දරුවන් මෙච්චර ප්‍රචණ්ඩ ඇයි?

මැයි 19, 2025

නවකදය නිසා සිසුවෙක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධියත් එක්ක හැමෝම නවකවදය ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතින් නවකවදය අපි දන්න කාලේ ඉඳලම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ තියෙන දෙයක්. නවකවදය තරම් නරක දෙයක් මේ ලෝකේ තවත් නැහැ.

 

අපේ රටේ විශ්වවිද්‍යාලයකට අලුතින් යන්න වෙනමම කියලා වද විඳින්න ඕනේ නැහැ. මොකද උපන්දා සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වාම දරුවෝ ඕන තරම් වද විඳලා තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාලයට යන බහුතරයක් දරුවන් පොහොසත් අය නෙවෙයි. මොකද ධනයක් තියෙන, බලයක් තියෙන, නිලයක් ති‍ෙයන මවුපියන්ගේ දරුවන් ගොඩක් වෙලාවට යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නැත්නම් පිටරටවල විශ්වවිද්‍යාලවලට. අනික ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය කෙටි කාලයකින් නිමා වෙන්නේ නැහැ. ඇදි ඇදී දිගු කාලයක් යනවා. ඉතින් ලොකු කාලයක් විශ්වවිද්‍යාලයට කැප කරන්න වෙනවා. අරගල, පිකටින්, වැඩවර්ජන වගේ දේවල් එක්ක මේ කාලය ගත වෙනවා.

 

මේ විදිහේ මානසික මට්ටමකින් ඉන්න අයගේ අතීතය ගැන, සමාජ චර්යාවන් ගැන සමාජ පර්යේ්ෂකයෝ විදිහට අපි හොයලා බලලා තියෙනවා. එතකොට අපිට තේරෙන දෙයක් තමයි හොඳ පාසල්වල ඉගෙන ගත්ත වැදගත් මවුපියන්ගේ දරුවන් කවදාවත් තළා පෙළා තව කෙනෙක්ට හිංසා කරන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම පෙළඹෙන දරුවෝත් ඉන්නවා. ඒ ගොඩක් අය යම්කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන අය නැත්නම් දුෂ්කර ළමා වියක් තිබුණු අය. ගොඩක් වේලාවට ඒ වගේ අය තමයි මේ නවකවදයට යොමු වෙන්නේ.

 

දැන් මේ නවකවදය තුරන් කිරීම සම්බන්ධව ලොකු සමාජ කතිකාවක් අවශ්‍ය නැහැ. හොඳම දේ තමයි නවකවදය ලබා දෙන අයට දීර්ඝකාලීන දඬුවම් ලබා දෙන්න ඕනේ නැවත විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි වෙන්න, නැවත කිසිම අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න බැරිවෙන්න. ඒ අයට ඒ දඬුවම් දෙන්න ඕනේ. මොකද මේ දරුවන් ඉන්නේ තේරුම් ගන්න බැරි වයසක නෙවෙයිනේ. පොඩි දරුවන් නෙවෙයිනේ.

 

සිංදුවක් කියලා පොඩි නර්තනයක් කරන එක නවකවදයක් නෙවෙයි. ඒක හඳුනා ගැනීමක්. හැබැයි අඩන්තේට්ටම් කරලා, ලිංගික අවයව ප්‍රදර්ශනය කරන්න කියලා අණ කරලා, ලිංගික අවයව පුච්චලා සිදුකරන පරපීඩා කාමුකත්වය කියන්නේ ලෙඩක්. අනිත් කෙනාට රිදවලා සතුටු වීම මානසික ලෙඩක්. පසුගියදා සිදු වූ නවකවද සිදුවීමට ගැහැනු ළමයි කිහිප දෙනකුත් සම්බන්ධ වෙලා හිටියා. ඒ ගැහැනු දරුවන්ගේ පවුල්වල තත්ත්වය හොයලා බලන්න ඕනේ. ඒ දරුවන්ගේ පවුල්වලට සමෘද්ධි සහනාධාර ලැබෙනවනම්, ශිෂ්‍යත්වය දෙනවනම්, මහපොළ ලැබෙනවනම් ඒ සියල්ලම අහෝසි කරන්න ඕනේ. එයාට දැනෙන්න අරින්න ඕනේ එයා ඒ කරපු වැඩේ බරපතළ කම.

 

හුදෙකලා දරුවෙක් මහා වෘක රැළකට මැදි වුණාම මොනතරම් දුකක් විඳිනවා ඇත්ද? මම එදත් නවකවදයට විරුද්ධයි. මම අදත් නවකවදයට විරුද්ධයි. මම විශ්වවිද්‍යාලයට යන කාලේ එක ගැහැනු ළමයෙක් හිටියා එයා මට හරියට රිදෙව්වා. පස්සේ කාලෙක එයාව මට හමුවුණා කොළඹ නගරයේදී. මම ඇහුවා ඇයි ඔයා මාව ඒ විදිහට රැග් කළේ කියලා. එයා කිව්වා ඔයාව සෝෂල් කරන්නනේ මම ඔයාව රැග් කළේ කියලා. නුවර නාගරික ප්‍රධාන පාසලක ඉගෙන ගත්ත මට, ඈත ගමක දුෂ්කර පාසලක ඉගෙන ගත්ත ළමයෙක් රැග් කරලා මාව සෝෂල් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? එකේ තියෙන්නේ මට නැත්නම් උඹටත් එපා, මට කරන්න බැරි දේවල් උඹත් කරන්න එපා කියන එක කියලයි මම හිතන්නේ. ඕකෙන් වෙන්නේ සමානාත්මතාවය ඇති වීම කියලා කිව්වට මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මේක පන්ති වෛරයක්. තව කෙනකු ඉස්සරහට යනවා බලන් ඉන්න බැරි මානසික රෝගීන් තමයි මේවා කරන්නේ. මේ දරුවන් මේ විදිහට හැසිරීමට එයාලගේ මවුපියනුත් වගකියන්න ඕනේ.

පසුගියදා නවකවදය සිදුවීම එළියට එන්නේ උසස්පෙළ ප්‍රතිඵල පිටවීමත් එක්ක. ඒ වේලාවේ ගොඩක් මවුපියෝ කිව්වා අපිට දරුවව විශ්වවිද්‍යාලයට යවන්න බැහැ බයයි කියලා. ඒකෙන් වෙන්නේ ශ්‍රී ලාංකේය දරුවන්ට තියෙන අවස්ථා අඩු වෙනවා. දැනටත් විශ්වවිද්‍යාල වැටිලා. ආචාර්යවරු විදෙස්ගත වෙලා, සම්පත් නැහැ. ළමයිනුත් තනියම ඉගෙන ගන්න උනන්දුවක් නැහැ. පොතක් පතක් කියවන්නේ නැහැ. මේ රැග් කරපු ළමයි දෙතුන් දෙනෙක්ට කතා කරලා මඩොල්දූව, ගම්පෙරළිය පොත් ගැන ඇහුවොත් ඒවා දන්නෙත් නැහැ.

 

මේ නවකවදය දෙන දරුවෝ කවුද කියලා හොයාගන්න ඕනේ. හොයලා ඔවුන්ව සමාජයෙන් කොන් කරන්න ඕනේ. ඒහෙම කරලා මේ තත්ත්වය හැදෙන්නේ නැති නිසා ඔවුන්ව මානසික වෛද්‍යවරුන්ට පෙන්වන්න ඕනේ. මොකද මෙහෙම පරපීඩක කාමුකත්වයට යොමු වෙච්ච අය දවසක විවාහ ජීවිතත් විනාශ කරගන්නවා. මොකද විවාහ ජීවිතයේදිත් ඔවුන් කරන්නේ අනිත් පාර්ශ්වය වේදනාවට පත්කරන එක.

