සෝෂල් මහත්වරුනි දරුවන් විකිණීම වහා නවතන්න....

පෙබරවාරි 17, 2025

කාලයක සිට සෝෂල් මීඩියා එසේත් නැත්නම් සමාජ මාධ්‍ය ලෝකය පුරා ප්‍රකට වීම ආරම්භ වූයේ නූතන තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව සමඟය. මේ සමඟ ආ හොඳ සහ නරක ප්‍රතිඵල බොහෝය. ඒ පිළිබඳ විශ්ලේෂණය කරන විද්වතුන් කණ්ඩායම් දෙකකට බෙදී මෙහි හොඳ සහ නරක ගැන කළ වාද විවාද ද අප කොතෙක් අසා දැක ඇත. සමාජ මාධ්‍ය වැරදිකරුවන් බවට පත්කිරීමට ඇතැමුන් උත්සහ දැරුවද සිදුවන සියලු වැරදි වන්නේ සමාජ මාධ්‍ය වේදිකාවෙන් නොව සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නා අතිනි.

එය සැබෑවටම දැලි පිහියක් වැන්නකි. බාබර් කෙනෙකුට දැලි පිහිය අතට ගෙන ඉතාමත් සියුම් කෙස් කැටයම් ඇඳීමට හැකි පරිදිම තවත් අයකුට එය අතට අසුවූ විට බෙල්ල කපා දැමිය හැකිය. එය තවත් පැහැදිලි කළහොත් තරගයට වාහන රේස් පදින ඇත්තෝ එය පදින්නේ ධාවන පථයේය. නමුත් අහම්බෙන් බයිසිකලයක් හෝ මෝටර් රථයක් අතට අහුවන අයකු එය හැටට අසූවට පාගන්නේ මහ පාරේය. ඊට වාහනය පලි නැත. සමාජ මාධ්‍ය ද එසේය. ඕනෑම කෙනෙකුට තම නැණ පමණින් පාවිච්චි කළ හැකිය.

මේ කතාව මෙතැනින් පටන් ගන්නට සිතුණේ පසුගියදා සමාජ මාධ්‍ය ජාලවල පළවූ පෝස්ටු කිහිපයක් නිසාය. ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස ප්‍රකට පුද්ගලයන් දරුවන් අමුඅමුවේ සමාජය ඉදිරියේ අසරණයන් යැයි කියමින් පවත්වන සමාජ මාධ්‍ය සංදර්ශනයන් මේ දවස්වල ප්‍රකටය. හඳුන්කූරු විකුණන දරුවාගේ සිට පොලොස් ගෙඩිය විකුණන දරුවා දක්වාම ඔවුන් විකුණනන්නේ කිසිදු සදාචාරයක් නොමැතිවය.

පසුගියදා සමාජ මාධ්‍යයේ හඳුන්කූරු විකුණන පොඩි එකෙකු අල්ලාගෙන පතුරු ගැසූ හැටි ඇතැම්විට ඔබ දකින්නට ඇත. මෙය අප දන්නා දැකගත් එක සිද්ධියක් පමණි.

කලින්කල මෙවැනි සිදුවීම් බහුල ලෙස සමාජගත වුවද ඒවා සෝඩා බෝතලය මෙන් රැස් බැස ගියා මිස සිදුවූ දෙයක් ගැන අදට ද අසන්නට නොලැබේ. මෙසේ දරුවන් අල්ලා ගනිමින් ඇතැම් සමාජ මාධ්‍යකරුවන් සිදු කරන්නේ ව්‍යාපාරයකි. අසරණ දරුවන් යැයි පවසමින් මහපාරට කෙනෙකු බස්සන ඔවුහු ඒ සිද්ධිය පිළිබඳ කතාවක් ගොඩනඟති. කිහිපදෙනකු එක්ව ගොඩනඟන මේ කතාව සමාජගත කිරීමට එසේත් නැතිනම් සමාජ මාධ්‍ය බසින් කන්ටෙන්ට් එක වයිරල් කිරීමට ඔවුන් විවිධ උපායමාර්ග පාවිච්චි කළද ඒවායින් සමාජයට සහ එම දරුවාට සිදුවන බලපෑම් පිළිබඳ ඔවුනට ගාණක් නැත.

ඕනෑම විෂයක හෝ නිර්මාණයක අවම සදාචාරයක් පවතින බව අප දන්නා කරුණකි.නමුත් මෙම සමාජ මාධ්‍යකරුවන් අවම සදාචාරයවත් රකින බවක් පෙනෙන්නට නැත. අමුඅමුවේම දරුවන් හිඟන දරුවන් ලෙස සමාජයට නිරාවරණය කරන ඔවුහු තලු මරමින් මේ දරුවන් බයිට් කරති. කොහෙන් හෝ අල්ලාගන්නා දරුවකු සමාජය ඉදිරියේ හංවඩු ගසමින් මේ සිදු කරන ක්‍රියාවලිය හරහා නැතිවී කුඩුවී යන්නේ මෙම දරුවාගේ ජීවිතයයි. ආත්මයයි. රටක් ඉදිරියේ පෞද්ගලිකත්වය දිගහරින මේ සමාජ මාධ්‍යකරුවෝ මෙලෙස තෝරා ගන්නා දරුවන්ගේ ගෙවල්, දොරවල්, අම්මා තාත්තා ඇතුළු සියලුදේ කිසිදු වාරණයකින් තොරව දිග හරිති.

ඒ හරහා විනාශවන මේ දරුවන්ගේ ජීවිතය පිළිබඳ වගකියන්නේ කවුද?

සමාජ මාධ්‍යයේ නිරාවරණ වූ දරුවා පාරේ යනවිට

"මේ අර කුඩුකාරිගේ පුතා නේද යැයි"

හඳුන්වනවිට ඊට වගකියන්න මේ අය ඉඳී ද?

ඒ නිසා සෝෂල් මහත්වරුනි,

දරුවන් විකිණීම වහා නවතන්න...

 

 

චතුර