වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
කැකුළු තළන්න පොළොව හදන්නෙ අම්මලා
අපේ සමාජය ඇතුළේ එක කාලයක පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට රූමත් කාන්තාවකට ගොඩාක් ආභරණ දාගෙන මැණිකකුත් අතේ තියාගෙන යන්න පුළුවන් තරම් හොඳ ආරක්ෂාකාරි පරිසරයක් තිබ්බා. කාන්තාවට ගරු කරන මිනිසුන් ඉන්න පරිසරයක් තිබුණා. කාන්තාවට මුල් තැන දීපූ සමාජයක් ඉස්සර තිබුණා. ඒත් වර්තමානයේදී අපිට අහන්න දකින්න ලැබෙනවා පුංචි දරුවන් සහ වයෝවෘද්ධ කාන්තාවන් පවා දූෂණය කරලා මරලා දානවා. එහෙම කරලා එයාලගේ මාල වළලු වගේ වටින කියන දේවල් පැහැර ගන්නවා. සමහර වෙලාවට රුපියල් 1500ක් ගන්න වගේ පොඩි මුදල්වලට පවා එහෙම කරන අවස්ථා දකින්න ලැබෙනවා. එහෙම වුණේ ඇයි... ඒකට මොකක්ද කරන්න ඕනේ... දියණියක් සිටින මවක් නම් අනිවාර්යෙන් මේ ගැන අවධානය යොමු කළ යුතුමයි.
ගොඩක්ම මේ අපරාධවලට ගොදුරු වන්නේ කුඩා දරුවන් සහ වයසක උදවිය. කනගාටුවට කරුණ නම් පුංචි දරුවන්ව දූෂණය කරන්නේ වඩාත් හොඳින් දන්න කියන අය, වටපිටාවේ අය. මොකද පිට ගමක කෙනෙක් ඇවිල්ලා එහෙම දෙයක් කරලා ඒ ගම හරහා යන්න අමාරුයි. ඉතින් අපි දන්න හඳුනන අය තමයි මෙහෙම කරන්නේ. මේ අය ඇයි මෙහෙම කරන්නේ කියලා හොයලා බැලුවොත් මේ අය කිසියම් මානසික ව්‍යාධියකින් පෙළෙන බව පෙනී යනවා. Sexual disorder හෙවත් අපගාමි චර්යා ලෙසත් මෙම තත්ත්වය හඳුන්වයි.
දෙවැනි එක මවගේ කුස තුළ ඉද්දි දරුවාට ඇතිවන සංකූලතා. ඒ කියන්නේ මවගේ චිත්තවේග සෘජුව දරුවට බලපානවා. දරුවා කුසේ ඉද්දි මේ දරුවා ඕනෙ නැති දරුවෙකු ලෙස සැලකුවොත්, මේ ළමයා හදිස්සියකින් අහම්බයකින් කුසට ආවා කියලා හිතුවොත්, දරුවා කුසේ ඉන්න එක කරදරයක් කියලා හිතුව නම්, අපි හිතනවා දරුවට ඒක දැනෙන්නේ නැහැ කියලා. නමුත් ඒ සියලු දේ දරුවට බලපානවා. එතකොට සමාජයට වෛර කරන වෛරක්කාරී දරුවෙකු තමයි මෙලොව එළිය දකින්නේ. මීට කාලයකට කලින් තමන්ගේ බිරිය සහ දරුවන් ගිනි තබා මරපු රත්මලාන ඝාතකයෙක් ගැන ඔබට මතක ඇති. ඔහු ඉතා උගත්, විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ඔහුගේ කතාව හොයලා බැලුවම ඔහු හදා වඩාගත් දරුවෙක්. ඔහු ඒ ගෙදර සේවය කරපු සේවිකාවට අනියම්ව ලැබුණු දරුවෙක්. හැබැයි මේ දරුවා හොඳ පවුල් පරිසරයක හැදුණා වැඩුණා. ඉගෙන ගත්තා වුණාට, අර අපගාමී චර්යා රටා ඔහුගේ යටි හිතේ ප්‍රභල ලෙස තැන්පත් වෙලා තිබුණා. ඔහුත් වෙන කාන්තා ඇසුරකට යොමු වුණා. හැබැයි ඔහුට කියන්න තිබුණා මට වෙනත් සම්බන්ධයක් තියෙනවා ඒ නිසා අපි දික්කසාද වෙමු, නැත්තම් අපි වෙනම ජීවත් වෙමු කියලා. හැබැයි ඒ ගැන කිසිම දෙයක් හිතුවෙ නැතුව දරුවන්වයි බිරියවයි ගිනි තියලා මැරුවා.
