පාඨක නිර්මාණ

Week of නොවැම්බර් 17, 2021

ඈ සැඟවී ගිහිං
නෙවිල් පී. විද්‍යාරත්න ~ කඩුගන්නාව.

 

පිරිපුන් දෙසඳක් නිවසේ රඳවා
කැළුමින් පුරවා සුවඳ විසුරුවා
නො දන්වා නොකියා
ඈ ගියා, සැඟවී ගියා

දෑත සවිමත් සේ මා රකින්නට
දූන් දෙදෙනා දෙපස් රඳවා
සුදු වතින් සැරහී
ඈ ගියා, සැඟවී ගියා

ධනධාන්‍ය යාන වාහන
අටුකොටු රැස් කරවා තබා
සියුමැලි අතැගිලි බඳවා
ඈ ගියා, සැගවී ගියා

තනි කඩක් නොදැනෙන්නට
සිහිවටන වටකර තබවා
මන්දස්මිතය මුවඟේ රඳවාගෙන
ඈ ගියා, සැගවී ගියා

වාලුකා තලය තෙමනා
සිටු රූප පෙළින් විත්
පෙණ පිඬු වියලා තබා
ඈ ගියා, සැඟවී ගියා



 

හිනාවෙන ඔය මුහුණ
කමලා ධර්මලතා ජයසූරිය ~ පරගස්තොට - හොරණ

 


කොරෝනා වසංගතය ජනජීවිතය හා මානව සබඳතා කෙරෙහි කළ බලපෑම කවියෙන් නිරූපිතය. මිත්තණියක ගේ් අපේක්ෂා සුන්කොට ඇත්තේ කෝවිඩ් උවදුරයි.
 

 

මිත්තණිය සිනාවෙයි ගමටම ඇහෙන්නට
ලොඹුකටේ දත් නැහැ එකක්වත්
ඒ නිසා මුව ලස්සනයි - සිරියාවයි
කොහොම ඉන්නවද මන්දා
මේ තරම් මනබඳින විලසින්

හිතේ නැහැ කහටක්
හැමට එක වගේමයි
රත්තරන් දරුවො ටික දකින්නත් ආසයි
ඇවිද ගන්නට බැහැ
දෙපා මට වාරු නැහැ
නැතිනම් එනවාමයි මගෙ දරුවො බලන්නට

කෝ ඉතිං පොඩි පැටව්
ඇයි ද එක්කළ නාවෙ
කතාවක් කියන්නට - කවියක් අහන්නට
හුරතල් බලන්නට මං බලං හිටියා

තව කොයි තරම් කල්
මට ඉන්ඩ ලැබේවිද
දරු පැටවු වට කරන්
රැජින සේ හිඳින්නට මිත්තණිය ආසයි

සංචරණ සීමා ලිහිල් වී ගිය දිනක
අපි හැමෝමත් එනවා
හිනාවෙන ඔය මුහුණ දකින්නට

මොනාලිසා
බී. ජේ. ගුණසේකර ~ නාල්ල - දිවුල්දෙනිය


 
 දෑත් බැඳ හසරැල් නඟන්නී
 සිහින සිතුවම් සිතේ අඳින්නී
 මියුරු ලොව ඇරයුම් ලබන්නී
 සිත් අහස ඔබගෙයි රුවැත්තී
 
 දෑස මත රහසක් ලියා
 ළවන් මල් පෙති තෙරපලා
 හදවතට මුදු බැල්මකින්
 කරනවද ආරාධනා
 
 සුසුම් සිත යට සඟවලා
 සොඳුරු රුව මන කළඹලා
 දොඩමළුයි ඈ නෙත් කැළුම්
 මිරිඟුවක් දෝ මොනාසිලා
 
 

හිතේ සැඟවුණ පෙම
එස්. ජේ. එම්. එස්. කුමාර සදරත් ~ කුලියාපිටිය

 

ගංදියට නැමි අතු ඉතී
තුමුල තුර, පෙම් හිත ඇතී...
ගං දියෙන් සැනසෙන්න නැතී
ගඟට පෙම්බැඳ ඉන්නැතී...

පෙමින් මුදහල මල් පෙතී
ගඟ පහළ ගෙන යන්නැතී...
හරි හැටිම පැවසුන් නැතී
පෙමක් හිතයට ඉන්නැතී...

කල දවස ඉගිළෙන්නැතී
ගඟත් වියපත් වෙන්නැතී...
ගං දියට බැඳි සිත් ඇතී
ගස ඉපල් පළඳින්නැතී...

කඳුළු දියකර නිම් නැතී
අමුතු පබැඳුම් එන්නැතී...
නොපළ පෙම මියැදෙන්නැතී
සංසාරෙ හැටි වෙන්නැතී...

 

Week of නොවැම්බර් 17, 2021