මම දන්න එක ළමයෙක් එයාගේ අැඟිල්ලේ ඇතිවුණ තුවාලයකට ඕඩික්ලෝන් දැම්මා. ඒක හරි දැවිල්ලයි. එයා පුරුදු වුණා ඒ දැවිල්ලට. එතැන ඉඳන් එයා ඇඟිලි තුවාල කරගෙන ඕඩික්ලෝන් දාන්න පුරුදු වුණා. ඒක මානසික ව්‍යාධියක්. ඉතින් කවුරු හරි කියනවනම් ඉගෙන ගන්න නවකවදය ඕනේ, සමාජයට ගේන්න සෝෂල් කරන්න ඕනේ කියලා ඒක බොරුවක්. ඉතින් අපි හැදුණ විදිහ වෙනස් කරන්න ඕනේ නැහැ.

 

අම්මා කෙනෙක් විදිහට, මලක් වගේ හැදුණු ළමයා හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගියාම කටු ඇනලා, පුච්චලා තළා පෙලා දැම්මම ඒක අම්මා කෙනකුට දරා ගන්න පුළුවන් ද? තමන්ගේ පුතා දුක් විඳලා ලොකු සටනක් කරලා අන්තිම හුස්ම වාතලයට මුසු කළා කිව්වම කොච්චර පව් ද? හැබැයි ඒ දරුවට වද දීපු අයට කොයි වේලාවක හරි ස්වභාවධර්මය දඬුවම් කරනවා.

 

ඇයි මේ දරුවන්ට මෙහෙම වෙන්නේ. ඒ දරුවන්ට ඇති මවුපියන්ගේ පීඩනයක්, සමාජයෙන් බලපෑමක්. ඒ ගොඩක් ළමයින්ට වේලක් හැර වේලක් තමයි කන්න ලැබෙන්නේ. ඒ දරුවා එතකොට කරන්න ඕනේ ඒ අම්මා තාත්තට ගෙදර ආර්ථිකය හදාගන්න උදව් කරන එකයි. හැබැයි මේ දරුවෝ ඒවා හිතන්නේ නැහැ. මේ දරුවෝ ඒ පීඩනය පිටකරන්නෙ අහිංසක දරුවන්ගේ පිටින්.

 

මම දන්න එක දරුවෙක් ඉන්නවා. ඔහු නවකවදය දීලා දරුවන්ව තළා පෙළපු ශිෂ්‍යයෙක්. ඔහුගේ පියා කරන්නේ කුකුළු මස් ව්‍යාපාරය. ඉතින් ඒ දරුවා දකින්නේ කුකුළන්ගේ බෙලි කඩන ඒවා, කුකුළන්ට වද දීලා මරන එක. ඒ දරුවත් හිතුවා මේක තමයි හරි කියලා. ඉතින් එයත් කළේ අනිත් අයට වද දෙන එක. අන්තිමට අනතුරකින් එයාගේ කකුල් දෙකම කපන්න වුණා. ඉතින් නවකවදය දෙන දරුවෝ හිතන්න හොඳ නැහැ අපි මේ කරන දේවල්වලින් අපිට බලපෑමක් වෙන්නේ නැහැ කියලා. අපි දෙයක් කළොත් ඒක අපිට පෙරළා ලැබෙනවා. මේ රැග් කරපු ළමයින්ගේ ප්‍රේමවන්තයන්ට, ප්‍රේමවන්තියන්ට මම කියන්නේ අනුන්ව රිදවලා සතුටු වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඔවුන්ට මානසික ප්‍රතිකාර අවශ්‍යයි. ඒ නිසා විවාහය ගැන හිතන්න කලින් ඔහුව හෝ ඇයව ඉක්මනින් මනෝ වෛද්‍යවරයකු ළඟට අරගෙන යන්න. ඒ වගේ රෝගී කෙනෙක් නිරෝගී කෙනෙක් එක්ක ඉද්දී ඒ නිරෝගී කෙනත් රෝගී වෙන්න පුළුවන්.

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව