කාලයේ තාලයට ගත හැකි පෝෂණීය ආහාර

නොවැම්බර් 10, 2021

 

කෝවිඩ් වසංගතය නිසා අපට බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදු වී තිබේ. වෙනදාටත් වඩා පෝෂ්‍ය ගුණයෙන් වැඩි ආහාර සඳහා මූලිකත්වය දීමට ද සිදුව ඇත. ඒ, සිරුරට වැඩි ප්‍රතිශක්තියක් ලබා ගැනීමට අවශ්‍යව ඇති නිසයි. අනෙක් අතින් වෙනදාට වඩා ආහාර ද්‍රව්‍ය හිඟ වෙමින් පවතින, ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහළ අගයක පවතින අවධියකි. මේ නිසා වැඩියෙන් පෝෂ්‍යමය ගුණයක් සිරුරට ලබා ගැනීම අපට තරමක අභියෝගයකි.

අද අපි ඔබට මෙම අතිරේකය මඟින් පහසුවෙන් සොයා ගත හැකි ආහාර ද්‍රව්‍ය මඟින් සකසා ගත හැකි කෑම වට්ටෝරු කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු. අපට අරපිරිමැස්මෙන් ජීවිතයට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙය ලෝකයම මුහුණ දී ඇති ව්‍යවසනයක් වීම නිසයි. ලොවම යථා තත්ත්වයට පත්වන තෙක් අපට තරමක අසීරු කාලයක් ගෙවීමට සිදුව ඇත. මේ නිසා අරපිරිමැස්මෙන් යුතුව වුවද වැඩි පෝෂණයක් සිරුරට ලබා ගත හැකි ආහාර, මේ කාලයට ගැළපෙන කෑම වට්ටෝරු කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු.

සමාජ මාධ්‍ය ද මේ කාලය තුළ වැඩි ක්‍රියාකාරීත්වයකින් යුතු වූ අතර මුහුණු පොතේ විවිධ වූ මිතුරු සමාගම් ද ඇති විය. කනවනම් කමු මිතුරු සමාජය ඉන් වැඩි සමාජ මෙහෙවරක් සිදු කළ, වැඩි සාමාජික සංඛ්‍යාවක් සිටින මිතුරු සමාජයකි. රටවල් 80 කට වඩා ප්‍රමාණයක විසිර සිටින දේශීයත්වය අගය කරන මිතුරු හවුලකි. වැඩි වශයෙන් දේශීය දෙයට මුල් තැන දෙන මෙහි පළ වූ මේ කාලයට ගැළපෙන ආහාර වට්ටෝරු කිහිපයක් අපි ඔබ වෙත මෙලෙසින් ගෙන එන්නෙමු.

මේ ආහාර වට්ටෝරුවලින් ඔබේ පවුලේ පෝෂණයට පහසුවෙන් දායක විය හැකි නිසාම මේ ආහාර වට්ටෝරුවලින් කිහිපයක් හෝ සැකසීමට ඔබත් උනන්දු වන බව අපට විශ්වාසයි.

 

විශේෂ ස්තුතිය

කනවනම් කමු සමූහයේ ගෘෘප් ඇඩ්මින්

අමල් අත්තනායකට

 

 

************************

නිල් කටරොළු කැඳ

පෝෂ්‍ය ගුණයෙන් වඩා ඉහළ බොහෝ ආහාර ද්‍රව්‍ය අප අවට පරිසරයේ ම ඇත. එහෙත් අප බොහෝ දෙනෙක් ඒ පිළිබඳ දැනුවත් නැත. කටරොළු ශාකය ඉතාමත් වැඩි පෝෂ්‍ය ගුණයකින් යුතු වූවකි.

