වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
ළමා අපයෝජනයක මානසික හානිය

ළමා අපයෝජන සිදුවීමකට මුහුණදෙන දරුවකු, පුද්ගලයකු වශයෙන් ජීවිතය ගොඩනගා ගැනීමේදී අභියෝග රාශියකට මුහුණ දෙයි. සමහර දරුවන් කෙටිකාලීන ප්‍රතිකාර මඟින් යථා තත්ත්වයට පත් වූ බව පෙනුණද ඔවුන්ගේ ජීවිත තුළ යම් කම්පනයක් බොහෝ කලක් ගත වනතුරු ඉතිරිව පවතියි. සමහර අවස්ථාවල දරුවන් දිගුකාලීනව මානසික ආතතීන්ට ලක්වන අතර සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමේ අපහසුතාවන්ට මුහුණදෙන අවස්ථා ද සුලබ වේ. සැඟවුණු කම්පනයන් හේතුවෙන් වැඩිහිටියන් බවට පත්වන වින්දිත දරුවන් දරුණු ගණයේ අපරාධ කිරීමට පෙළඹෙන අවස්ථා දක්නට ලැබේ.
මේ නිසා යම් ලිංගික අපයෝජනයක් හෝ අතවරයකට ලක් වන දරුවකුගේ මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. විෂාදය, කාංසාව, මානසික අවපීඩනය, උපයෝජන ආබාධ, විඝටන අනන්‍යතා ආබාධ, පශ්චාත් කම්පන ආතතිය, සමාජ භීතිකාව, පෞරුෂ ආබාධ වැනි මානසික ආබාධ වින්දිත දරුවන් තුළ ඇති විය හැකියි. දරුවකුට සිදුවන මෙම මානසික හානිය නීතිය විසින් සැලකිල්ලට භාජනය කරන්නේද?
මේ සම්බන්ධයෙන් සලකා බැලිමේදී 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත වැදගත් වේ. එම සංශෝධනය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය අනුව දරුවකු කෲරත්වයට පත්වූ අවස්ථාවක දරුවාට සිදු වී හානිය මනෝවිද්‍යාත්මක හෝ මානසික කම්පනය ද සලකා බැලීම කළ යුතු බව දක්වා ඇත. ලිංගික අතවර කිරීමකදී, ස්ත්‍රී දූෂණයක දී, බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේදී ද හානි යන්නට වින්දිතයාට සිදුව ඇති මානසික හා මනෝවිද්‍යාත්මක හානිය සලකා බැලිය යුතු බව මෙහිදී දක්වා ඇත.
බොහෝවිට අධිකරණ ක්‍රියාමාර්ගයේ දී සිදුවන්නේ වාර්තාවක් මඟින් දරුවාට සිදු වූ මානසික හානිය පිළිබඳ අධිකරණයට දැනුම් දීමයි. දරුවකුට සිදු වන අපරාධයකදී සාමාන්‍යයෙන් වෛද්‍යවරයා විසින් දරුවාට සිදුව ඇති මානසික කම්පනය පිළිබඳ වෛද්‍ය වාර්තාවේ සඳහන් කරයි. පැමිණිලි පාර්ශ්වයට අවශ්‍ය නම් මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ද ඉල්ලීම් කළ හැකිය. ඉන්පසු එම වාර්තා සලකා බලා දරුවාට සිදු වූ ශාරීරික හානියට අමතරව මානසික හානිය සම්බන්ධව ද අපරාධකරුට දඬුවම් නියම කිරීමේ හැකියාව පවතියි. මෙවැනි අවස්ථාවල බොහෝ විට සිදුවනුයේ වන්දි ලබාදීමකි.
විදේශ රටවල මෙසේ දරුවකු ලිංගික අපරාධයකට ගොදුරු වූ අවස්ථාවලදී විශේෂිත මානසික සෞඛ්‍ය සායන සඳහා යොමු කෙරේ. එහෙත් ලංකාවේ එ් පිළිබඳ අවධානය යොමුවන්නේ අඩුවෙනි. දරුවාගේ භාරකරුවන් හා මවුපියන් පවා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වැඩි අවධානය යොමු කරන නමුත් දරුවාගේ මානසික තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම දක්නට ලැබෙනුයේ කලාතුරකිනි.
දරුවා අපයෝජනයට පත්වූ විට බොහෝවිට සම වයස් කණ්ඩායම් තුළ දී වෙනස්කම්වලට ලක්වීමට සිදු වන අවස්ථා දක්නට ලැබේ. මෙවැනි සමාජ ප්‍රතික්ෂේප කිරීම් හේතුවෙන් දරුවාගේ මානසික මට්ටම දැඩි පීඩනයකට ලක් විය හැකියි. මේ නිසා අපයෝජනයට ලක් වූ දරුවකුගේ මානසික තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම කෙරෙහි සමාජයේ වැඩි අවධානයක් යොමු විය යුතු වේ.