ව්‍යාපාරයකටත් නිවහනකටත් මේ නිර්මාණ සැලසුම සුදුසු දැයි බලන්න

තමුන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ඔබට කදිම විසඳුමක්
ජුනි 30, 2021

 

අපේ ජීවිත රිද්මය වෙනස් වෙලා එක තැනක නැවතිලා.... බොහෝ දෙනෙක් නැවතුන තැනින් ජීවිතය පටන් ගන්න සිහින දකිනවා. මේ කාලය සිහින සැබෑ කරගන්න හොඳම අවස්ථාව කියලා හිතන සමහරු තමුන්ගේම ව්‍යාපාරයක්, නිවහනක් තනා ගැනීමට මුල පුරන්නේ දහසක් බලාපොරොත්තු තබාගෙන.

මේ සියල්ලට අපට සැලසුමක් තිබීම ඉතාම වැදගත්. සැලසුමකට අනුව වැඩ කරන විට එය අනිවාර්යයෙන්ම සාර්ථකයි. විශේෂයෙන්ම ඔබ පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සිතනවා නම් හෝ දැනටමත් සුළුවෙන් හෝ ආරම්භ කර ඇත්නම් ඒ සඳහා පුංචි හෝ ස්ථිර තැනක් අවශ්‍ය වනවා. මෙය කුලියට හෝ බද්දට ගැනීමත් එතරම් සුදුසු නොවන්නේ මේ කාලයේ ව්‍යාපාරය කොයි මෙහොතේ නවතා දමන්නට සිදුවේ දැයි කියන්න බැරි නිසයි. එසේ වුවහොත් කුලිය ගෙවීමට නොහැකි වීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ සඳහා හොඳම පිළියම වන්නේ තමන්ගේම තැනක ව්‍යාපාරික ස්ථානය ගොඩ නගා ගැනීමයි.

එලෙස තමන්ගේම ව්‍යාපාරික ස්ථානයක් තනා ගැනීමට බලාපොරොත්තුවක් ඇති නම් එයට පුංචි අදහසක් දෙන්නයි අපේ මේ උත්සාහය.

මේ පුංචි ව්‍යාපාරික ස්ථානය ඔබේ නිවහනත් සමඟම ඉදිකර ගන්නට පුළුවන් නම් එහි වටිනාකම දෙගුණ තෙගුණ වෙනවා. විශේෂයෙන්ම මෙවැනි කාලයක තමුන්ගේම නිවහනක් හා ව්‍යාපාරයක් සඳහා ගොඩනැගිල්ලක් තනා ගැනීම විශාල අභියෝගයක්.

මේ අභියෝගය ඉතාම සාර්ථක ලෙසින් ජය ගැනීමට නිවෙසටම සම්බන්ධ වූ කොටසක එම කටයුත්ත සඳහා යොදාගත හැකි නම් එය විශාල ජයග්‍රහණයක්. නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ මුලින්ම නිවෙසක් තනා ගැනීමේ ඉලක්කය ජය ගැනීමයි. ඉන්පසුව ව්‍යාපාරයක් සඳහා ස්ථානයක් තනා ගැනීමට සැලසුම් කරන විට ඔබ අතේ මුදල් නෑ. නැතිනම් එය අසීරු ඉලක්කයක් බවට පත් වෙලා.

ඔබ මේ අවස්ථාවේදී බුද්ධිමත්ව කටයුතු කළොත් නිවෙසක් තැනීමේ සිහිනයත් ව්‍යාපාරික ස්ථානයක් සඳහා ගොඩනැගිල්ලක් තනා ගැනීමත් දෙකම එකවර ඉටුකර ගන්නා සැලසුමක් නිර්මාණය කරගත හැකියි. මුලින්ම ඔබ ඒ පිළිබඳ ඔබගේ නිර්මාණ ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න. ඉන්පසුව මෙවැනි නිර්මාණයක් ඔබට ඇති බව පැහැදිලි කරන්න. අප ඔබට ඉදිරිපත් කරන මෙවර නිර්මාණ සැලසුම එයට කදිම ආදර්ශයක්.

මෙය ඉතා කුඩා පරිමාණයේ නිවහනකි. කාමර දෙකකින් සමන්විත මෙම කුඩා නිවෙසේ ඉදිරිපස ප්‍රදේශය ව්‍යාපාර කටයුත්තක් සඳහා කදිමටම ගැළපේවි. මෙහි එක් පැත්තකින් රථ ගාලක් වෙයි. එයට ආසන්නව දිගු වැරැන්ඩාවකි. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් මෙම කොටස් දෙකම එයට ප්‍රයෝජනවත්ය.

උදාහරණයක් ලෙස සැලොන් එකක්, කුඩා ග්‍රොසරියක්, කොමියුනිකේෂන් එකක්, ෆාමසියක්, සිල්ලර කඩයක්, පොත් කඩයක් වැනි දෙයකට වෙන්කරගත හැකි වෙයි.

මෙම නිවෙසේ මැද සීමාවේ සාලයක් ද දක්නට ඇත. තවද පිටුපස කොටසේ කෑම කාමරයක් හා පැන්ට්‍රියක් දක්නට ලැබේ. මෙලෙසින් නිර්මාණය වූ මේ නිවෙස පර්චස් 7 ක් වැනි බිමක ඉදි වී තිබේ. එසේම ඔබට අවශ්‍ය නම් නිර්මාණ ශිල්පියා සමඟ සාකච්ඡා කර දෙමහල් නිවෙසක් ලෙසින් ද ඉදිකර ගැනීමට හැකිවනු ඇත.

දළ වශයෙන් ලක්ෂ 50 ක් වැනි මුදලකින් මෙහි මූලික කටයුතු නිමාකර ගැනීමට හැකියාව ඇති අතර ඔබගේ අවශ්‍යතාව අනුව එම ඇස්තමේන්තු මුදල වෙනස් වෙයි.

ඔබත් තමුන්ගේ ව්‍යාපාරයක් සමඟ නිවෙසක් තැනීමට සිහින දකින්නේ නම් මේ සැලසුම එයට කදිම ආදර්ශයක් කරගෙන සැලසුම් නිර්මාණය කර ගන්න.

 

උපදෙස්

කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක