පාඨක නිර්මාණ

Week of පෙබරවාරි 17, 2021

ඔබ සහ ප්‍රේමය
ජී. කේ. රමණී ලලිතා ~ ගල්ඇටුඹ - දෙයියන්දර

 

හිරු සැඟවිලා ගනඳුර රජකරන විට
තනිකම දැනෙනවා මේ මිහිතලයෙ මට
කාලය ගෙවීයන මොහොතක කඳුළ පිට
ඔබ පිවිසුණා මගෙ හදවත විවර කොට

සඳ ඇති රැයක සේපාලික මල් පිපෙන
මට සිසිලසක් වුණා හමනා මඳ පවන
මඳහස පපා පවසන විට මුදු වදන
මට සුරපුරක් ලෙස දැනුණා ඔබ සෙවණ

ගෙනදී සතුට කඳුළින් පිරි මගේ ලොවේ
මොහොතින් මොහොත ලැබුණත් හදවතට සුවේ
නොදුටුව ලෝකයක මිහිරක් හදේ මැවේ
කිසිවිට එයත් මා පැතු ආදරය නොවේ

බක්මී මලේ සුවඳට බඹරුන් එනවා
රොන් බී හිතුමතේ උන් මල හැර යනවා
වරද මලේ සුවඳ ද මට නොදැනෙනවා
වටහා ගන්න බෑ ලෝදම් කැරකෙනවා


 

අතීත මතක අතර
මාලනී සෙනෙවිරත්න ~ කහපන්විලගම - අනුරාධපුරය

 

හමනා සිසිල් සුළඟින් මඳනල සිඳින
අත්වින්දාය සිත්සේ සතුටින් සිහින
සැනසුම් සුසුම් පාවී යන හැටි නිතින
මිහිරකි සැනසුමකි හදවත කිතිකවන

හුස්මක සුවඳ හදවෙත දැනෙනා මොහොතේ
පහව ගියා මහමෙර තරමක ගිනි සේ
වැලිකතරට වැටෙනා පිනි බිඳුවක් සේ
අවදි වුණා ජීවිතයම හිරු සඳු සේ

සුළඟ ඇවිත් හැම රෑකම දොරකඩට
නළියයි හිතගාව පෙර මතකයන් මත
අවදිව මතක මං පෙත් මඟ දිග හරින
සිහිවිය අතීතයෙ සැමරුම් මග නොහැර

 

දෙහදක ප්‍රේමය
පුෂ්පා ආර්. නානායක්කාර ~ නවයාලතැන්න - කටුගස්තොට

 

වියපත් වුණත් පිපිලා හිනැහෙන මලට
රොන් පිරෙනවා නම් මල සතු පෙර පිනට
බඹරුන් ඇදේනම් පිපි මල අද්දරට
කුමක් කරනු මල හිත හොඳ වැඩිකමට

පාටක් තියේනම් ඇස තුටු කරන ලෙස
සුවඳක් විහිදවයි නම් සෙව්වන්දිය විලස
මල් පෙති සුමුදු නම් දෑතට දැනෙන යස
වින්දම මොකද? කිසිවෙක් පිපි මලේ රස

නොඉඳුල් මලක් මේරූ මුත් හැඩ ඇත්නම්
ආලය කරන්නට බඹරෙකු ඇදෙනවනම්
තාලය ගයන යුග ගීයට ගැලපේනම්
ලෝකය ඇයිද? දෙහදක ප්‍රේමෙට ඔච්චම්

මලක් පිපෙන්නේ පරවී යන්න නොවේ
දොළක් ගලන්නේ මුදු මාවතක නොවේ
වැලක් එතෙන්නේ ගස රිදවන්න නොවේ
දෙහදක ප්‍රේමයට බාධක නැතිව නොවේ

 