මේ වන විට නිල් කටරොළු මල් සඳහා ලොව පුරාම විශාල ඉල්ලුමක් පවතින්නේ ද එබැවිනි. ඔබේ වත්තේ ඇති නිල් කටරොළු මල් උපයෝගී කරගෙන රසයෙන් හා ගුණයෙන් පිරි කැඳක් සාදා ගනිමු. මෙහි විශේෂත්වය වන්නේ මේ කැඳ වීදුරුව සිත් ඇදගන්නා වර්ණයකින් ද යුතු වීමයි.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

නිල් කටරොළු යුෂ කෝප්ප 1/2ක්

කැකුළු හාල් කෝප්පයක්

මිටිකිරි කෝප්පයක්

දියකිරි කෝප්ප 4ක්

සුදු ලූනු බික් 4ක් පමණ

සිහින්ව ලියා ගත්

රතු ලූනු ගෙඩි 3ක් පමණ

ලුණු ස්වල්පයක්

 

කැඳ එක මෙලෙසින් සාදාගනිමු:

පළමුව හාල් හොඳින් සෝදා ගන්න. එයට දියකිරි කෝප්ප 4 දමා දියකිරෙන් තැම්බෙන්නට ළිප තබන්න. බත තැම්බුණ පසුව එයට සිහින්ව ලියා ගත් රතු ලූනු සහ සුදු ලූනු දමා තවත් මඳ වේලාවක් බත තැම්බෙන්නට හරින්න. ඉන්පසුව පොල්කටු හැන්දකින් බත හොඳින් පොඩිකර එයට කලින් සාදා ගත් කටරොළු යුෂ එකතු කරන්න.

ඉන්පසුව එයට මිටිකිරි කෝප්පය ද එකතුකර හොඳින් උතුරවා ළිපෙන් ඉවතට ගන්න. දැන් රස අනුව ලුණු ස්වල්පයක් එයට එකතු කරන්න.

 

¾නිල් කටරොළු බීමක් ලෙස සහ කැඳ ලෙස සකසා නිතර පානය මඟින් රුධිරගත සීනි පාලනය කරමින් ප්‍රතිඔක්සිකාරක හැකියාව ඉහළ නංවයි. පිළිකා සෛල වර්ධනය අඩාල කරයි. මානසික ආතතිය දුරුකොට මනසට සැහැල්ලු බවක් ද ලබා දීමට සමත් ය.

 

 

ඉදිරිපත් කිරීම - කුසුම් කන්කානම්ගේ

**********************

මුරුංගා කොළ සමඟ කොස් ඇට තෙලට

මේ වනවිට මුරුංගා ගසේ වැදගත්කම ගැන වැඩි දෙනෙක් කතා බහ කරන අවධියක්. බොහෝ දෙනා මුරුංගාවලින් විශේෂිත වූ ආහාර වට්ටෝරු සොයමින් සිටිනවා.

මුරුංගාවල ඇති සුවිශේෂී වූ පෝෂණ ගුණය නිසා ම ඇතැම් අය මුරුංගා කොළ කුඩු ආහාරවලට මිශ්‍ර කරන්නත් පුරුදු වෙලා.

ඒත් අපේ අම්මලා අත්තම්මලා මුරුංගා ගසෙන් ප්‍රයෝජන ලබා ගත්තේ ඒ ගැන ඔවුන් තුළ තිබූ පාරම්පරික සහ ප්‍රායෝගික දැනුම මඟිනි. මේ එවැනි වූ මුරුංගා කොලවලින් සැකසූ රසවත් ආහාර වට්ටෝරුවකි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

කොස් ඇට කිහිපයක්

මුරුංගා කොළ

තෙල් ස්වල්පයක්

සුදු ලූනු බික් 1-2ක්

ඉඟුරු කුඩා කැබැල්ලක්

රතු ලූනු ගෙඩි කිහිපයක්

උම්බලකඩ කැබැලි ස්වල්පයක්

අමු මිරිස් කරලක් දෙකක්

කෑලි මිරිස් අවශ්‍ය පමණ

අබ ස්වල්පයක්

කහ ස්වල්පයක්

ලුණු රස අනුව

දෙහි යුෂ ස්වල්පයක්

එය මෙලෙසින් සාදමු:

පළමුවෙන් ම කොස් ඇට තම්බා ගන්න. බඳුනක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්කරන්න. දැන් තලාගත් හෝ අඹරා ගත් ඉඟුරු, සුදුලූනු තෙලට දමන්න. ලියා ගත් රතු ලූනු, උම්බලකඩ, කපා ගත් අමු මිරිස්, කෑලි මිරිස්, අබ ආදිය එයට දමා බැදෙන්නට හරින්න. එය බැදීගෙන එනවිට මුරුංගා කොළ දමා කළවම්කර ගන්න.

