හැඳි නොගා හදන කිරි හොද්දයි නොගහ හදන ළමයයි එක වගේ ද?

පෙබරවාරි 10, 2025

ළමයින්ට ශාරීරික දඩුවම් දීම නීතිය ඉදිරියේ වරදක්. එතකොට ළමයකුට ගහන්න මවුපියන්ට වත් අයිතියක් නැද්ද ?

මෙය සමාජය තුළ විශාල මාතෘකාවක් බවට පත් ව ඇති කරුණක්. මේ සම්බන්ධ නීතිය කුමක්ද‍ දරුවකුගේ භාරකරුවන් ලෙස අප සාමාන්‍යයෙන් සලකන්නේ මවුපියන්ය.

නමුත් මවුපියන්ගෙන් දරුවකුට හිරිහැරයක් අසාධාරණයක් වුවහොත් දරුවාගේ භාරකරු වන්නේ කවුරුන්ද? ශ්‍රී ලංකාවේ නීතියට අනුව දරුවකුගේ උපරිම භාරකරුවා වන්නේ අධිකරණයයි.

එනිසා දරුවකුට හිංසාවක්, අතවරයක් පීඩාවක් සිදුවුවහොත්, දරුවාගේ භාරකාරත්වය දැරිය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන්නේ අධිකරණයයි. මව හෝ පියා අතින් හිංසනයට පත් වන දරුවන් ඥාතීන්ට වත් භාර නොදී රජයේ අධීක්ෂණය යටතේ ළමා සුරැකුම් නිවාසවලට අධිකරණය මඟින් යොමු කරන්නේ එබැවිනි.

ලංකාවේ නීතියට විවිධ අවස්ථාවල සංශෝධන ගෙන එමින් දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම අපරාධමය වරදක් බවට පත් කර ඇත. මේ සම්බන්ධයෙන් වඩාත් සංකීර්ණ ගැටලු ඇති වන්නේ පාසල් ආශ්‍රිතවය. ගුරුවරුන් විසින් දරුවන්ට දඬුවම් ලබා දිය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට බොහෝ විවේචන එල්ල වේ.

සමාජය දියුණු වනවාත් සමඟම අප ආකල්ප ද වර්ධනය කර ගත යුතුය. නොගැළපෙන ක්‍රමවේද ළමුන් හික්මවීමට අතීතයේ භාවිතා කළේ නම් අප එය වෙනස් කර ගත යුතුය. ළමුන් හික්මවීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය වෙනම චක්‍රලේඛ මඟින් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ. ශාරීරික දඬුවම් ලබා දීමේ දී දරුවන්ට සිදු වී ඇති බරපතළ ගණයේ, එනම් නැවත පිළියම් කළ නොහැකි හානි දක්නට ලැබීම මෙයට හේතු වී ඇත. එවැනි අමානුෂික දඬුවම් ක්‍රමවලින් මිදී නව පිළිතුරු අප සෙවිය යුතු වේ.

මවුපියන්ට හෝ ගුරුවරුන්ට තම දරුවන් හික්මවා ගැනීමට කිසිවක් කළ නොහැක යන්න මෙයින් අදහස් නොවේ. ශාරීරික දඬුවම පවා අවම වශයෙන් ලබා දීමේ වක්‍ර ක්‍රම මවුපියන් ගුරුවරුන් සොයා අනුගමනය කළ යුතුයි. දරුවාට දිගු කාලීන මානසික හෝ ශාරීරික පීඩාවක් නොවීමට සැමවිටම වග බලා ගත යුතුය.

“මේ මානව හිමිකම් නිසා අපිට දරුවෙක් වත් හදා ගන්න බැහැ” යන්න නිතර ඇසෙන මැසිවිල්ලක්. මානව හිමිකම් බිහි වී ඇත්තේ මිනිසුන්ගේ ශිෂ්ට සම්පන්න බව පවත්වා ගෙන යාම සඳහාය. බටහිර රටවල අවශ්‍යතාවට මෙම සංකල්ප බිහි වී ඇති බවටද විවේචන පවතී. කෙසේ වෙතත් මානව හිමිකම් මිනිසුන්ගේ යහ පැවැත්ම තහවුරු කරයි. සංස්කෘතික ආකල්ප සමඟ තුලනය කර ගනිමින් ඒවාට අනුගත වීමට පුරවැසි අපa උපක්‍රමශීලී විය යුතුය.

ළමයින් හික්මවීමට පුළුවන් තරම් මානුෂික ක්‍රම, දිගුකාලීන හානි ගෙන නොදෙන ක්‍රම අනුගමනය කරමු. හරියට කිරි හොද්ද කැටි නොගැහෙන්න සීරුවට හැඳි ගාමින් අඩු ගින්දරේ උයා ගන්නව වගේ..