ලොව සොඳුරුතම හමුවීමට ඔබත් සූදානම් ද?

ඔක්තෝබර් 10, 2022

 

ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලේ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.

අදත් උදෑසන ම සුපුරුදු පරිදි සේවා ස්ථානය කරා පිටත් වූ මා බසයෙන් බැස මඳ දුරක් යද්දී, "මිස් ටිකක් ඉන්නකෝ...."

කවුරුන් හෝ උස් හඬින් අමතනු ඇසුණේ ය. මා නතර වී වටපිට බලද්දී මසක් පමණ වයසැති දරුවකුත් සමඟ තරුණ යුවළක් මා දෙසට සිනහ මුහුණින් යුතුව එනු පෙනුණා.

 

තම දරුවා ඉතා ආදරයෙන් තුරුලු කරගෙන සිටි ඇය,

"මිස්ට මාව අඳුරගන්න පුළුවන් ද?" ඇසුවාය.

මා හට නිශ්චිත මතකයක් නොවූ මුත්,

"මට ටිකක්' මතකයි වගේ.... ඒත් හරියටම අඳුරගන්න අමාරුයි..." කීවෙමි. ඉන්පසු ඇය මගේ මතකය අවදි කිරීමට උත්සාහ ගත්තා ය.

 

"මිස්ට මතක ද මම තමයි රෝහලේ නතර වෙලා ඉඳිද්දි එක චීත්ත රෙද්දයි මා ළඟ තියෙන්නෙ කියලා මිස්ට කිව්වෙ එදා"

 

මීට සති කිහිපයකට කලින් සිදුවීමක් වෙත මාගේ මතකය දිව ගියා ය. දැන් මට ඇය හොඳින් මතක ය. ඇය මෙසේ නැවතත් මුණගැසීම මට ද ඉමහත් සතුටකි. මා හට නැවත නැවතත් ස්තූති කළ දෙපළ තම කුලුඳුල් දරුවාත් සමඟ පිටත්ව ගියේ ලොව ඇති වටිනාම වස්තුව තමන් සතු කරගත්තාක් මෙන් ප්‍රීතියෙනි.

 

ඇය මා හට මුණගැසෙන විට ඇගේ ජීවිතයේ සොඳුරුතම අවස්ථාවක ඇය සිටියා ය. ඇය මේ සූදානම් වන්නේ ඇගේත් ආදරණීය සැමියාගේත් සුන්දරම සිහිනය සැබෑ කර ගැනීමට යි. තම කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වූ ඇය මා දකින විට බොහොම බියෙන් කලබලයෙන් ඒ මේ අත බලමින් ඇස්වල කඳුළු පුරවාගෙන සිටියාය. ඇයට තම ආදරණීය සැමියා, තම පවුලේ ආදරණීයයන් ඇයගේ සහයට මේ මොහොතේ සිටියා නම් යැයි සිතෙන්නට ඇත. ඇය දෙස මඳක් දුර සිට බලා සිටි මා ඇයගේ අපහසුතාව පිළිබඳව විමසීමට ඇය අසළට ගිය විට ඇය මගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලීමක් කළා ය.

 

"අනේ මිස්, මං ළඟ චීත්ත රෙදි එකයි තියෙන්නෙ. මට කාටවත් බණින්න එපා කියන්න. මහත්තයා හවසට එද්දි ගෙනත් දෙන්නම් කිව්වා..."

 

ඇගේ ඇස්වල මහා අසරණකමක් සටහන් වී තිබුණි. මා ඇයට කිසිවකු දොස් පවරන්නේ නැති බවක් ඇයට උපරිම සහාය ලබා දීමට රෝහල් කාර්ය මණ්ඩලයේ සැවොම කාරුණික වන බවක් ඇයට පැහැදිලි කර ඇගේ සිත සැනසුවෙමි.

 

සෑම ගර්භණී මවකට ම පහසුවක් වනු ඇතැයි සිතා රෝහල් සායනය තුළින් ගර්භණී මවකට අවශ්‍ය භාණ්ඩවල ලේඛනයක් සපයා ඇතත් එය සර්ව සම්පූර්ණවීම අනිවාර්යය කාරණයක් නොවේ. වඩා වැදගත් වන්නේ අවශ්‍ය මොහොතේ දී පමා නොවී ඔබ රෝහල වෙත පැමිණීම යි. මෙතරම් අමාරු ආර්ථික තත්ත්වයක් තුළ සියලු ම දෙනාට භාණ්ඩ ලේඛනයේ ඇති ආකාරයෙන් ම සියලු ම දේ සපයා ගැනීමට අපහසු විය හැකි ය. එම නිසා අප සකසුරුවම් ලෙස බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. හොඳින් පිරිසුදු කරගත්, දරුවාගේ ශරීරයට පහසු, පැරණි රෙදි වුවද භාවිතයට ගැනීමට ඔබට පුළුවන්. මවට අලුත් ම චීත්ත රෙදි ඕනෙ වෙන්නෙ නැහැ. හොඳින් පිරිසුදු කරගත් පැරණි චීත්ත රෙදි වුව ද භාවිත කිරීමට පුළුවන්. දෙවැනි තුන්වැනි දරු ප්‍රසූතියට සූදානම් වන මවක් නම් මීට පෙර ගර්භණී අවස්ථාවේ පාවිච්චි කළ බොහෝ බඩු බාහිරාදිය නැවත ප්‍රයෝජනයට ගැනීමට පුළුවන් වෙනවා. ඒ සඳහා කිසිවිටෙක පැකිළීමක් ඇති කරගත යුතු නැහැ. ඔබේ පවුලේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් බුද්ධිමත් කාන්තාවක් ලෙස අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට පුරුදු පුහුණු විය යුතුයි.

 

ඔබ හෝ ඔබේ පවුලේ දියණියක්, ඔබේ යෙහෙළියක් මේ වනවිටත් ලොව ඇති සොඳුරුතම හමුවීමට සූදානම් වනවා විය හැකි ය. මේ ලොව සොඳුරුතම හමුවීම ලෙස සඳහන් කළේ මවකට තම දරුවාත්, දරුවාට තම මවත් මුණගැසෙන සුන්දරම මොහොතයි. එම මොහොත අත්විඳීමට සූදානම් වන මවකට ඔබටත් හැකි පමණින් පුංචි හෝ උපකාරයක් ඔවුන් වෙනුවෙන් කරන්න. හැකි සැමවිටම ඇයට වචනයකින් හෝ සහාය වීමට කාරුණික වන්න.

 

ඉනෝකා සේනාධීර

කාසල් වීදියේ කාන්තා රෝහල

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි

මනෝ උපදේශිකා