අලුත් බබාට අලුත් තාලේට අලුත් දේවල්

Baby Essentials
මැයි 27, 2024

කුස පිළිසිඳ ගත් පුංචි පැටියා දුවෙක් ද පුතෙක් ද කියලා දැනගන්න තුරු ඉවසිල්ලක් නැත්තේ බබාට අවශ්‍ය අඩුමකුඩුම ටික කලින්ම අරන් තියා ගන්න එක ලෙහෙසියි පහසුයි නිසා. බබාට මුල් මාස 6 යනතෙක් අත්‍යවශ්‍ය වන බොහෝ දේවල් දරුවා උපදින්න කලින් මිලදී ගන්නේ මේ නිසයි.

නිවෙසකට, පවුලකට පුංචි අලුත් අමුත්තෙක් එකතු වෙද්දී අපි කොහේ හරි පදිංචියට යද්දි අපට ජීවත් වෙන්න ඕන බඩු ගෙනියනවා වගේම ඊටත් වඩා ලොකු සැලකිල්ලෙන් එයාට ඕන බඩු ටික එයා එන්න කලින්ම ලෑස්ති කරලා දෙන්න ඕනේ.

බබාගේ බඩු සූදානම් කරගන්න හොඳම කාලය

බබාට ඕන කරන ඇඳුම් පැලඳුම් ඇතුළු බොහෝ දේවල් සූදානම් කර ගන්න සමහර අම්මලා ලෑස්ති වෙන්නේ සාමාන්‍යයෙන් කුසට මාස තුනක් පිරෙන්නත් කලින් ඉඳලා.

බබාගේ බඩු ලෑස්ති කරගන්න පටන් ගන්න හොඳම කාලේ කුසට මාස පහක් විතර සම්පූර්ණ වුණහම.අම්මත් ඒ කාලේ සතුටින් ඉන්නේ. මුල් කාලේ ඇතිවෙන අපහසුතා මඟ ඇරිලා අම්මට ඒ තරම් අපහසුවක් දැනෙන්නේ නැති ඒ කාලේ හුඟක් හොඳයි බඩු ලෑස්ති කරගන්න. ඒ වගේම පැටියත් මාස පහෙන් එහාට වැඩි කාලෙ ප්‍රසූත වුණොත් අලුත් තාක්ෂණයත් එක්ක කොහොමත් ජීවත් කරවන්න පුළුවන් නිසා ඉක්මනට අවශ්‍ය දෑ සූදානම් කරගන්න එක හොඳයි.

ආසියාතික රටවල විවිධ විශ්වාස හා මත අනුව ළදරුවෙක් වෙනුවෙන් අවශ්‍ය දේවල් මිලදී ගන්නා කාලය වෙනස් වෙනවා.

ශ්‍රී ලංකාවේ නම් කලලයට යම් මාස ගණනක් (බොහෝ විට මාස 7) සම්පූර්ණ වන තුරු මෙය පමා කරයි.

ඉන්දියාව දරුවා උපත ලබන තුරුම ප්‍රමාද කරයි.

බටහිර රටවල නම් බොහෝ විට සිදු කරන්නේ ගර්භිණි කාලයේ අවදානම් කාල සීමාව ලෙස සැලකෙන මාස 3ක කාලය පසු වුණු වහාම අවශ්‍ය දෑ ලෑස්ති කර ගැනීමයි.

හැබැයි පැටියට ඕන කරන දේ පැටියා හදාගන්න ඕන කරන දැනුම රැස් කරගන්න ඕනේ ගැහැනු ළමයෙක් අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන කාලේ ඉඳලාමයි. මේකට කාල සීමාවක් නෑ. සමහර විට ඒක ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා වෙන්න පුළුවන්.

අලුත් අම්මලාට නම් බබාට බඩු ටික ගන්න එක පොඩි විප්ලවයක්. අත්‍යවශ්‍යම කරන දේවල් මොනවද කියලා සමහර වෙලාවට හරියටම හිතාගන්න බෑ. ආර්ථිකයට ගැළපෙන්න අවශ්‍යම දේ පමණක් මිලදී ගැනීමට අම්ම කෙනෙක් දැනුම්වත් වෙන්න ඕන. තව පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් නම් මේක ටිකක් තේරෙනවා. ගියපාර බබාට වැඩිපුරම මොනවාද ඕන වුණේ, අත්‍යවශ්‍යම මොනවද කියලා.

පැටියා ලැබෙන්න රෝහල්ගත වෙද්දී අවශ්‍ය කරන දේවල් ලැයිස්තුව විවිධ රෝහල්වලින් ලබාදෙන්නේ එකිනෙකට වෙනස් විදිහට.

නමුත් පොදු ලැයිස්තුවක් තියෙනවා. අපි ලබන සතියෙ තමයි ඒ ලැයිස්තුව ගැන වැඩි විස්තර කතා කරන්නේ. මේ කතා කරන දේවල් තුළත් රෝහල් ලැයිස්තුවේ අඩංගු දේවල් අන්තර්ගත වේවි.

අලුත් බබාට භාණ්ඩ මිල දී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

* අත්දැකීම් සහිත, ක්ෂේත්‍රයේ දැනුම ඇති හා විශ්වාසවන්ත අයගෙන් අවශ්‍ය දේ විමසා දැනුම ලබාගන්න. නැතිනම් ඒ පිළිබඳ පැහැදිලිව ලියැවී ඇති මාර්ගෝපදේශයක් භාවිත කරන්න.

* මිලදී ගත හැකි වෙළඳ ස්ථාන කීපයක්ම හඳුනාගන්න.

* අවශ්‍ය විය හැකි මුදල් කලින් වෙන්කර තබන්න.