කලින් තම්බාගත් කොස් ඇටවල පොතු ඉවත්කර මිශ්‍රණයට එකතු කරන්න. දැන් එයට කහ ස්වල්පයක් හා රස අනුව ලුණු එකතුකර හොඳින් කළවම් කරන්න. ළිපෙන් බාගත් පසුව දෙහි යුෂ එකතු කරන්න. අවශ්‍ය නම් තක්කාලි ගෙඩියක් කපා එයද එකතු කරගත හැකියි. රස ගුණ පිරි මේ කෑම වට්ටෝරුව ඔබේ පවුලේ පෝෂණය ඉහළ දමාවි.

 

ඉදිරිපත් කිරීම - සිතාරි පැටිකිරිගේ

***************

අලිපේර ඇටයෙන් රසවත් රොටියක්

අලිපේර, රසයෙන් වගේම ගුණයෙන් ද ඉතාමත් ඉහළ පලතුරක්. බොහෝ දෙනෙක් කෑමට ආසා කරන අලිපේර අවුරුද්දේ එක් කාලයක සුලබව දැකිය හැකි පලතුරකි.

මෙතරම් කලක් ඔබ අලිපේර ගෙඩියේ මදය ආහාරයට ගෙන එහි ඇති ඇටය ඉවත දැමුවද අද අපි පවසන්නේ අලිපේර ඇටයෙන් ඔබට රොටී හා හැලප සාදා ගත හැකි බවයි. දිනෙන් දින ආහාරයට ගන්නා පිටි වර්ග මිල ඉහළ යන නිසා මෙවැනි දේ අත්හදා බැලීම වඩාත් සුදුසු වේවි.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

අලිපේර ලොකු ඇටයක්

පාන්පිටි

ගාගත් පොල්

ලුණු ස්වල්පයක්

බටර් හෝ මාගරින් ස්වල්පයක්

 

දැන් අපි රොටී හදමු:

අලිපේර ඇටය ග්‍රේටරයකින් සිහින්ව ගා ගන්න. ගා ගත් අලිපේර ඇටය කපු රෙදි කැබැල්ලකට දමා පොට්ටනියක් ලෙස බැඳගන්න. පසුව එම පොට්ටනිය වතුර බඳුනක බහා දිනක් තබන්න. දෙවෙනි දිනයේ මේ බඳුනේ ඇති වතුර ඉවත්කර එයට අලුත් වතුර දමා නැවතත් දිනයක් තිබෙන්නට හරින්න.

දින දෙකක් වතුරේ තිබූ අලිපේරඇට පොට්ටනිය ජල කරාමයට අල්ලා සෝදාගෙන වතුර මිරිකා ගන්න. දැන් එම පොට්ටනිය ලිහා එහි ඇති අලිපේරඇට කොටස් බඳුනකට දමන්න. දැන් එම බඳුනට ම පොල්, පිටි, බටර් හා ලුණු ස්වල්පයක් දමා අවශ්‍ය පමණට ජලය එක්කර හොඳින් අනාගන්න. මෙම මිශ්‍රණයෙන් බෝල සාදා ඒවා හොඳින් තුනීකර සාමාන්‍ය ආකාරයට ම දැන් රොටි සාදා ගන්න.

 

ඉදිරිපත් කිරීම - ශානිකා දිල්රුක්ෂි

*******************

ගොඩ හොද්දක රස බලමු

ගොඩ හොද්ද ලෙස හැඳින්වෙන්නේ ළිපේ නොතියා හදන හොද්දකි. ළිපේ නොතියා හදන හොද්දක් වන නිසා මෙය ඔබට වැඩි පහසුවක් වගේම ගෑස්වලට යන මුදලත් ඉතිරිකර දේවි.

පිට්ටු ආහාරයට ගැනීමට වඩාත් සුදුසු මේ ගොඩහෝද්ද වෙනත් ආහාර වර්ග සමඟ වුවද රස විඳ බැලීමට ඔබට පුළුවන්.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

මිටිකිරි කෝප්ප දෙකක්

රතුලූනු ගෙඩි 2-3ක්

අමු මිරිස් කරලක් දෙකක්

උම්බලකඩ ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

වියළි මිරිස් කරලක් දෙකක්

ලුණු රස අනුව

 

දැන් අපි හොද්ද හදමු:

මේ සඳහා පළමුවෙන් ම වියළි මිරිස් කරල් පුළුස්සා ගත යුතුයි. මිරිස් කරල් පුළුස්සා ගැනීමේ දී එය මඳක් කළු ගැසෙන සේ පුළුස්සා ගැනීම ප්‍රමාණවත් ය.

දැන් රතු ලූනු හා අමු මිරිස් ඉතා සිහින්ව ලියා ගන්න. රතු ලූනු, කපා ගත් මිරිස්, උම්බලකඩ, ලුණු, දෙහි යුෂ යන සියල්ල මැටි බඳුනකට දමා හොඳින් පොඩිකර ගන්න.

ඉන්පසුව මෙම මිශ්‍රණයට පොල්කිරි ටික දමා හොඳින් කලවම්කරන්න. අවසානයේ දී පුළුස්සා ගන්නා ලද මිරිස් කරල් අතින් පොඩි කරමින් හොද්දට එකතු කරන්න. දැන් නැවතත් හොඳින් හැඳිගාගත් හොද්ද ඔබේ කැමැත්ත පරිදි ආහාරයට ගත හැකියි.

 

ඉදිරිපත් කිරීම - රේඛා මදුවන්ති සුන්දරගෙදර

 

********************

කිරි අල මැල්ලුම

එළවළු මිල ගණන් වැඩි වී ඇති විටෙක අපි බොහෝ විට ආදේශක ලෙසින් දේශීය අල වර්ග ආහාරයට එකතුකර ගැනීමට උත්සාහ දරයි. කිරි අල ඉතාමත් පහසුවෙන් වගාකරගත හැකි මෙන්ම අඩු මුදලකට පොළෙන් ලබා ගත හැකි අල වර්ගයකි.

කිරිඅල කිරට සකසා ආහාරයට ගැනීම බොහෝ දෙනෙක් සිදු කළත් මැල්ලුම් ලෙස සකසා රස බලා නැතිව ඇති. වෙනස් රසයකට කිරි අල මෙලෙසින් සකසා ඔබට රස විඳිය හැකියි.

මේ සඳහා අවශ්‍ය වන්නේ: 

කිරි අල කිහිපයක්

පොල් මිටක් පමණ

කරපිංචා ඉත්තක්

රතු ලූනු ගෙඩි කිහිපයක්

නයි මිරිස් (නැතිනම් අමුමිරිස් ගත හැකියි)

උම්බලකඩ ස්වල්පයක්

කුඩා සුදු ලූනු බිකක්

කහ කුඩු ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

පොල් තෙල් ස්වල්පයක්

අබ ඇට ස්වල්පයක්

වියළි මිරිස් කරලක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

 

දැන් මැල්ලුම හදමු:

මුලින් ම පොතු ඉවත්කර කිරි අල හොඳින් සෝදා ගන්න. ඉන්පසුව එම අල කුඩා කොටු ලෙස කපා ගන්න. දැන් මෙම අල කැබැලි ටික ලුණු ස්වල්පයක් එක්කළ වතුර බඳුනකට දමා ළිපේ තබා තම්බා ගන්න. මෙය බෙරි නොවන ලෙස තම්බා ගැනීමට සිහි තබා ගන්න. තැම්බුණ කිරි අල කැබැලිවල වතුර පෙරා පසෙකින් තබන්න.

දැන් ගාගත් පොල් මිටට කරපිංචා, රතු ලූනු, අමුමිරිස් /නයි මිරිස්, උම්බලකඩ, සුදු ලූනු හා කහ ස්වල්පයක් සමඟ ලුණු ද මිශ්‍රකොට හොඳින් අඹරාගන්න. දැන් තම්බාගත් කිරි අලවලට මෙම මිශ්‍රණය දමා කලවම් කරගන්න.

