පාඨක නිර්මාණ

Week of නොවැම්බර් 10, 2021

පෙම්බර හිමි සඳ
ඇල්. ජේ. ආනන්දශීලී පෙරේරා ~ බොනවිස්ටා - උණවටුන


 
 සසරේ පැතු ලෙස ඔබ මට හිමිවූවා
 සැප දුක උරුම කරගෙන දිවි මඟ ආවා
 දුක් කම්කටොලු දිගටම නොඅඩුව ලැබුණා
 පැමිණි දුක් පැණි රසයි කියමින් මඟ ගෙව්වා
 
 මෙපමණ කලක් නැත ඔබ මට කිසි වෙනසක්
 අපමණ සෙනෙහසින් ඔබ මා රැකගත්තා
 ලෙඩවූ කල මා ළඟටම වී උවටැන් කරමින් සිටියා
 නොනිදා රැය පහන් කරමින් මා ළඟ උන්නා
 
 වියපත් ඔබේ ගත දකිනවිට
 නොදැනීම කඳුළු ගලයි මගෙ නෙත් අගට
 වෙහෙසවී අප පවුල රැකගත් හැමවිට
 සියලු දෙවි රැකවරණ පිහිටයි ඔබෙ නමට
 මව්පිය නෑසිය සෙනෙහසින් පසු
 දුටු දෙවියො ඔබම තමා
 
 පායුග නැමද වඳිනෙමි ඔබහට සිරස නමා
 කිසිම කලක දුක් කරදර නොම වේවා
 මොක් සුව ලබනතුරු ඔබ මගෙ හිමි සද වේවා
 

 

කොරෝනා සමඟ ජීවිතය
නෙත්මිණී සෙනෙවිරත්න ~ 12 ශ්‍රේණිය මිනු/සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය - හුණුමුල්ල


 
 නිවස තුළම හිටියා කියල හිතවත්කම් අමතක නෑ
 හිතවත්කම් එදා වගෙමයි ඒ වචනයෙ බොරුවක් නෑ
 පාසල් පාරේ මඟ ගැන තිබ්බ ලකුණු අමතක නෑ
 කොරෝනා හින්දා විදුමව් තුරුලෙ ඉන්න විදියක් නෑ
 
 මඟ තොටේදි අඳුනන අය දැක්ක කියල හිනාව බෑ
 වෙනද වගේ ළඟට ගිහින් සුව දුක් විමසන්නත් බෑ
 එදා වේල හොයන් කාපු අසරණ අය නැත්තෙත් නෑ
 දුරින් ඉඳල පිහිට වෙනව අහක බලන් යන්නෙත් නෑ
 
 සිග්නල් නෑ වැහැපු දාට පංති ඉන්න විදියක් නෑ
 අහන් ඉඳල ඔළු වැනුවට මතක හිටින දේකුත් නෑ
 මේ කොරෝනා ඉවර වෙන්න පඬුරු ගන්න දෙවියොත් නෑ
 පරිස්සමට ගෙදර ඉම්මු වෙන කරන්න දේකුත් නෑ
 

 

ජීවිතය...
රමේෂ් සංජීව ~ තිඹිරිගස්කටුව


 
 තරු රටා මැකී ගොස් ඈත ආකාසයේ
 හිරු එබී බලනවා පෑල දොර සිදුරකින්
 හුරු පුරුදු ජීවිතේ කම්කටොලු ඉහතියන්
 දරුවනේ නැඟිටින්න එළි වුණා දැන් ඉතින්
 
 පිල්කඩට ඉර එළිය මෝදුවී තියෙනවා
 ශිල්පයට දරුවනේ යන්නැද්ද අහනවා
 මල් කැකුළු අවදිවී පුතු නිදිද බලනවා
 නිල් දමපු සුදු ඇඳුම පේවෙලා ඉන්නවා
 
 කිරි එරුණු රබර් ගස් බලන් ඇති පාළුවෙන්
 මට සෝලි තියාවී පමාවී ගියෝතින්
 ඉස්කෝලෙ සීනු හඬ අඬගසන්නට කලින්
 අකුරු ඇහිදං එන්න හනි හනික ඉගිලියන්
 