සිහිනය
චන්ද්‍රිකා පුෂ්පරාණි ජයවීර ~ රන්මුතුගල - කඩවත


 
 සිතුවිලි අහුරකට අත තියා
 වලාකුළු නොපෙනී ගියා
 දැන් මගේ ඒ සිතුවිලි
 කුඩ මසුන් රෑනක් වගෙයි
 ඉගිල යන්නට
 රොද බැඳෙයි
 ඇවිදිමින් යයි
 නැවත කැඳවයි
 සලා ඇසිපිය මාරුතේ...
 ආකාසයේ පිපි කුසුම්
 විහඟ සැණකෙළි මියැස්සේ
 හිරු මුවා කළ මඬුල්ලේ
 ඉඳුරු දැල් ඇසිල්ලේ
 හුදකලාවේ...
 මඳහසේ කැන් විසිර යයි
 පෙනි නොපෙනී
 ඇවිද යයි
 දසත අහසේ රැලි
 සුළි දෙයි
 මඳනල තනුවට රඟ දෙයි
 ඔබේ අතැඟිලි තුඩින්
 මිදිලා
 ඇහැපිල්ලමක් ළඟ
 පෙනි නොපෙනී මලක්
 පිනි කඳුළක් වගේ
 ඔහේ බැසගෙන ගියා
 සිප්පි කටුවක තුඩු තියා
 වෙරළෙහි මොනවදෝ
 ලියා...
 බැස ගියා හුදකලාවේ
 වලාකුළු නොපෙනී ගියා
 සිතුවිලි නොපෙනී ගියා
 

 

අබිසාරිකා
ඊ. ඒ. එම්. ඉදිරිසූරිය ~ මල්ලවපිටිය කුරුණෑගල

 

පුතේ අකුරු කරපන් නුඹ
මට අහිමි වූ ලොව දිනන්නට
දිරි ගනින් පුතේ
ඉරී ගිය කමිසයට අණ්ඩයක්
දමන්නම් මම...

වැහැරී ඉනෙන් වැටෙනා
කලිසමට කටුවක් ගහගනින්
දෙපා සිපගන්න මිරිවැඩි සඟළක්
නැතිවට... දිරි ගනින් පුතේ
දැනුමෙන් පිරිපුන් හොඳ මිනිහෙක් වන්නට

ඔන්න... ඉස්කෝලෙ සීනුව ගැහුවා
වතුර උගුරක් බී දුවපන්... දුවපන්...
නැත්නම් වේවැල රිදවයි උඹේ පුංචි අත

ගන අඳුර ගලා ආ විගසම පියා නැති
පුතුට සිප්කිරි පොවා
හොඳ මිනිහෙක් කරන්නට
නිශාචර යාමයේ
තනිවුණා ඈ... පහන් කණුවක් යට...


 

සිනාසෙන්න සඳවත
නිලන්ත අනුහස් ~ බැඳිවැව - තඹුත්තේගම



වලා කැකුළු අතරින් සඳ පියුම මෝරලා
හිනැහෙන දඟ කරන නුඹේ රුවම දෙස බලා
ආදරයෙන් සෙනෙහෙ පැතුම් හදෙහි දවටලා
සිනාසෙන්න සඳවත නුඹ සෙනෙහෙ පවසලා

පාළු රැයක ගන අඳුරක් නොමැත හද දරා
සිනාසෙමින් ආනන්දය හැඟුම් මෝරලා
සිහිල් පිණිදියෙන් නෑවෙන පිවිතුරු පවසා
දැවුණු සිතේ ගිනි නිවන්න පවනැලි සලලා

දුරින් දකින මුදු සිහිනේ පැතුම් මල් දරා
නිවා ගන්න හැඟුමන් ඇත නේක දුක් දරා
සිසිල දසත ඉසිමින් මඳහසින් ඉඟි කළා
සිනාසෙන්න සඳවත මල් සෙනෙහෙ පවසලා


 


හුදෙකලා වූ සිතක රාත්‍රියේදී ඉපිදෙන හැඟුම් ධාරාවක චමත්කාරය කවියට නගයි. සොබා සෞන්දර්යයේ අසිරිය දකිමින් පෙම්වතිය අමතයි. සඳවත ඔහුගේ ආදරයයි.

Week of පෙබරවාරි 17, 2021