දරුවන් සම්බන්ධ අශ්ශීල ප්‍රකාශන පළ කිරීම

අප්‍රේල් 21, 2025

 

මෑතකදී දරුවන් සම්බන්ධ අශ්ශීල ප්‍රකාශන අන්තර්ජාලයට මුදාහැරීම, අන් අයට අලෙවි කිරීම සම්බන්ධයෙන් ලංකාවේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

 

මෙය සාමාන්‍ය ජනයාට තරමක් අසාමාන්‍යයද සිදුවීමකි. නමුත් දරුවන් සම්බන්ධ අශ්ශීල ප්‍රකාශන බහුලව ලෝකය පුරා ජාවාරම් සඳහා භාවිත වන මාධ්‍යයකි. විශේෂයෙන් Dark Web යනුවෙන් හැඳින්වෙන විශේෂයෙන් තහනම් ව්‍යාපාර, ජාවාරම් සිදු කෙරෙන අන්තර්ජාලයේ විශේෂ භාවිතය සිදු කරන පුද්ගලයන් විසින් දරුවන් සම්බන්ධ මෙම අශ්ශීල ප්‍රකාශන මුදලට අලෙවි කිරීම සිදු කෙරෙනු ලැබේ.

 

මෙම අපරාධ සඳහා විශේෂ උනන්දුවක් බටහිර රටවල පුද්ගලයන් අතර ඇති වූයේ විසි වන සියවසේ මැද භාගයේ දී පමණය. ලංකාවේ සංචාරකයන් වශයෙන් පැමිණෙන බටහිර පුද්ගලයන් විශේෂයෙන් වෙරළාසන්න ප්‍රදේශවල ළමයින් මුදලට ගැනීමට පෙලඹී තිබූ යුගයක් විය. එපමණක් නොව මාපියන් තම දරුවන් මෙවැනි පුද්ගලයන්ට මුදලට අලෙවි කිරීමටද පෙලඹී තිබුණේ මේ සඳහා ලැබෙන විශාල මූල්‍යමය වටිනාකම හේතුවෙනි. මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් BBC ප්‍රවෘත්ති විකාශය මඟින් සිදු කිරීමෙන් අනතුරුව දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව කටයුතු කරන ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර සංවිධානවලද ඇස් ඇරුණි.

 

ඉන් අනතුරුව නව නීති සම්පාදනය සඳහා අදාළ බලධාරීන් කටයුතු කරන ලදී. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ පළමු සංශෝධනය හඳුන්වා දෙමින් 1995 අංක 22 දරන සංශෝධනය මඟින් අංක 286 (අ) යනුවෙන් වගන්තියක් එක් කරන ලද්දේ මේ සම්බන්ධයෙනි.

 

ඒ අනුව යම් අසභ්‍ය හෝ අශ්ශීල ප්‍රදර්ශනයක් හෝ එවැනි දර්ශනයකට යම් ළමයකු කුලියට ගන්නා හෝ සේවයෙහි යොදවන හෝ සේවයෙහි නියුක්ත කරන මාපිය, භාරකරුවන් හෝ භාරකරුවන් ලෙස සිටිමින් එවැනි දේ සිදු කරන පුද්ගලයන් වසර 2 සිට 10 දක්වා සිර දඬුවමකට යටත් කළ හැක. එමෙන්ම එවැනි ඡායාරූප බෙදාහැරීම පෙන්වීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රචාරය කිරීම ද ලංකා නීතිය අනුව වරදක් වේ.

 

යම් පුද්ගලයකු මෙම නීති පිළිබඳ කිසිවක් නොදැන සිටීම හේතුවෙන් නොදැනුවත්ව අන්තර්ජාලය භාවිත කිරීමේදී මෙවැනි ඡායාරූපයක් හෝ ප්‍රකාශනයක් හුවමාරු කරගතහොත් කුමක් සිදුවේද?

 

නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් ලෙස නීතිය ඉදිරියේ විත්තිවාචකයක් ලෙස ගෙන ආ නොහැක. යම්කිසි වලංගු නීතියක් ප්‍රසිද්ධියට පත් කර තිබේ නම් පුරවැසියන් එම නීතිය පිළිබඳ දැනුවත් බවට උපකල්පනය කෙරේ. එමනිසා තමා නොදැන දරුවකුගේ ප්‍රකාශයක් මුදාහැරිය බව හෝ හුවමාරු කළ බව ප්‍රකාශ කොට නීතියෙන් නිදහස් විය නොහැක.

 

මේ පිළිබඳ වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්නේ කවුරුන් විසින් ද? එවැනි අපරාධයකට ගොදුරු වූ දරුවකු හෝ වැඩිහිටියකුට ළඟම ඇති ළමා හා කාන්තා අපරාධ නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. ඊට අමතරව මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් විශේෂ විමර්ශන සිදු කරන අවස්ථා ද ඇත. එම නිසා මෙවැනි අපරාධ සම්බන්ධයෙන් විමර්ශන අංශ දැනුවත් කිරීමට මෙන්ම නොදැනුවත්ව මෙවැනි වැරදිවලට හසු නොවී සිටීමටද පුරවැසියන් වශයෙන් අප වග බලා ගත යුතුය.

 

 

නීතිඥ චන්දිවරී මල්ලවආරච්චි