පටු ප්‍රසව මඟ ඔස්සේ ජීවිතයේ අමාරුම ගමන එන පුංචි පැටියා

මාර්තු 13, 2023

 

අලුත උපන් පුංචි දරුවෙක් මෙලොවට බිහි වන්නේ ම අඬාගෙන. මේ පළමු ඇඬීමෙන්ම ස්වාධීනත්වය ලොවට ප්‍රකාශ කරන පුංචි පැටියා පුංචි පෙනහලු වාතයෙන් පුරවමින් හුස්ම ගන්න පටන් ගන්නවා.

මවු කුස තුළ දින 280 ක පරපෝෂිත ජීවිතයක් ගත කළ පුංචි ජීවියා තනියම ජීවිතයක් ඇරැඹීමට සූදානම්. සාමාන්‍ය ආකාරයෙන් කුසේ සිටින පුංචි පැටියට මෙලොවට පැමිණීමට ඇති මඟ අඩියක පමණ දුරක් වුවත් අවහිරයකින් තොරව දරු පැටියා බිහි කිරීමට ප්‍රසව මඟ එළි පෙහෙළි කිරීමට පැය ගණනක් ගත වේ.

 

මෙවන් වූ සංකීර්ණ ක්‍රියාවලියකදී ගැබ්ගෙල විවර වීම, ශ්‍රෝණි මේඛලාව ඉඩ සැකසීම, ගර්භාෂ සංකෝචනය ආදී ලෙස සිදු වන්නා වූ සිද්ධි දාමයන් අවසානයේ දරු පැටියා ප්‍රසව මඟ ඔස්සේ සීරුවෙන් පිටතට ඇදේ.

ඕනෑම පුද්ගලයකු සිය ජීවිත කාලය තුළ ආ අමාරුම ගමන වන්නේ ඉතාමත් පටු ප්‍රසව මඟ ඔස්සේ හිසෙන් ආ ගමන කීවොත් ඔබ පිළිගන්නවාද? සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ප්‍රමුඛව බිහිවන්නේ හිස කොටසයි. අනතුරුව උරහිස, අත්, ඇඟ, කකුල් ආදී ලෙස ස්වල්ප වේලාවක් තුළදී මුළු සිරුරම බිහිවීම සිදුවේ. කලාතුරකින් හිස ප්‍රමුඛ නොවූ දරු උපත් ද සිදුවේ. එවන් වූ අවස්ථා ප්‍රසූත සංකූලතා මතු වීමට ඉඩ සලසයි. කෙසේ වෙතත් සාමාන්‍ය දරු ප්‍රසවයකදී වුව ඉන් ඔබ්බට ගිය විශේෂිත අවස්ථාවකදි වුව (සීසර් ශල්‍යකර්මය, අඬු ප්‍රසවය, වැකියුම් ප්‍රසවය, අසාමාන්‍ය පිහිටීම් ඇති විට ආදී) මවගේත් ළදරුවාගේත් සුරැකී බව උදෙසා ප්‍රසව සහායක කාර්ය මණ්ඩලය ඉතාම වගකීමෙන් බැඳී සිටී.

අලුත උපන් පුංචි දරුවෙක් මෙලොවට බිහි වන්නේ ම අඬාගෙන. මේ පළමු ඇඬීමෙන්ම ස්වාධීනත්වය ලොවට ප්‍රකාශ කරන පුංචි පැටියා පුංචි පෙනහලු වාතයෙන් පුරවමින් හුස්ම ගන්න පටන් ගන්නවා. දරු සිඟිත්තා ගේ මුහුණ දකින්න, පළමු ඇඬීම අහන්න කොයිතරම් විඩා බර වුණත් අම්මා ඉන්නේ නොඉවසිල්ලෙන්. මෙතැන් පටන් ළදරු සිරුරේ සෑම සෛලයකටම අවැසි ඔක්සිජන් සැපයීමේ කාර්යය තමාම සිදුකරගන්නට පුංචි පැටියා සූදානම්.

උපතේදී කෑමොර දෙමින් නොනවත්වාම හඬන පුංචි බිළිඳුන් සේම එකවරම කෑගසා නොහඬන දරු පැටවුන් ද සිටියි.ඔවුන් හොඳින් හුස්ම ඉහළ පහළ දමමින් අතපය සොලවමින් නිරෝගී බව පෙන්වයි. දරු පැටියා මෙලොවට බිහිවී තත්පර 30 ක් යනතෙක් හඬන්නේ නැත්නම් උත්තේජන ලබා දී දරුවා හැඬවීම කරයි.

