පාඨක නිර්මාණ

Week of ඔක්තෝබර් 27, 2021

අහිමි වසන්තය
අමරා කුමාරිහාමි ~ වලල - මැණික්හින්න


 
 මඳනල සීතල සමඟින්
 සිහිලස ගෙන දෙන
 මල් සුවඳින් ලොව දසතම
 සුවඳ ඉසින නිරන්තරේ
 විහග ගීත නද
 තුරු මත පොපියන
 සොඳුරු වසන්තය
 කවදා ඒවිද...
 
 ගිලන් හදින් නැඟී
 විලාප දුක් හඬ
 තැතිගත් හදවත්
 බියෙන් සලිත කළ
 අනේ එපා තවත් ඉතින්
 කෝවිඩ් මර බිය....!
 
 අසරණ සත් වග
 සරණ සොයයි තව
 ගිලන් හදින් නැඟී
 මර බිය පමණක්
 ජීවත් කරවයි
 දිරිය මිනිස් සිත....!
 
 

නිවන දුර විය
හේමමාලි පෙරේරා ~

 

සියක් වර බුදු බණ අසා ඇත
සියක් වර දන් වැට පුදා ඇත
දහස් ගණනින් මල් පුදා ඇත
පහන් සහසක් දල්වලා ඇත
ඒත් අපි අඳුරේ...

රජ බිසෝවරු මන්දිරේ
දුසිල්වතු පිංකම් පොළේ
ඉඳුල් බත් කෑ උන්ට විතරක්
නෑවිත්! රිය සක කැරකුණේ

කිසා ගෝතමියන් මෙසේ
අබ සොයා ඇවිදින රටේ
උන්ට නිබ්බුත පද කියන්නට
බොහෝ සතුන් ඇත මේ රටේ

 

ගඟබඩ සැඳෑ අසිරිය
විදුර ඩයස් අභයගුණවර්ධන ~

 

ආදරෙයි
මේ
සන්ධ්‍යාව ට
නැතක්

ඉර ද
යාත්‍රාව ද
ඔබ ද
නැති නමුත්
ආදරෙයි
මේ
සන්ධ්‍යාව ට
නැතක්

ඉදින්
භූමි ස්පර්ශ මුද්‍රාවෙන්
හිඳ ගතිමි
ඉවුරේ
මඳක්

දිලෙන
අඟුරු මිටක් මෙන්
නලියයි දෑස්
සොම්නසින්
නැතක්

ඉර ද
යාත්‍රාව ද
ඔබ ද
අමතක වෙයි
මඳක්

ගඟබඩ සැඳෑ සිරියෙන් මත් වූ කවියෙකුගේ ප්‍රකාශනයකි. එරැළි කවි එකතුවෙනි.

නොමියන ආදරය
ආනන්දශීලි පෙරේරා ~ රොක්ලන්ඩ් බොනවිස්ටා - උණවටුන


 
 කුමකට හෝ ඇය මට පිටුපෑවත්
 අහිතක් සිතුණේ නැත ඈ ගැන කවදාවත්
 ගුණදම් තිබේ සියලුම දෙනා ළඟ
 කරුණා ගුණයෙන් යුතු අප හැමදාමත්
 
 සොඳුරු මතක ඉතිරිව ඇත හදවතේ බොහෝ
 නොමියෙයි තවම ජීවත් වී සිටිනු පෙනේ
 වාසනා ගුණය නොමැතිය අපට අනේ
 හද සෝ දරා ඉන්නෙමි කටුක ජීවිතයේ
 
 නොමැකෙන ලෙසට ඔබ සිහිවන මගෙ හදෙහි තබා
 මතු සසරෙත් අප හමුවෙමුයි කියා
 නිසලව වැතිරව සිටි දිගු දෑස් පියා
 ජීවන ගමන අවසන් කර මට නොකියාම ගියා
 
 කෙදිනක හෝ සසරේ අප හමුවෙන්නයි
 පැතුම් පතා නෙත කඳුළැලි මැකෙන්නයි
 ගලේ කෙටූ අකුරු ලෙසින් අපේ පැතුම් ඉටුවෙන්නයි
 මතු සංසාරයේ යළි අප හමු වෙන්නයි
 
 

කොහි ගියේද?
පද්මා ගලහෙන්දන්ද ~ ගලහෙන්කන්ද - අම්පෙගම

 

වක්කඩ ළඟ දණ්ඩි පැටව්
උඩ පැන පැන නැටූ තැනම
අහස උසට මහ මැඳුරුය
කොහි ගියාද උන්

මිදුල පුරා සුවඳ ගලන
දොඹ මල් පෙති විමානයයි
අද නෑ ඒ සොඳුරු දසුන්
පිහිඹිය ගස් රවා බලයි

හැන්දෑවට බඹරු නැටුව
සුවඳ හලන රුක් මල් ගස්
තිබූ තැනම පහන් කණුය
බඹරු නොඑයි දැන්

වැලිකත ගස් දම් පාටින්
හිනා වුණා දොල අයිනේ
අලුත දැමූ පාලම ඇත‍
බුම්මාගෙන දැං

කහ, සුදු, රතු,
හෙන්දිරික්ක
හවස්කරේ හිනා කටයි
නෑ අද ඒ ළබැඳි දසුන්
සීරුවෙන්ම තාප්පයකි


 


ගම නාගරිකරණය වි ඇති අන්දම ගමට ආවේණික වූ වස්තූන් පරිසරය වෙනස්වීම ඔස්සේ අපූරු චිත්‍රයක් මැවීමට කිවිඳිය සමත් වෙයි.

Week of ඔක්තෝබර් 27, 2021