තාච්චියක් ළිප තබා එයට තෙල් තේ හැඳි දෙකක් පමණ දමා රත්වන්නට තබන්න. තෙල් රත්වන විට එයට අබ ඇට ස්වල්පයක් දමා පුපුරවා ගන්න. වියළි මිරිස් කරල ද කුඩා කැබැලිවලට කපා මෙයට එකතු කරගන්න. දැන් කලින් සකසා ගත් කිරි අල මැල්ලුම් මිශ්‍රණය තාච්චියට දමා මඳක් තෙම්පරාදු කරගන්න. මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද එකතු කරගන්න.

මේ රසවත් කිරි අල මැල්ලුම ඔබට කිරි අලවලට ඇති කැමැත්ත වැඩි කරනවාට සැක නැහැ.

ඉදිරිපත් කිරීම - නයනප්‍රභා ජයසිංහ

******************

මාළු පොල්කිරි තියල්

අප හැම කෙනෙක්ම පාහේ මාළු ඇඹුල් තියල් රස බලා තිබෙනවා. ඒත් මාළු පොල්කිරි තියල් රස විඳි පිරිස නම් ඉතාමත් අඩු බවට සැක නැහැ.

අපේ අතීත කෑම වට්ටෝරු අතර ඇති රසවත් කෑම වට්ටෝරුවක් ලෙස මාළු පොල්කිරි තියල් හැඳින්විය හැකියි.

වෙනස් රසයකට රසවිඳිය හැකි මාළු පොල්කිරි තියල් හැමදාම මාළු කන රසයට වෙනසක් එක්කරාවි.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

මාළු කිලෝ එකක් (කෙලවල්ලා)

ලොකු ලූනු ග්‍රෑම් 100ක්

ඉඟුරු ග්‍රෑම් 20ක් පමණ

ලොකු සුදු ලූනු බික් 5-6ක් පමණ

අමු මිරිස් ග්‍රෑම් 30ක් පමණ

ලොකු තක්කාලි ගෙඩි 2ක් පමණ

පොල්කිරි කෝප්ප එකහමාරක්

දෙකක් පමණ

කහ තේහැන්දක් පමණ

ගම්මිරිස් තේහැඳි 2ක්

කරපිංචා ඉති දෙක තුනක්

ලුණු රස අනුව

කුරුඳු පොතු කැබැල්ලක්

දෙහි ඇඹුල්

පොල් තෙල්

දැන් අපි මාළු තියල් එක හදමු:

මුලින්ම ඉඟුරු, සුදු ලූනු එකට අඹරා තලපයක් සාදා ගන්න. මැටි බඳුනක් ළිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් දමා රත්වන්නට තබන්න. රත් වූ තෙලට සුදු ලූනු පේස්ට් එක දමා රන්වන් පැහැ වනතෙක් මඳ ගින්නේ බැදෙන්නට හරින්න. එයට ම කුරුඳු පොතු කැබැල්ල ද එකතු කරන්න. දැන් පිළිවෙළින් කරපිංචා, කපා ගත් ලූනු ද එයට දමා බැදෙන්නට හරින්න. තක්කාලි ගෙඩියක් ද කපා මෙයට එකතුකර තෙලෙන් තැම්බෙන්නට හරින්න. දැන් මෙයින් මිහිරි සුවඳක් නිකුත් වන අතර එවිට එයට වතුර එකතු කරන්න. දැන් මෙයට කහ කුඩු හා ලුණු එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණය උතුරන විට කපා ගත් මාළු ටික කැබැල්ලෙන් කැබැල්ල බඳුනේ අතුරන්න. දැන් මාළු ටික හොඳින් තැම්බෙන්නට හරින්න. උතුරා හොද්ද උකුවේගෙන එනවිට එයට පොල්කිරි එකතු කරන්න. ගම්මිරිස් කුඩු ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. වෙන් නොවන සේ දෙකට පලාගත් අමු මිරිස්, කපා ගත් ඉතිරි තක්කාලි ගෙඩිය ද මාළු මිශ්‍රණයට දමා කලවම් කරන්න. දැන් හොදි හිඳෙන තෙක් මාළු එක උයා ගන්න. ළිපෙන් ඉවතට ගත් පොල්කිරි තියල් එකට දෙහි යුෂ එකතු කරගන්න.

මේ පොල්කිරි තියල් එක සඳහා කුම්බලා හෝ කහ පරා මාළු ද භාවිත කළ හැකියි. කුඩා මාළු කූරිවලින් ද මෙය සකසා ගත හැකියි. ඉතාමත් රසවත් නිසා අමුත්තන්ට පිළිගැන්වීමටත් වෙනස් රසයක් සොයන පවුලේ අයටත් මෙය වඩාත් සුදුසු වේවි.

 

ඉදිරිපත් කිරීම - රුක්මල් ගමගේ

**************************

අළුකෙසෙල් සම්බෝලය

සිරුරේ දාහය නිවාලන ආහාරයක් ලෙස අළුකෙසෙල් හඳුන්වන්න පුළුවන්. අළුකෙසෙල් කැනක් තමන්ගේ වත්තේ ම හැදුණු විටෙක නිතර නිතර අළුකෙසෙල් ආහාරයට ගන්න සිදු වීම සාමාන්‍යයි.

එවැනි විටෙක එකම ආකාරයෙන් අළුකෙසෙල් කෑමට පවුලේ අයට අකැමැත්තක් ඇති වන බව ඔබත් දන්නවා ඇති. අද අපි ඔබට ඉදිරිපත් කරන මේ අළුකෙසෙල් සම්බෝලය ඔබේ බත් පතට වෙනස්ම රසයක් ගෙන දීමට සමත් වේවි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ:

අළුකෙසෙල් ග්‍රෑම් 250ක් පමණ

ගම්මිරිස් කුඩු

කහ කුඩු

ලුණු

රතු ලූනු හෝ බී ලූනු

කෑලි මිරිස්

දෙහි යුෂ

පොල්තෙල්

දැන් අපි සම්බෝලය හදමු:

පළමුවෙන් ම අළුකෙසෙල්වල පොතු ඉවත්කර ග්‍රේට් කරගන්න. පසුව ග්‍රේට් කරගත් අළුකෙසෙල් ටික ලුණු මිශ්‍ර ජලයේ දමා සෝදා හොඳින් මිරිකා ගන්න. දැන් එයට කහ ස්වල්පයක් හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් සමඟ ලුණු ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

පසුව ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බදින්න. පසුව එයට සිහින්ව ලියා ගත් ලූනු, කෑලි මිරිස් දෙහි යුෂ දමා හොඳින් කලවම් කරගන්න. ලුණු රස බලා මදිනම් පමණක් ලුණු ස්වල්පයක් රස අනුව එකතු කරගන්න.

ආහාර ගැනීමට ආසන්න වේලාවක දී සම්බෝලය සාදා ගැනීමෙන් ක්‍රිස්පි ගතියක් තිබෙන අතර ඉන් රසවත් බව ද වැඩි වේ.

 

ඉදිරිපත් කිරීම - චන්දිමා සමරසේකර

***********************

වෙනස් ම කෑමක් තක්කඩි

තක්කඩි කිව්වාම අපේ මතකයට නම් එන්නේ කපටියකු පිළිබඳ මතකයයි. ඒත් ඒ නමින් කෑමක් තිබෙන බව අසා තිබෙන අයත් ඉන්නට පුළුවන්.

ඒ වගේම මේ කෑම වර්ගය දැකීම හෝ රසවිඳීම කෙසේ වෙතත් නමින් හෝ අසා නැති පිරිස ඊට වඩා බොහොමයක් වැඩි බව නම් සිකුරුයි. තක්කඩි හදලා රස බලන්න දැන් ඔබටත් පුළුවන්.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

රොටී සෑදීමට ඔබ ගන්නා

පිටි වර්ගයක්

ගා ගත් පොල්

පරිප්පු

සුදු ලූනු

ලූනු

කරපිංචා, රම්පෙ

කුරුඳු පොතු කැබැල්ලක්

පොල් කිරි

කහ කුඩු

තුනපහ කුඩු

මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

ලුණු

මේවායෙහි ප්‍රමාණ ඔබගේ කැමැත්ත පරිදි සකසා ගත හැකියි.

දැන් තක්කඩි හදමු:

පළමුවෙන් ම පරිප්පු ටිකක් පෙඟෙන්නට දමන්න. ඔබේ පවුලේ අයට පරිප්පු කරියක් සාදන ප්‍රමාණයට පරිප්පු ගැනීම සෑහේ.

ඉන්පසුව සාමාන්‍යයෙන් අපි පොල් රොටි හදන ආකාරයට තමන් ගත් පිටි වර්ගයට (පාන් පිටි/ආටා පිටි/ හාල් පිටි ආදී පිටි වර්ගයක්) ගා ගත් පොල් මිශ්‍රකර ලුණු ස්වල්පයක් දමා වතුර දමා රොටි සාදන ආකාරයට පිටි මෝලියක් අනා ගන්න. දැන් ඒ පිටි මෝලියෙන් ජිල් බෝල ප්‍රමාණයට කුඩා පිටි බෝල සාදා ගන්න.

දැන් පරිප්පු ටික සෝදා සාමාන්‍යයෙන් අපි පරිප්පු කරියක් සකසන ආකාරයට රම්පෙ, කරපිංචා, කුරුඳු, සුදු ලූනු , ලූනු, ආදිය දමන්න. කහ, තුනපහ, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු ද ස්වල්පය බැගින් දමා පරිප්පු බඳුන ළිපේ තබා උයාගන්න. පරිප්පු තැම්බීගෙන එන විට එයට පොල්කිරි දමා ඒ සමඟම කලින් සකසා ගත් කුඩා පිටි බෝල ද පරිප්පු එකට දමා තැම්බෙන්නට හරින්න. මෙය මඳ ගින්නේ තම්බා ගත යුතුයි. මෙය හොඳින් තැම්බුණාට පසුව කරිය උකු වෙද්දී ළිපෙන් ඉවත් කරගන්න.

අවශ්‍ය නම් පරිප්පු කරියක් තෙම්පරාදු කරගන්නා ආකාරයට ම මෙය ද තෙම්පරාදු කරගත හැකියි. එසේ නොමැතිව වුවද කෑමට ගත හැකියි. මෙය වෙනස්ම රසයක් ඔබේ දිවගට කැන්දාවි.

 

ඉදිරිපත් කිරීම - නිරෝෂි දොලමුල්ල

 

**********************

බණ්ඩක්කා සම්බෝල

බණ්ඩක්කා රසවත් මෙන්ම ගුණවත් ආහාරයක්. සිසිල් ගුණයෙන් යුතු බණ්ඩක්කා බොහෝ රෝගවලට ගුණ දෙන එළවළුවක්.

වෙනස් ආකාර කිහිපයකට ම සෑදිය හැකි බණ්ඩක්කා රස දන්නා අය නිරන්තරයෙන් ම ආහාරයට එක්කර ගන්නා එළවළුවකි. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ රසවත් බණ්ඩක්කා සම්බෝලයක් සාදන ආකාරයයි.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

බණ්ඩක්කා කරල් කිහිපයක්

තක්කාලි ගෙඩියක්

අමුමිරිස් කරලක් දෙකක්

බී ලූනු ගෙඩියක්

උම්බලකඩ ස්වල්පයක්

ගා ගත් පොල්

ලුණු රස අනුව

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

 

සම්බෝලය හදමු:

පළමුවෙන් ම බණ්ඩක්කා සෝදා කැමැති හැඩයකට කපා ගන්න. සිහින්ව කපා ගන්නා තරමට වඩාත් හොඳයි. පසුව බණ්ඩක්කා කැබැලි ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසුව ලූනු, අමු මිරිස්, තක්කාලි ආදිය සිහින්ව ලියා ගන්න. පසුව මේ සියල්ල බැදගත් බණ්ඩක්කාවලට දමන්න. උම්බලකඩ, පොල්, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ ද එම මිශ්‍රණයට ම දමා හොඳින් කළවම් කරන්න.

මෙය ඉතා රසවත් සම්බෝලයකි.

බත් පතට වෙනසක් ඇවැසි දිනෙක මෙවැනි රසවත් සම්බෝලයක් සාදා ගැනීමට ඔබට පුළුවන්.

 

ඉදිරිපත් කිරීම - S.H. ශීලා