පාඨක නිර්මාණ

Week of ඔක්තෝබර් 13, 2021

සිසිලක් වී ඔබ වඩින්න
කේ. එච්. එච්. ඩී. සේපාලි ~

 

නියං සායෙනෙ පෙළෙන
පුංචි අතු පොඩිවලට
පැන් පොදක් වී වැටෙන
වැසි දියට ඔබ වෙන්න

රුදුරු වාලුකාවට හැලෙන
මහ වැස්සක් වී වඩින්න
දිය නැති වියළුණු පොකුණට
සිසිල් පැනින් විල දොවන්න
සිසිලක් නැති සිත් අහසට
සුවයක් වී ඔබ වඩින්න...

 

පිච්චවැල
උදයංග අමරසේකර ~ ප්‍රංශය


 
 පුදුමෙකට මෙන් මට
 පිච්චවැලක් ළඟින් යා නොහැක
 අතීතයේ එක් නිමේෂයක අත්විඳි
 ඔබෙ මුවෙහි ඒ සිනිඳු සුවඳ සිහිව
 තැන නොතැන නැතුව
 ඉන් මා ගල්ගැසී යයි
 

  

සොඳුරු ගිමන්හල
ශ්‍රීමති රෝහිණී පෙරේරා ~ මහර - නුගේගොඩ


 

සරතැස මඟහැර
දූවිලි නගරයෙ
විඳිනට සිසිලස
ආවෙමි ගම වෙත
එකට අකුරු කළ
සජ්ජන පොඩිනම
දුටුවේ නැහැ
කලෙකින් මම....
සොඳුරු ගිමන්හල
ගමේ පන්සල....

මඳ සුළඟට හැපි හැපි
පුසුඹට මල් පිපි
වතුසුදු - අරලිය
අතු සිඳ බිඳ දා
වැට ඉනි මෙනි අද
සියුමැලි වැලිකැට
පෑගුනෙ නැහැ
මගෙ නිරුවත් දෙපයට
බෝ මළුවේ වට...

අතුරු සිදුරු නැති
සිමෙන්ති ගල්කැට
හාදු දිදී බිම
සැතැපීලා ඇත
මල්ඵල නොදරන
තල්ගස් පෙළ - මට
සිහිගන්වයි - වලගය
සතකුගේ සටකපට

‘ලෝකය‘ හෙමිහිට
ඇවිදිං ගම පසුකොට
‘පුදබිම‘ ඇතුළට
අවට බැලූසඳ
අඩවන් දෑසින්

හිනැහෙනු දුටුවෙමි
සනරාමර සමිඳ
‘සජ්ජන පොඩිනම‘
නොදිටිමි මම
අද ඒ පුදබිම
පොඩි කඳුළක නෙත
දැනුණා අග - නෙත



 

පෙරදා ගමේ පන්සලට පැමිණි කල කතානායිකාවට දැනුණු සුවය අද ඇයට නොදැනේ. පන්සලෙහි වෙනස දැනී ඈ දුකට පත්වන බව අපූරුවට කියා ඇත.
 

අකල් වැස්සට පෙම් බඳින ගොවිසිත
එච්. ජී. කේෂාණි සෙව්මිණි ~ ගැටමාන්න - බෙලිඅත්ත


 
 බැලු බැලු අත වියළි කොළ අතු ද පරඬැල්
 ඒමේ අත වැනී කරයි මට ඔච්චම්
 කලෙක පෙර ගලා ගිය දිය දහර නිල්වන්
 අද කොතැන සැඟවුණි ද පෙනෙයි පෑදුණු පතුල්
 
 මෝරන්න වෙර දරන කෙත් වතු ද මනරම්
 ගිනියම්ව දැවෙනවා ඉතිරි කර සෝ සුසුම්
 සිත් සතන් තුළ ගිලුණු දුක් තැවුල් මෙතරම්
 දැන ගන්නෙ වෙන කවුද කඳුළු බොන මිහි තරම්
 
 අහස් තලයට එබුණු මගේ නෙත් යුග ඉතින්
 පතනවා ජීවිතය කඳුළු බිඳු හිර කරන්
 තරයේ ගෙන හිතට ගත සවිද අදිටන්
 දිනනවා පොලෝ ගැබ අකලට වැටුණු වැසි දියෙන්


  

මතක මාවත දිගේ
ජී. කේ. ශානිකා බුත්පිටිය ~ ගම්පහ

 
 පුංචි පුංචි මල් පිපුණා අපි ඇවිදු මාවතේ
 සමනළයින් පැණි බොන්නට ආව ගියා මාවතේ
 අපිත් එක්ක සන්තෝසෙන් කතා කරපු සමනළයෝ
 අද හඬාවි මාත් එක්ක නුඹ නෑ මේ මාවතේ
 
 සිරිපොද වැසි ආවා අපිත් එක්ක ඇවිද යන්න
 සීතල සුළඟ අපට කවි කීවා අහං ඉන්න
 ගස් වැල් නෙත් පියාන සිනාසුනේ අපට හොරෙන්
 අද ඒ සියලු සැම වැළපෙනවා නුඹේ නමින්
 
 දෑත එකට පැටලීලා හැම මුකුළු කරයි හොර රහසේ
 දඟලන සමනළයින් මුවා වුණේ ආදරයෙන්
 ඔබේ මුවේ සුවඳ හාදු සලකුණු ඇත මගේ දෙතොලේ
 දෙපා එකට තබමින් අපි පියවර මැන්නේ එලෙසේ
 
 ඔබේ සුවඳ ඉගිලීලා ඇත දැන් මා තනිවීලා
 හසරැල් සුළඟේ හැමුවා මා හට සරදම් කරලා
 මතකය පමණක් අද පාරේ ඉතිරිවෙලා
 ඉකි බිඳ බිඳ හැඬුවා අපි වෙන් වී ගිය බව අහලා
 

මගේ උපන් දිනය හෙටයි
ඉසුරුණි අත්තනායක ~ කිවුලපිටලන්ද - බිබිල

 

සිතගාව දුවපනින
සැම මතක සිහි නැගෙන
පුංචි මගේ උපන්දිනේ
හෙට දිනයේ උදාවෙන...

දහසය වස සපිරෙන මට
හෙට නව දවසක් වනු ඇත
එදවස මට හිමිකරදුන්
අම්මේ ඔබට ණයගැති මම

දුක, දොම්නස සියල් සපිරි
දහසය වස් මතක පිටුව
අතීතයට එක්වන්නට
දිනයකි ඉතුරුව ඇත්තේ
දිවි මගෙ දිනුමට
නව ඇරැඹුමකිය හෙට
අතීත මං පෙත
විසිතුරු ගන්වන
දහහත් වසරෙහි
ඇරැඹුම හෙට දින

පැතුම් ගොන්නක් සමඟින්
හෙට දවසට
පිය නගන්නේ
දිවි මගෙහි නිත්‍ය අරුත
තවමත් නොදන්නා
කෙළිදෙළෙන් පිරුණු
පුංචි මමයි...

 

Week of ඔක්තෝබර් 13, 2021