පාඨක නිර්මාණ

Week of මාර්තු 3, 2021

සෙනෙහස
ජේ. ඒ. ආර්. එච්. මැණිකේ ~ මොටෑමුල්ල - යෝගියාන

 

සෞම්‍ය සඳ කිරණ වගේ
දෝර ගලන සෙනෙහස පිරි
අම්මගෙ මුදු වදන් පේළි
ගයනා සෙත් කවි වාගේ

දැලි කුණු පිරි අතින් ඔබේ
කැව් බත් ගුලි හරිම රහයි
කුස්සියෙ හැලි වළං එක්ක
ගැටෙනා ඔබ මට රැජිනකි

වත්ත පහළ ඇළේ දමා
පොල් අතු පොඟවා වියළා
ඇති දැඩි කළ අම්මෙ ඔබයි
මගේ ජීවිතේ සිතුවම

අකුරක් බැරි අම්මාගේ
දයා ගුණය පිරුණු හිතේ
මං පාසල් යනකොට නම්
මුහුණ පුරා හිනා මලයි

අම්මගේ සෙනෙහස ගැන
මම ලියනා මගෙ කවි පොත
පිළිගන්වන්නේ කාටද
මහ ලොකුවට උජාරුවට
මගේ අකුරු බැරි අම්මට
පුද දෙමි මහ මෙරක් ලෙසින්

ජේ. ඒ. ආර්. එච්. මැණිකේ
මොටෑමුල්ල - යෝගියාන

සෙනෙහස
සෞම්‍ය සඳ කිරණ වගේ
දෝර ගලන සෙනෙහස පිරි
අම්මගෙ මුදු වදන් පේළි
ගයනා සෙත් කවි වාගේ

දැලි කුණු පිරි අතින් ඔබේ
කැව් බත් ගුලි හරිම රහයි
කුස්සියෙ හැලි වළං එක්ක
ගැටෙනා ඔබ මට රැජිනකි

වත්ත පහළ ඇළේ දමා
පොල් අතු පොඟවා වියළා
ඇති දැඩි කළ අම්මෙ ඔබයි
මගේ ජීවිතේ සිතුවම

අකුරක් බැරි අම්මාගේ
දයා ගුණය පිරුණු හිතේ
මං පාසල් යනකොට නම්
මුහුණ පුරා හිනා මලයි

අම්මගේ සෙනෙහස ගැන
මම ලියනා මගෙ කවි පොත
පිළිගන්වන්නේ කාටද
මහ ලොකුවට උජාරුවට
මගේ අකුරු බැරි අම්මට
පුද දෙමි මහ මෙරක් ලෙසින්

නාඬන්න දූ මැණික අප්පච්චි ඉන්නවා
ඉමාෂා සත්සරණි ~ සංඝබෝධි ජාතික පාසල - නිට්ටඹුව

 
 නවතන්නෙ කොහොමදැයි කඳුළු කැට වැටෙනවා
 දූ මැණික පෝරුවේ අතැඟිලිත් බඳිනවා
 කිරි නොවූ සෙනෙහසක් දහදියෙන් ගලනවා
 මහ මෙරක් වන් සෙනෙහෙ අද දෙකට බෙදෙනවා
 
 නිම නොවූ සිනා වැල් හද දෙබෑ කරනවා
 රන්තෙත පණ මගේ උරුමකම් ලියනවා
 බදාගෙන වැළපෙන්න හිතත් බල කරනවා
 දූ මැණික මා දමා නොයන බව දන්නවා
 
 වාවන්න බැරි තැනදි හද රිදුම් ගෙනෙනවා
 සෙනෙහෙ ගඟ අෂ්ටකම වදන් කර කියනවා
 ඉවසන්නෙ කොහොමදැයි මගෙ මැණික අඬනවා
 නාඬන්න දූ මැණික අප්පච්චි ඉන්නවා
 

  
 තම දියණිය විවාපත්වන මොහොතේ පියකුගේ හද උපන් දුක සතුට මුසු සංවේදනා කවියට නගන්නී පාසල් සිසුවියකවිම මෙහි විශේෂත්වයයි. පිය සෙනෙහස දෙස දයාවෙන් බැලූ අපූර්ව නිර්මාණයකි.

දීග නොගිය දියණියට
තරංගා නෙළුම් ගුණතිලක ~ මුණගම - හොරණ

 

මලක් මෙන් සුන්දරය නුඹේ ඔය රු සපුව
නෙළන්නට පිං නැතිද පිනැති පුත් රුවනකට
සඳක් මෙන් පැහැබරය දියණියේ නුඹගෙ වත
අහස් ගැබ දිදුලන්නෙ නුඹෙ ඔය පැහැයටය

කෙළිදෙලෙන් නුඹ සමඟ සිටි නුඹේ යෙහෙළියෝ
සුපෙම්බර හැඟුමින් පුබුදුවා සිත් තුටින්
අතිනතගෙන සොඳුරු යෞවනයෝ සමඟින්
ඔවුන්ගේ කැදැලි වෙත පියඹලා ගොසින්

දරු පැටවුන් ද සමඟින් පියඹලා ඇවිත්
උන් ඉදියි සෙනෙහසින් දෙමව්පියො ළඟින්
දියණියේ නුඹේ කුස ඉපදෙනා පුතෙක්
බලන්නට ආසයි මා මියැදෙන්න කලින්

අසයි නුඹෙ තතු ගැන හැම කෙනා දුකින්
නෙත් කෙවෙනි රතුවෙනවා එවිට මගෙ සොවින්
මලක් වුව දිනෙන් දින වැටෙයි පෙති එකිනෙකින්
මට බයයි දියණියේ තනිවේ ද නුඹ දුකින්


 

විනිවිදින සිත්
රුවන්මලී දීපිකා කොඩිකාර ~ පූගොඩ


 
 කාලයේ වැලි තලාවක් යට
 රළ වැදී මැකෙනා වෙරළ ඉම
 තුරු සිරස මල් පැහැය ගන්වන
 බොඳව ගිය පෙම් රහස් ඇසුණිද
 
 විහඟ ගී බිඟු නාද රැව් දෙන
 වන උයන්වල මිහිරි තනු මැද
 ලොවට නෑසී ස්වර බිඳී ගිය
 හද වණක දුක් රාව නැඟුණිද
 
 සෙනෙහෙ ගංගා පතා සයුරම
 ගලා ගිරිහෙල් මැදින් දිරියෙන
 අහිමි ඉරණම දරා කඳුපෙළ
 විරහ දුක් කඳ තනිව වින්දද
 
 පෙළා සිත් ආතුරව වැලපී
 නෙළු මල් අතු අගින් ගිළිහී
 සසර මඟ නැවතුමට හිත ගිය
 විනිවිදින සිත් පහන් නොවුණිද
 


  

කුවේණිය නොමළාය
චන්ද්‍රිකා කුරේ ~ බ්‍රෙමෝර් උද්‍යානය කටුගස්තොට

 

නික්මුණත් නෑයිනට එරෙහිව
කුල ගෙයක සෙවණක් සොයා
නොසිතු රුදු සැඩ කුණාටුවකින්
පියස අන් අතකට ගියා

තනි වූ සඳ
ඒ පියස නැති කුල ගෙයෙහි
දෙ දරුවො හා මෙමා
මගේ නෑසියො මරා ලූහයි
දවා ගිනි ගොඩකින් මෙමා

මහා වංශයෙ පුවතකින්
ඔබ ඇතත් ඒ විලසින් අසා
මැරෙන්නට මම වරම් නොලදිමි
හරින ලෙස ඇසිපිය වසා

පියස අහිමිව නිරාවරණ වූ,
කුලගෙයක මා තනි වෙලා
විවට ලෝකෙන් වදින ගින්නෙන්...
දැවී... මැරි මැරි ඉපැදිලා

ඊයේත්... අදත්.... මතු දිනත්....
ඒ දහම එලෙසම පවතිනා
විසල් මේ ලොව,
කුල ගෙයක් ඇති තුරා...
එය නොවෙනස් වෙනා...


 

Week of මාර්තු 3, 2021