. ඒ සඳහා මිටිකිරි දමා සැකසීම වඩාත් සුදුසු ය. කිරට සෑදීම සඳහා වැටකොළු කපා ගත යුත්තේ වැටකොළු කරල දෙකට පලා එය සිහින් පෙති ආකාරයට හරහට ඇදට කැපීමෙනි.

* වැටකොළු තෙල් දමා සකසන අය අඩු වුවත් තෙල් දමා සැකසීමට ද වැටකොළු සුදුසුය. වැටකොළු තෙල් දැමීම සඳහා කැපිය යුත්තේ දෙකට පලා ගත් වැටකොළු සිහින් පෙති ආකාරයට සිටින ලෙසයි. දිය ගතියක් ස්වභාවයෙන් ම ඇති නිසා වැටකොළු තැම්බීම ගැන එතරම් සිතිය යුතු නැත.