ඉතින් සියුම්ව විමසලා බැලුවම එයා හදාවඩාගත් දරුවෙක්. ඒ මව්පියන්ට ඕන වුණ දරුවෙක් නෙවෙයි ඔහු. එතකොට පැහැදිලි වෙනවා මේ වගේ චර්යා ඇති වෙන්න මේකත් හේතුවක් කියලා.
තුන් වෙනි එක උපතේදී ඇතිවන සංකූලතා නිසාත් දරුවකුට එහෙම වෙන්න පුළුවන්. අඬුවලින් දරුවව බිහිකිරීම එතකොට වේදනාකාරී දරු උපතකදී අධික පීඩනයකට ලක් වෙලා නම් ඒ දරුවා බිහි වෙන්නේ මොළයේ සියුම් දේවල් විනාශ වෙන්න පුළුවන්. ඊළඟ එක අඳුරු ව්‍යසනකාරී ළමාවිය. එවැනි ළමා වියකදී ඒ දරුවට කාගෙන්වත් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. සමාජයෙන් හොඳ දෙයක් කියලා දෙන්නේ නැහැ. නගර ආශ්‍රිත පැල්පත්වාසීන්, වතු ආශ්‍රිත තැන්වලින් අපරාධකාරී චර්යාවන් බිහිවෙන්න ප්‍රධානම හේතුව එයයි. ඒ වගේම වතුකරයේදී අපරාධකාරී චර්යාවන්ට යොමුවන ප්‍රමාණය අඩුයි. හැබැයි ඒ වතුකරයේ දරුවන් නගරයට යාමේදී ගොඩක් ගැටලුවලට මුහුණ පානවා. ගොඩක් ඒ පැතිවල අය සුපිරි වෙෙළඳසල්වල, ආපනශාලාවල, සාප්පු සංකීර්ණවල සේවකයෝ විදිහට වැඩ කරනවා. එයාලා හරි කැමැති ඒ නගරබද සමාජයට හැඩගැහුණු කෙනෙක් විදියට පෙන්නන්න. එහෙම කොළඹ එන නගරයට එන අයව ගොදුරු කර ගන්න බලාගෙන තවත් අපරාධකරුවන් පිරිසක් බලාගෙන ඉන්නවා. ඉතින් අපරාධයක් ඇති වෙන්න තැනක් බලපාන්නේ නැහැ.
