වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
දරුවාට සිදු වූ අසාධාරණය බලධාරීන් නොසලකා හරින්නේද ?

දරුවකු ලිංගික අතවරයකට හෝ වෙනත් ආකාරයේ අසාධාරණයකට ගොදුරු වූ විට මවුපියන් හෝ භාරකරුවන් ඒ් සම්බන්ධව බලධාරියකුට පැමිණිලි කරනුයේ යම්කිසි සහනයක් ලබා ගැනීමට හෝ වරදකරුට දඬුවමක් ලබාදීමේ අරමුණ ඇතිවය.
වැඩිහිටියකුට යම් අතවරයක්, අසාධාරණයක් සිදු වූ විට තමාම තමා වෙනුවෙන් ඉදිරිපත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදුවේ. නිසි ලෙස යුක්තිය ඉටුනොවුවහොත් අභියාචනා ක්‍රියාමාර්ග, අන් අයගේ සහයෝගය ලබාගෙන උද්ඝෝෂණය කිරීම වැනි ක්‍රියාමාර්ග මඟින් යුක්තිය ඉටු කර ගැනීමට සියලු උත්සාහයන් ගනී.
දරුවකු වින්දිතයකු බවට පත්වූ විට තත්ත්වය වෙනස් වේ. යුක්තිය ඉටුකරවා ගැනීම තනිවම දරුවකුට සිදු කළ නොහැක්කක් වේ. දරුවා වෙනුවෙන් වැඩිහිටියන් ක්‍රියාත්මක විය යුතුය. විමර්ශන නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් දරුවාට සිදු වූ අසාධාරණය හෝ අපරාධය පිළිබඳ නිසි සැලකිල්ලකින් කටයුතු නොකරන බව පෙනී යන අවස්ථා ද ඇත. එමෙන්ම බාල වයස්කාර පුද්ගලයකුගේ සිදුවීමක් හේතුවෙන්ම ‘ළමයෙක්ගෙ ප්‍රශ්නයක්’ ලෙස සලකා අඩු සැලකිල්ලක් යොමු කරන අවස්ථා ද දක්නට ඇත. මෙවැනි සිදුවීම් සුළුකොට තැකිය යුතු නොවේ.
මන්ද, දරුවා අඩු වයසකින් පසු වුවද වැඩිහිටියන් වැනිම හැඟීම් දැනීම් සහිත පුද්ගලයකු වීම නිසාය. තමාට යුක්තිය ඉටු කිරීමට කිසිවකු කටයුතු නොකරන බවට වන කලකිරීම, පසුතැවීම හා වැඩිහිටියන් පිළිබඳ වෛරය දරුවාගේ මනස තුළ ගොඩනැඟිය හැකිය. අධික ලෙස කල්පනා කිරීම නිසා විෂාදය, මනස වියවුල් වීම වැනි තත්ත්වයන්ට පවා පත්විය හැකිය. සමහර යොවුන් දරුවන් සිය දිවි නසා ගැනීමට පවා පෙළඹෙන්නේ මේ නිසාය.
එම නිසා දරුවාගේ මවුපියන්, භාරකරුවන්, පාසල් ගුරුවරුන්, යහළුවන් හැකිතාක් දුරට දරුවාට සහයෝගය ලබා දෙමින් දරුවාගේ මනස යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ යුතුය. එමෙන්ම දරුවාට යුක්තිය ඉටු කිරීම සඳහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට වැඩිහිටියන් කටයුතු කළ යුතුය.
නැවත නැවත තමා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමසා බැලීම, අවශ්‍ය කටයුතු සිදු නොවන්නේ නම් අදාළ ඉහළ බලධාරීන් වෙත දැනුම් දීම වැනි කටයුතු නොපමාව සිදු කළ යුතු වේ. එමෙන්ම සාක්ෂිකරුවන්ට හා වින්දිතයන්ට බලපෑම් සිදුවන්නේ නම් ඒ් සඳහා පවතින නීති ක්‍රියාත්මක කරන අධිකාරීන් වෙත යොමු විය යුතු වේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මෙහිදී වැදගත් වේ. ශ්‍රී ලාංකේ පුරවැසියකු වශයෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට යාමේ දී යම් වෙනස්කමකට, අසාධාරණයකට ලක් වන්නේ නම් ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමේ හැකියාව ඕනෑම පුරවැසියකුට ඇත.
සමහර මවුපියන්, වැඩිහිටියන් විවිධ බලපෑම් හේතුවෙන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම, නඩුවට පෙනී නොසිට අත්හැර දැමීම සිදු කරන අවස්ථා ඇත. මෙවැනි සිදුවීම් නීතිය නිසි ලෙස ඉටු වන බව පෙනී යාම කෙරෙහි බලවත් ලෙස බලපාන කරුණු වේ.
නීතිය ඉදිරියේ සියලුදෙනා සමානය යන්න හුදු කියමනක් නොව යථාර්ථයක්ම බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමේ කාර්යභාරයේ සැලකිය යුතු කොටසක් වින්දිතයන්, සාක්ෂිකරුවන් හා අවසානයේ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් අප සියලු දෙනා වෙත ද පැවරෙන බව සිහි තබා ගත යුතු වේ.