* අතේ ඇති මුදලට සරිලන විදිහට අවශ්‍ය දේවල් ප්ලෑන් කරන්න.

* සමහර දේවල් තෑගි ලැබෙනවා කියලා දන්නව නම් හරි පවුලේ අය එක්ක කතා කරලා ඒගොල්ලෝ දෙන තෑගි මොනවද කියලා විමසලා බලන්න පුළුවන් නම් ඒවා නොගෙන ඉන්න.

සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු

* භාණ්ඩයේ හා නිෂ්පාදන ද්‍රව්‍යයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය

* සමට හිතකර බව – dermatologically-tested

* වෛද්‍ය අනුමැතිය – approved by paediatricians

* සුවපහසු බව

* අඩංගු අමුද්‍රව්‍ය, වර්ණක, සුවඳකාරක, සකස් කිරීමට යොදාගෙන ඇති ද්‍රව්‍ය ex. BPA free

* අවශ්‍ය කරන ප්‍රමාණ

* භාවිතයේ පහසුව

* භාණ්ඩයේ අවශ්‍යතාව

භාණ්ඩ මිලදී ගැනීමට පෙර කළ යුතු දේ

* බබාට cosmetic brand එකක් තෝර ගනිද්දි කාලයක් භාවිත කරලා තියෙන ඇලජික් අඩු ස්වාභාවික සහ දේශගුණයට ගැළපෙන වෛද්‍යමය අනුමැතියන් සහිත (වෙළඳ දැන්වීම් සඳහා අනුමත කිරීමට පෙනී සිටින ඒවා නොව ඔබ පෞද්ගලිකව උපදේශන ලබා ගන්න පවුල් සෞඛ්‍ය, වෛද්‍ය හෝ ළමා සෞඛ්‍ය උපදේශන අනුමත කරන)

* බබා උපත ලැබීමට නියමිත කාලසීමාවේ පවතින කාලගුණය (උදා: වැසි අධික, උණුසුම්)අනුවත් ගත යුතු නොගත යුතු සමහර දේ තීරණය වෙනවා.

* භාණ්ඩය මිල දී ගැනීම අත්‍යවශ්‍යම ද

ඒ සඳහා යොදාගත හැකි ආදේශක ඇත් ද

එය තමන් විසින්ම නිර්මාණයකර ගත හැකි ද

ආදිය ගැනත් සැලකිලිමත් වීම සකසුරුවම් සහිත මවක් ලෙස ඔබ කළ යුතු දෙයකි.

 

Newborn baby checklist එකක් සකසා ගැනීම.

දරුවාගේ විවිධ අවශ්‍යතා කොටස් කිහිපයකට වෙන්කර අවශ්‍ය බඩු ලැයිස්තුගත කර හෙවත් චෙක්ලිස්ට් එකක් සකසාගෙන භාණ්ඩය මිලදී ගත් පසු හෝ ආදේශකයක් මිලදී ගත් පසු හෝ හරියකින් සටහන් කරන්න.එම භාණ්ඩය අවශ්‍ය නොවේ නම් හෝ පසුව තෑගි වශයෙන් ලැබේ නම් හෝ වෙනත් සලකුණුවලින් සටහන් කරන්න.

දරුවාට භාණ්ඩ මිලදී ගැනීමේදී විවිධ රටවල විවිධ විශ්වාස හා මතයන්, දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයත් සමහර භාණ්ඩ මිලදී ගැනීම සඳහා බලපෑවත් එය දැන් ලෝකයේ එතරම් සැලකිලිමත්වන කාරණාවක් නොවෙයි.

 

ස්ත්‍රී/ පුරුෂ බව හඳුනා ගැනීම

Gender Identification

ස්කෑන් පරීක්ෂාවක් සිදුකර කලලයේ ස්ත්‍රී පුරුෂ භාවය නිර්ණය කිරීම සිදුකර ඇත්නම් ඔබට අවශ්‍ය ලෙස ගැහැනු හෝ පිරිමි දරුවාට වෙනම වර්ණ භාණ්ඩ මිලදී ගත හැකියි. නමුත් ලෝකයේ එවැනි වර්ණ වෙන් කිරීම් සිදුකිරීම නවීනත්වයෙන් වියැකී යන බවක් පෙනෙයි. සම්මත රෝස, නිල් වර්ණවලින් බැහැරව දරුවාට අවශ්‍ය දේවල් සූදානම් කිරීම බොහෝ යුරෝපීය රටවල මාපියවරුන් සිදුකරයි.

 

දරුවාට ඇඳුම්

* නැපි, කුඩා කමිස,අතුරනයන්, පොරවනයන් වැනි දේ (මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡාව වෙනත් සතියක)

අවශ්‍ය ප්‍රමාණය විතරක් මිලදී ගන්න.

*නැපී මිලදී ගැනීමේදී හෝ මසා ගැනීමේදී නියමිත ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

* රෙදි වර්ගය සහ දරුවාට නිවෙසේදී භාවිතයට පරණ වොයිල් සාරි, කපු ඇඳුම් වැනි ඉවත දමන රෙදි වලින් සකසාගත් ඇඳුම් වඩා සුදුසු වේ. එය ආර්ථිකයට පහසුවක් සේම බබාටත් පහසුවක් ගෙන දෙන බව මතක තබාගන්න.

* නැපි කටු

බබාට ඇන්දවූ නැපිය රැඳවීම සඳහා බබාට ආරක්ෂිත මෙන්ම මවට පහසු ආකාරයෙන් තෝරාගත හැකියි.

 

ලබන සතියේ තවත් කොටසක්

 

උපදෙස් :

ළදරු හා ළමා

සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