සමහර අයගේ චර්යා රටා නීරීක්ෂණය කරද්දී ඒ වෙලාවෙදි එයා විකෘති මනසකින් ඉන්නේ. අවුරුදු 70 වගේ පැන්නම ඒ ආච්චිලා පිරිසුදු නැහැ. නාන්නේ නැහැ. ඇවිදගන්න බැහැ. හැබැයි එහෙම කෙනෙක්ට මානුෂීයවත් හිතන්නේ නැතිව ඒ විදිහට ලිංගිකව හැසිරෙන්න පුළුවන් ද? එයාලා තාවකාලික අන්ධභාවයට පත්වෙලා වගේ ඉන්නේ. එයාලා ලිංගික තෘප්තිය ගැන විතරයි හිතන්නේ. ලිංගික තෘප්තිය කියන්නේ කෙටි කාලීන ජීව විද්‍යානුකූල අවශ්‍යතාවක්. ඉතින් ඒ වගේ අවශ්‍යතාවක් සම්පූර්ණ කර ගන්න අවස්ථාවක් පාලනය කර ගන්න බැරි වුණාමයි මේ විදිහෙ දේකට යොමු වෙන්නේ. ගොඩක් අයට තවමත් මතක ඇති සේයා නම් අවුරුදු 5ක පුංචි දැරියක්ව දූෂණය කර මරා දැමූ සිදුවීම. බන්ධනාගාරයේ රාජකාරි වැඩට යද්දී ඒ සිරකරුට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. ඔහු ඒ දැරියව දූෂණය කරන්න හිතාගෙන නෙවෙයි මේ ගෙදරට ඇතුළු වෙන්නේ. ඒ ගෙදර ගෑස් සිලින්ඩරය හරි හොරකම් කරන්න කියලා හිතාගෙනයි යන්නේ. ඒ දැරිය ටිකක් වැඩුණු දැරියක්. ඇය නිදාගෙන ඉන්න විදිහ දැක්කම දැරියව අරගෙන එනවා. මරන්න හිතාගෙන නෙවෙයි අරගෙන එන්නේ. ඔහුට අවබෝධයක් දැනුමක් නැහැ. අකුරු ඉගෙන ගෙන නැහැ. එහෙම කෙනෙක්ට මොළයට සංඥාවක් එන්නේ නැහැ මේක කරන්න හොඳ නැහැ කියලා. ඉතින් එයා වනචාරී විදිහට තමයි ක්‍රියා කරන්නේ. හරියට කැලේ ඉන්න සතෙක් වගේ.
තව සිදුවීමක් මතක ඇති, මීගමුව රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රතිකාර ගන්න ආ තරුණියක්ව දූෂණය කරලා ගොඩනැඟිල්ලේ උඩ ඉඳලා පහළට තල්ලු කරලා මරලා දාලා තිබුණා. ඔහු හොඳට ඉගෙනගත් වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ දැනුමක් තියෙන කෙනෙක්. ඒ පාසලේ හිටපු හොඳම දීප්තිමත්ම ශිෂ්‍යයා. එතකොට උගත්කම තිබුණත් මෙහෙම පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියන කාරණය ඒකෙන් ඔප්පු වෙනවා. ඒ කියන්නේ දැනුමක් තිබුණත් නැතත් තමන්ට තමන්ව පාලනය කර ගන්න බැරි වුණාම ඒ ජාගර හිත එළියට එනවා. වෛද්‍යවරයකුයි ඉගෙන ගත්ත කෙනකුයි එකම කූඩුවේ ඉන්න වෙලා තියෙන්නේ මේ ජාගර හිත නිසා. අම්මලට දෙයක් කියන්නම ඕනේ. තමන්ගේ දුවලා එළියට යද්දි එයාලගේ ඇඳුම ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. මං දැකලා තියෙනවා පන්ති යන සමහර ගැහැනු ළමයි බඩේ පදාසයක්ම පේන විදිහට ක්‍රොප් ටොප් ඇඳගෙන යනවා. එතකොට එයාලා යන්නේ පොදු ප්‍රවාහන සේවයේ. ගොඩක් වෙලාවට අද තරුණියෝ අඳින්නේ ඒ විදිහේ තව කෙෙනකුගේ හැඟීම් ඇවිස්සෙන විදිහෙ ඇඳුම්. එහෙම ඇන්දට කමක් නැහැ. සාදයකට... තමන්ගේ මව්පියොත් එක්ක යන ආරක්ෂාකාරී පරිසරයක නම්. සමහර දූවරු යට කලිසමක් තරමට කොට ෂෝර්ට්ස්. ඒ වගේ ඒවා ඇඳගෙන යද්දී සමාජයෙනුත් යම් පෙලඹවීමක් ලැබෙනවා. ඉතින් දුව එළියට යද්දී අම්මා හිතන්න ඕනේ දුව මේතරම් නිරාවරණය වෙන විදිහට සමාජයට ඉදිරිපත් කරන්නේ ඇයි කියලා. ඇයි මම මගේ දරුවව විකුණන්නේ. දරුවගේ ශරීරය වෙන කෙනෙකුට පෙන්නන්නේ කියලා.. කෙනෙකුගේ සිතට රාගය ඇතුළු වෙන විදියට ඇයි මම සමාජයට යවන්නේ කියලා. සමහර අම්මල අඳින්නෙත් ඒ විදිහට. මම කියන්නේ හැම වෙලාවෙම සාරිය, ඔසරිය ඇඳලා ගමන් යන්න කියලා නෙවෙයි. ළමා සාරිය ඇඳලා ස්විමින් පූල් එකට බහින්න කියලා නෙවෙයි. තැනට සුදුසු ඇඳුමක් දුවට අන්දවන්න කියලා.
දූෂණය වුණ දරුවෙක් සිත බිඳිලා කැඩිලා විසිරිලා යනවා. ඒ කැඩිලා බිඳිලා ගිය කොටස් එකතු කරලා යළි නිර්මාණය කරන්න ගොඩක් පළපුරුදු මනෝ වෛද්‍යවරයකුට මනෝ චිකිත්සකවරකුට වුණත් අධික වෙහෙසක් දරන්න සිදු වෙනවා. මේ දූෂණයට ලක්වෙන එක මරණයක් තරම් වේදනාකාරියි. මේ දූෂණය සිදු වුණේ කොහොමද කියලා දහ සැරයක් විතර මව්පියන් ඉදිරියේ පොලිසිය ඉදිරියේ උසාවිය ඉදිරියේ නීතිය ඉදිරියේ කියන්න වෙනවා. ඒක හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. අවාසනාවන්තම දේ තමයි ඔහුව නිතීය ඉදිරියට හසුකරයි කියලා හිතලා ඇයව මරා දමනවා. පුංචි දියණියක්ව දූෂණය කරලා මඩ වගුරක ඔබලා මරලා දානවා කියන්නේ කොයි තරම් පාපයක් ද.
නන්නාඳුනන මිනිස්සුන්ට දරුවව විවෘත කරන්න එපා. සමහර අම්මලා තමන්ගේ දරුවා හරි සෝෂල් කියලා පෙන්නන්න අනේ දුවේ අර අංකල් හරි ෂෝක්නේ, ගිහින් ඒ අංකල්ගේ ඔඩොක්කුවෙන් වාඩි වෙන්නකෝ. වගේ අනවශ්‍ය විදිහේ දේවල්වලට යොමු කරනවා. ඒ පුද්ගලයා අපගාමි චර්යාවක් තියෙන කෙනෙක් නම් ඒ අවස්ථාවත් ඇති දරුවට අතවරයක් කරන්න. එතකොට තව සමහර අම්මලා තමන්ගේ තරුණ දූවරුන්ව විහිළුවට වගේ යහළුවන්ගේ පුත්තුන්ට ජෝඩු කරනවා. ඒකෙන් වෙන්නේ ඒ දෙන්නා අතරේ අනවශ්‍ය බැඳීමක් ඇති වෙලා ලිංගිකත්වය දක්වා යන එක. එහෙම අවුරුදු 18ට අඩු දියණියක් සහ පුතෙක් ලිංගිකව එකතු වෙලා තිබුණා. ඒ මව්පියන්ගේ වැරැදි නිසා. ඒ නිසා ආදරණීය අම්මේ තමන්ගේ දරුවන්ව ඇස් දෙක වගේ බලාගන්න..
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව