නංගි බබෙක් හරි මල්ලි බබෙක් හරි ගේන්න ද යන්නේ එහෙම නම් ගෙදර ඉන්න බබා ගැන හිතන්නම ඕනෙ

නොවැම්බර් 7, 2022

 

 

හිරුන් පුතාට අම්මයි, අප්පච්චියි, පුංචිම පුංචි නංගි බබෙක් ගෙනැවිල්ලා. නංගි බබා ගෙදරට ගෙන ආ දවසේ ඉඳන් කවුරු කවුරුත් එනවා එයාව බලන්න. වෙනදා ගෙදරට ආපු අමුත්තෝ හිරුන්ව බලන්න ආවට දැන් එන්නේ නංගි බබාව බලන්නනේ. හැමෝම කතා කරන්නේ එයා ගැන. නංගි බබා අම්මා වගේ කියනවා. සමහරු අප්පච්චි වගේ කියනවා. තවත් සමහරු මං වගේ කියලත් කියනවා.

 

නිවෙසට අලුතින් සමාජිකයෙක් ගෙන එද්දී වැඩිමහල් දරුවන් හැසිරෙන්නේ කොහොමද? හසුරුවන්නේ කොහොමද? යන්න පිළිබඳ මාපියන් ඉතාම බුද්ධිමත්ව වටහාගත යුතුයි.

අලුතින් දරුවන් ගෙන ආ විට වැඩිමහල් දරුවන්ගේ බොහෝවිට හැසිරීම්වල වෙනසක් දැකිය හැකියි. සමහර අවස්ථාවල මේ කාරණය දරුවාට අහිතකර ලෙස බලපාන අතර, ඇතැම් අවස්ථාවලදී දරුවන් මානසික ගැටලුවලට මුහුණ පාවි. හැමවිටම කනස්සලෙන් ඉඳීවි. හැමදේම එපා වෙලා ඔහේ බලාගෙන ඉඳීවි. කෑම වර්ජනය කරාවි. නොකා නොබී නින්දට යාවි. බොරු ලෙඩ කියාවි. මේ අනුව depressionවලට ආවේණික රෝග ලක්ෂණ පෙන්නුම් කරාවි.

 

සහෝදර බැඳීම කුඩා දරුවකුට ඉතා වැදගත් වුවත් ඉතා කුඩා කාලයේදී දරුවා බොහෝවිට මවගේ අයිතිය සහ නිවෙසේ තමන්ට හිමි ස්ථානය අහිමි වීම පිළිබඳ තේරුම් ගත හැකි තරම් මේරූ මනසකින් යුතු නොවෙයි. වෙනදා අම්මගේ උණුහුමට ගුලි වී සිටියත් අද අම්මට තුරුලු වෙන්න අවස්ථාවක් නැහැ. මේ ගැන පුංචි මනසට දැනෙන දුක, තනිකම, කාංසිය කෙසේ නම් වදනින් විග්‍රහ කරන්න ද?

 

මේ නිසා වැඩිමහල් දරුවන් හෝ දරුවකු සිටින නිවෙසකට අලුත් සාමාජිකයකු රැගෙන එන විට දැන ගත යුතු කරුණු, ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මාපියන් දැන සිටිය යුතුමයි.

 

අලුත් බබා එන්න කලින්

මවගේ කුස ඉදිරියට නෙරාගෙන එන කාලයේ දී සහෝදරයකු පිළිබඳ හැඟීම සහ ආදරය ජනිත වන ආකාරයත්, අලුත් සාමාජිකයකු පැමිණීමේ වැදගත්කම, නංගි බ‍ෙබකු හෝ මල්ලි‍

බබෙකු ලැබීම පිළිබඳ ඇති සතුටුදායක කාරණා දරුවා සමඟ කතාබහ කරන්න දරුවාගෙන් අදහස් අහන්න. දරුවාගේ අදහස්වලට ගරු කරන්න.

 

අලුත් බබා සඳහා සූදානම් වන විට

නංගි බබාට හෝ මල්ලි බබාට අවශ්‍ය දේ සූදානම් කර ගැනීමට වැඩිමහල් දරුවා සහභාගි කරවා ගන්න. 'පුතාට ගාන සබන් ම අපි නංගි බබාටත් ගාමු ද? එයාට අපි අන්දන්න ඕනේ මොන පාට ද? ඔන්න, ඔයා මුල් කාලේ අන්දපු ඇඳුම් දැන් ඔයාට හිරයිනේ, අපි ඒවාම නංගියාටත් අන්දවමු නේද? ආදී වශයෙන් දරුවාගෙන් කරුණු කාරණා විමසන්න.

 

අලුත් දරුවා නිවෙසට ගෙන ආපසු

වෙනදාටත් වඩා වැඩිමහල් දරුවා පිළිබඳ අවධානය සහ සැලකිල්ල අවශ්‍ය වන කාලයකි. ඒ නිසා සෑමවිටම ඔහුගේ අවශ්‍යතා ඉටු කර දෙන්න, ඔහුට කන්දෙන්න.

ඇතැම් ආච්චිලා, සීයලා පුංචි දරුවන්ගේ මනස පිළිබඳ අවබෝධයක් නොමැති නිසා දෝ කවටකමට මෙන් වැඩිමහල් දරුවාට බාල දරුවා පිළිබඳ නොයෙකුත් දේ කියමින් සංසන්දනය කරමින් මනසට වධ දේ. මේ පිළිබඳ සැලකිල්ලෙන් සිටින්න.

කුඩා දරුවාගේ කටයුතු සඳහා වැඩිමහල් දරුවාත් හවුල් කරගන්න. පුංචි පුංචි වගකීම් භාර දෙන්න. 'කෑගහන්න එපා. නංගි නිදි, පොඩ්ඩක් ඉන්න, නංගි බබාගේ නැපි මාරු කරනකම්' වැනි දේ නොපවසා ඒ වෙලාවට 'අපි නංගිව නිදි කරවමු. අපි නංගිගේ නැපි මාරු කරමු, නැත්නම් පවුනේ නංගි චූ ගොඩේනේ ඉන්නේ' වැනි සංවාදවල වැඩිහිටි දරුවා සමඟ යෙදෙන්න.

 

අලුත් දරුවා සඳහා මිලදී ගන්නා සහ අලුතින් ගෙනෙන සෑම දෙයක් ම වෙනුවට වැඩිමහල් දරුවාට ද කුඩා යමක් හෝ මිලදී ගැනීම නිවෙසේ අයගේ වගකීමකි. එය දරුවා බලන්නට එන අයගේ යුතුකමකි.

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය

උපදේශිකා ශ්‍යාමලී පතිරගේ