* උපන් විගස ම දරු පැටියා ඉපදුණු වේලාව සටහන් කරයි.

*හඳුනාගැනීමේ සලකුණක් ලෙස දරුවාටත් මවටත් එකම අංකය දෙදෙනාගේ අත්වල පලඳයි.

* පෙකනිවැල ගැට ගසයි.

පුංචි පුතාව හෝ පුංචි දූව අම්මට පෙන්වයි. ඒ වෙලාවට අම්මගෙ හමට හම ගෑවෙන්න පුංචි පැටියා ව අම්මා ළඟින් තියෙන්නත් අම්මගෙ සුපුරුදු උණුසුමත් එක්ක අම්මගෙ කිරි සුවඳ දරු සිඟිත්තට දැනෙන්න සලස්වන්න අමතක කරන්නේ නැහැ.

දරු පැටියාගේ මානසික වර්ධනය, ආත්ම ශක්තිය වඩවන්න වගේම අම්මට හොඳින් කිරි එරෙන්න මේ සංවේදී මොහොත බොහෝ සේ ඉවහල් වෙනවා.

* ඉන්පසු දරුවාගේ බර, දිග ආදී මිනුම් ලබා ගැනීම, ළදරු සිරුර පිස දමා ඇඳුම් ඇන්දවීම, උණුසුම් තුවායකින් ඔතා නැතහොත් උණුසුම් විදුලි බල්බයක් යට තැබීමෙන් හෝ Radiant Warmer නම් උපකරණය මත තබා දරුවා උණුසුම් කරයි.

* රුධිර වහන තත්ත්වවලින් අලුත උපන් බිලිඳා ආරක්ෂා කිරීමට ඉවහල් වන විටමින් K නික්ෂේපණය ලබා දේ.

මේ කටයුතු ඉතා ඉක්මනින් නිමා කර දරු පැටියා මව් තුරුලට යොමු කරයි.

* කිරි සුවඳින් ඔකඳවන දරු පැටියා මවගේ පියයුරට සම්බන්ධ වෙමින් හෙමින් හෙමින් කිරි උරා බොන්නට උත්සාහ කරයි. මෙය ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. ඉපදී හැකි ඉක්මනින් (පළමු මිනිත්තු 30 තුළ) පළමු කිරි උගුර ලැබෙන්නට සැලැස්වීම සෑම දරු පැටියෙක්ම සොබා දහමින් ලද දායාදයකි.

මේ අයිතිය සුරැකීමට ප්‍රසව කාර්යය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරයි. දරුවා කිරි උරා බීමත් සමඟ මවගේ මොළයට අසීමිත ආදරණීය පණිවිඩ ප්‍රමාණයක් යැවේ. එවිට කිරි එරීමට අවශ්‍ය කරන ඔක්සිටොසීන් හෝර්⁣මෝනය ස්‍රාවය වන්නට පටන් ගනියි. කිරි එරීමට පමණක් නොව මවගේ දරු ගැබ

හැකිළී යථා තත්ත්වයට පත් කිරීමට මෙම හෝර්මෝනයට හැකිවේ.

* පළමුව නිකුත්වන කිරි උගුරේ පෝෂණය පමණක් නොව පරිසරයේ අනේක විධ විසබීජයන්ගෙන් ආරක්ෂා වීමට ඇවැසි ප්‍රතිශක්තිය මෙහි ගැබ්ව තිබේ.

 

උපත ලියාපදිංචිය

දරුවා උපන් පසු සූතිකාගාරය තුළදීම දරු උපත ලියාපදිංචි කරයි.

 

දරුවාගේ තත්ත්වය ඇගැයීම

කෙතරම් යුහුසුළුව කෙරෙන ක්‍රියාකාරකම් අතර වුවත් දරු පැටියා නීරෝගි ද යන ලකුණ ලබා දීමේ පටිපාටිය ඔස්සේ විමසුමක් කෙරේ. දරු පැටියා උපන් විගස මුහුණ දෙන්නා වූ මෙම පරීක්ෂණය ඇප්ගාර් සංඛ්‍යාව(Apger Score) නම්වේ. උපන් විගස හා මුල් විනාඩි 10කදී පමණ මෙලෙසින් දරුවා පිළිබඳ විමසුම් කෙරේ.