කළු වලාවේ රිදී රේඛාව ඔබ දුටුවාද?

ජූලි 8, 2020

'සෑම කළු වලාවක ම රිදී රේඛාවක් ඇත' යන්න අසා තිබුණ ද එහි සත්‍ය අසත්‍යතාව සෙවීමට මට මෙන්ම ඔබට ද නොහැකි වන්නට ඇති. පරිසරය විඳින්නට, යමක් දෙස විවේකී මනසින් සිතන්නට කොටින් ම තමා ගැන පවා විවේකීව සිතන්නට අපට කාල වේලාවක් නොතිබුණි. එපමණට ම අපි සියල්ලෝ ම කාර්යබහුල වීමු.

එහෙත් ඒ කාර්යබහුලත්වයෙන් අප ලැබූ දේ කුමක්දැයි යන්න සිතා බැලීමට අපට පමණක් නොව, මුළු ලොවට ම යම් විරාමයක් ලබා දීමට සොබා දහම කටයුතු කළේය.

දැන් විමසුම් මනසින් අපි බලමු... කළු වලාකුළක් අහසට නැඟි විට ඒ වලාකුළ දෙස බලන්න.. කළු වලාව සොබාමත් නැත. සිතට නංවන්නේ මහ වැස්සක පෙර නිමිති ය. එහෙත් හොඳින් එදෙස බැලූවකුට ඒ වලාව වටා ගිය රිදී පැහැ රේඛාවක් දැකීම අසීරු නැත. එයින් පවසන්නේ එළිය සැඟව පැවතිය ද වැස්සෙන් පසුව නැවතත් හිරු පායන බවයි. එය අපට ද හොඳ ආදර්ශයකි.

ජීවිතයේ එක් එක් සිදුවීම් නිසා මනසින් වැටිය යුතු නැත. බොහෝ විට අමිහිරි සිදුවීමකට පසුව සුබදායී දෙයක් සිදුවිය හැකිය. එහෙත් එය එසේ වන්නේ අපගේ සිතුවිලි අනුවයි. හිරු රැස් ද මහ කරදරයකැයි සිතන අයකුට එම රිදී රේඛාවෙන් වැඩක් නොවිය හැකිය. එහෙත් කරදර කාලයකින් පසුව ලැබන ඉසිඹුව සාර්ථකත්වය කරා යන්නකුට අගනේ ය.

කොවිඩ් 19 වසංගතය සෑම අයකුගේ ම සාමාන්‍ය දිවි පෙවෙත වෙනසකට ලක් කළේය. අධ්‍යාපන කටයුතු අඩාල වීම, රැකි රක්ෂා අහිමි වීම, ව්‍යාපාර බිඳ වැටීම, විනෝද ගමන් යාමට නොහැකි වීම, මිතුරු ඇසුර සීමා වීම ආදී බොහෝ කාරණා මේ අතර වේ.

දරුවන්ට පාසල් යාමට, ටියුෂන් පන්ති යාමට නොහැකි වූ බව සැබෑ ය. එහෙත් ඉර උදාවත් සමඟ පාසලටත් ඉන් පසුව අමතර පන්තිවලටත් ඉර අවරට යන මොහොතේ නැවත නිවෙසටත් පැමිණෙන දරුවන් ගෙවූයේ ඉතාමත් කටුක දින චර්යාවකි. මේ කාලය දරුවන්ට ලැබුණු ආශ්චර්යමත් නිවාඩුවකි. වෙනදා පාසල් නිවාඩු ලැබුණ ද අමතර පන්ති පැවතිණි. දරුවන්ට නිවාඩු වුවද මවුපියන් රැකියාවල යෙදිණි. මවුපියන් සමඟ එක්ව නිවෙසේ ගත කරන්නට, ගෙවත්තේ වැඩවල යෙදෙන්නට, ගහකොළ සමඟ ගනුදෙනු කරන්නට, මුළුතැන්ගෙයි ආහාර පිළියෙල වන ආකාරය දකින්නට හා මුළුතැන්ගෙය පර්යේෂණාගාරයක් කරගනිමින් ආහාර වර්ග සැකසීමට දරුවන්ට ලැබුණු මේ අවස්ථාව අමිල ය. දැන් බොහෝ දරුවන් නිවෙසේ වැඩ කටයුතු සිදුවන ආකාරය ගැන දැනුමක් පවතින හෙයින් නිවෙසේ වැඩවලට මවුපියන්ට උදවු කිරීමට පවා පෙලඹී ඇත.

ඒ නිසා දරුවන්ට පොතේ පතේ අධ්‍යාපනය තරමක් අතපසු වුවද ජීවන තක්සලාවෙන් ඔවුනට බොහෝ පාඩම් කියා දීමට සමත් විණි. ඒ පාඩම් ඔවුනගේ මුළු ජීවිත කාලයට ම වැදගත් වූවකි. එමනිසා ඒ කාලය අපතේ ගියා යැයි කිසි විටෙකත් නොසිතන්න.

ලොකු පොඩි කාහටත් පොත් කියවීමට කාලයක් නැති වුවද දැන් එළඹී ඇත්තේ නැවතත් පොත් පත් හා මිතුරු වීමේ කාලයයි. විෂයානුබද්ධ පොත් පත් පමණක් පරිශීලනය කළ දරුවන්ට විෂය පරිබාහිර පොත් පත්, ප්‍රබන්ධ, නවකතා, කෙටිකතා ආදිය කියවා දැනුමින් පෝෂණය වීමටත් රසවින්දනය ලබා ගැනීමටත් හැකියාව ලැබී ඇත.

 

2020/07/08 තරුණි පුවත්පත බලන්න.