නිවසක සුන්දරත්වය වාගේම පිළිවෙළත් වැදගත්

ඔක්තෝබර් 21, 2020

සුන්දරත්වය වාගේම පිළිවෙළ කියන දේත් අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය සාධකයක්. ඕනෑම දෙයක පිළිවෙළ හරහා සුන්දරත්වය මතුකළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ යම් කැපවීමක් පමණි.

ජීවිතයේ පිළිවෙළ සේම නිවෙසේ පිළිවෙළ ද අපි ඉතා ඉහළින් අගය කරන්නෙමු. මන්ද පිළිවෙළකට සකසා ගත් නිවෙසක ජීවිතය වඩාත් සුවපහසු සොඳුරුබර එකක්වන නිසායි. නිවෙසේ කාමරයෙන් කාමරයට ඇවිදගෙන යද්දී ඇසට හසුවන ඒ පිළිවෙළ මනසට කදිම සැහැල්ලුවක් රැගෙන එනවා නොඅනුමානයි.

බලන්න, මේ අපූරු බිත්ති රාක්ක දෙස. පිළිවෙළත්, සොඳුරුබවත් දෙකම එක තැන දැකිය හැකියි. සිත් ඇදගන්නාසුලු විවිධ වර්ණ සහ චමත්කාර හැඩතල භාවිතයෙන් දෙනෙතට සැහැල්ලු සුන්දරත්වයක් රැගෙන ඇති අන්දම හරිම අපූරුයි නේද?

සාලයේ, විසිත්ත කාමරයේ නිතර දකින බිත්ති කබඩය, කැබිනට්ටුව වෙනුවට මෙවැනි සැහැල්ලු කුඩා රාක්ක කිහිපයක් එකතුකර බලන්න. ඔබේ නිවෙසට සෑබෑම වෙනසක් ගෙනේවි.

ඒ වාගේම මෙවැනි රාක්කවලට භාණ්ඩ එකතු කිරීමේ දී අවම භාණ්ඩ ප්‍රමාණයක් මෙන්ම විසිතුරු, සැහැල්ලු භාණ්ඩ එකතු කිරීමටත් වගබලා ගන්න.

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි