දරුවන්ගේ ලෝකයේ එකම ආරක්ෂකයා වෙමු

සැප්තැම්බර් 25, 2019

හිරු නැඟී තවත් අලුත් දවසක් උදා වෙද්දී අප අවට බොහෝ දේ වෙනස් වී තිබෙන්නට පුළුවන. එම සිදුවීම් සමඟ අලුත් අලුත් පුවත් නිර්මාණය වී තිබිය හැකිය.

ඒ නිසාම රූපවාහිනියේ හෝ පුවත්පත් වල පලවන පුවත් පිළිබඳව උනන්දුවක් දක්වන්නට අප පුරුදුවී සිටිමු.

දිනපතා සිදුවන දහසකුත් එකක් සිදුවීම්වලින් තෝරා බේරාගත් වැදගත් සිදුවීම් කියවන අප එයින් කිසියම් දෙයක් ජීවිතයට එකතු කර ගත යුතුය.

අද මගේ මේ සටහන අරඹන්නට පුවත් පිළිබඳව සඳහන් කළේ දිනපතා ඇස ගැටෙන බොහෝ පුවත් අතර තවත් එක් සුවිශේෂී සිදුවීමක් පිළිබඳව පලවී තිබූ නිසාය.

හික්කඩුවෙන් අතුරුදන්වූ නිවුන් සොහොයුරියන් මාවනැල්ලෙන් හමුවේ.

ප්‍රවෘත්තියේ ශීර්ෂය සඳහන් කර ඇත්තේ එලෙසය.

ගාල්ල හික්කඩුව පුංචිපතන ප්‍රදේශයේ පදිංචිව සිටි නිවුන් සහෝදරියන් දෙදෙනකු මෙලෙස නිවෙසින් අතුරුදන්ව සිටි අතර පසුගියදා ඔවුන් මාවනැල්ල දනාගම ප්‍රදේශයේ නිවෙසක සිටියදී සොයාගෙන තිබිණි.

මාවනැල්ල පොලීසිය විසින් දැරියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දැරියන් දෙදෙනා 14 හැවිරිදිය. මේ දෙදෙනා අතුරුදන් වන අවස්ථාවේදී ජීවත් සිට ඇත්තේ පියාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවෙසේ වන අතර දෙදෙනාගේ යම් සුළු වරදකට මහප්පා දොස් පැවරීම නිසා දෙදෙනා රාත්‍රියේ රහසිගතව නිවෙසින් පිටවි ඇති බව පොලිසිය පවසයි.

දැරියන් දෙදෙනා කොළඹ දෙසට ගොස් ඇති බව සීසීටීවී කැමරා ඔස්සේ සොයාගෙන ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කෙරී ඇති අතර කොළඹ කොටුවට පැමිණි දෙදෙනාට තරුණයකු මුණගැසී ඇති අතර ඔහු මෙම දෙදෙනාට ආරක්ෂාව දෙන්නට යැයි පවසා මාවනැල්ලට රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙයින් අපට කියාදෙන කරුණු කිහිපයකි. අතීතයේ රන් රුවන් පැලඳ රාත්‍රියක වුවද තරුණියකට මහ මඟ නිරුපද්‍රතව යන්නට හැකියාව තිබුණු බව කියැවුණද වර්තමානයේ එවන් දෙයක් ගැන සිතන්නටවත් බැරිය.

දැරියන් දෙදෙනකු එලෙස නිවෙසින් පිටවීම වරදක් බව සත්‍යයකි.

එහෙත් ඔවුන් දෙදෙනා තමන්ගේ සොහොයුරියන් දෙදෙනකු ලෙස සලකා ආරක්ෂා සහිතව පොලීසියකට භාර දෙන්නට අර තරුණයාට යුතුකමක් තිබිණි.

මේ සිදුවීමෙන් පෙනෙන්නේ අද සමාජයේ මානුෂීය බැඳීම් මොනතරම් නම් පිරිහීමකට ලක්වී ඇති බව නොවේද?

මේ සිදුවීමට මුහුණ දුන් දැරියන් දෙදෙනාගේ මව ගැන සඳහන් නොවන නිසා ඒ පිළිබඳව යමක් කිව නොහැකිය.

එහෙත් මෙයින් ගැහැනු දරුවන් සිටින මවුවරුන්ට සිතන්නට යමක් තිබේ. අතීතයේ මෙන් දරුවන්ට දඬුවම් කර හදන්නට නොහැකිය.

ඔවුන් යහපත් ලෙස කීකරු ලෙස හදාගන්නට නම් ආදරයෙන් හරි වැරැදි පෙන්වා දිය යුතුය. දියණියකට මව හොඳම හෙහෙළිය බවට පත්විය යුතුය.

දරුවන්ගේ ලෝකය මවුපියන්ගේ ආදරයෙන් සෙනෙහසින් පිරී තිබිය යුතුය. ඔවුනට සිටින එකම ආරක්ෂකයා මවුපියන් බවට පත්විය යුතුය. එවිට දරුවන් මෙවැනි තීරණ නොගනු ඇති.