 අන්ඩ දැමුවත් නුඹේ සුදුපාට කලිසමේ
 එදා වාගෙම තවම නැවුම් සුවඳක් තියේ
 පාවහන් නැති වුණත් දමා යන්නට පයේ
 ලොකු පුතේ නුඹ නේද පළවෙනිය පන්තියේ
 
 මෝඩ මං දන්නෙ නැහැ මලපොත් අකුරුවත්
 මගෙ ළමයි එහෙම නැහැ දැන් ටිකක් දැන උගත්
 අහස අල්ලන හීන තුන් හිතක නැති වුණත්
 අපට දවසක් ඒවි නුඹලාට හරි ගියොත්...
 

 

කලියුගය
තුෂාරි ජයසිංහ ~ මහනුවර


 
 ජීවිතේ කවියක් වුණේ පුත
 සුව පහසු ඇති තැන්වලයි
 මීවිතේ ලෙස හැඳින් වුවත්
 අනෝරා දුක් මහ ගොඩයි
 
 මාවතේ යන මිනිස් ජීවිත
 සෙව්වෙ කඳුළක රසයමයි
 පා වෙතේ් සී මැදුරු තුළ උන්
 අපේ ජීවිත උන් ළඟයි
 
 ගැට ගසා ගනු රිසි නිසා පණ
 තරගයක මිනිසා යෙදී
 වැට ගසා ඇත බණ පොතේ ඇති
 දම් අමාවෙන් මිදී
 
 කැට තියා මම දෙයක් පවසමි
 මෙලෙස වේ යයි නුදුරෙදී
 සට කපටකම් පෙළපොතින් හෝ
 ඉගෙනුමට ඇත මග යෙදී
 
 ගසක තුත්තිරි උසට ජීවිත
 හැඩ ගැහෙන මේ කාලයේ
 දසක ගණනක පරිහාණි හිත
 එල්ලා ගනිමින් බස්රියේ
 
 කුසක වටිනා කමක් නොදකින
 මිනිස් කැළ යති යන වාලයේ
 දොහක කිසිවක් නොසිතන්න
 මේ කලියුගේ මගෙ දෝණියේ
 
  
 

අනියත...
එච්. ඒ. මුදිතා ~ බෝපේ - ගාල්ල


 සරා සඳ එබිකම් පාන කොට
 තාරකා ඇස් ඉඟි මරන කොට
 කුමුදු සේපාලිකා හිනැහෙන
 සොඳුරු රැය අත් විඳිනු කෙලෙසක
 අමාවක සිහියට නැඟෙයි මට...
 
 ඉරාගෙන ඝනදුරු තිමිර පට
 උදා හිරු කැන් බිම සිඹින කල
 තඹර මුව වට බඹරු රඟ දෙන
 අරුණ අසිරිය විඳිනු කෙලෙසක
 දිවා සැඩ හිරු නැඟෙයි සිහියට...
 
 තුරුලතා වැසි දියෙන් පණ ලැබ
 නිල් ඇඳුම් හැඳ සිනාසෙන සඳ
 නෙක පාට මල් පිපී නැළවෙන
 වනේ අසිරිය විඳිනු කෙලෙසක
 ඉඩෝරය සිහියට නැඟෙයි මට...
 
 උයන් තෙර හිඳ ඔහුට තුරුළුව
 සිහින දැක්කෙමි අනාගතයක
 පාට ගෑවත් ඒ සිහිනවල
 සොඳුරු පෙම අත් විඳිනු කෙලෙසක
 නොතිර සිත ගැන නැඟෙයි සිහියට...
 

 ජීවිතයේ අනියත ස්වභාවය සොබාදහම් හා පරිසරය තුළින් සංකේතවත් කිරීමට කිවිඳිය සමත් වී ඇත. ඇගේ බිඳ වැටුණ ආදර අපේක්ෂාව ද අනියත යයි ඈ සිතන්නී ය.
  

Week of නොවැම්බර් 10, 2021